නෙරෙංචි ඇදීම

සිංහල විශ්වකෝෂය වෙතින්
10:11, 26 පෙබරවාරි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('එක්වර දෙදෙනකුට පමණක් සහභාගී විය හැකි ගෘහ ක්‍ර...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

එක්වර දෙදෙනකුට පමණක් සහභාගී විය හැකි ගෘහ ක්‍රීඩාවක් වූ නෙරෙංචි ඇදීම ගම්බද ඉතා ජනප්‍රිය විවේක කාලීන විනෝද ක්‍රීඩාවක් වේ. උදේ සිට සවස් වන තුරු බර වැඩවල යෙදී සවසට ගෙදර එන ගම්බද වැඩිහිටියනට කය වෙහෙසවන ක්‍රීඩාවල යෙදීමට කාලය හෝ ශක්තිය හෝ නොමැත. එවැන්නවුන්ට නෙරෙංචි ඇදීම, දාම් ඇදීම ආදි ක්‍රීඩාවලින් ලැබෙන්නේ මහත් විනෝදයකි. විනෝදය පමණක් නොව බුද්ධි වර්ධනය ද ලබා ගැනීමට මෙම ක්‍රීඩාව උපකාරී වේ. ගම්බද ව මෙම ක්‍රීඩාව කොතරම් ජනප්‍රිය ද යත් සෑම ගෙදරකම පාහේ ද කඩපිළකම පාහේ ද අලංකාර ලෙස සකස් කර ගත් නෙරෙංචි පෙතක් දක්නට ඇත.

ගම්බද වැඩිහිටි පුරුෂ පක්ෂයට විශේෂ වුව ද වනිතා පක්ෂය මෙන් ම බාල තරුණ හැම දෙනාට ම සහභාගී විය හැකි නෙරෙංචි ක්‍රීඩාව සඳහා අවශ්‍ය පෙත, ලෑල්ලක් හෝ බොහෝ විට දිග බංකුවක් මත හෝ අඳිනු ලැබේ. පහත සඳහන් සටහනෙන් දක්වන ආකාරයට මෙම පෙත සමචතුරශ්‍රාකාර වේ.

එහි එළන ඉත්තන් ප්‍රමාණය දෙපක්ෂයට ම සමාන ව ගත නොහැක. දෙපක්ෂයේ ඉත්තන් පහසුවෙන් වෙන් කොට හඳුනාගත හැකි වනු සඳහා දෙවගෙකින් තෝරා ගත යුතු.

ඉත්තන් එළීම ආරම්භ කරන්නා මුත්තැඩියා (මුල්ගල්කාරයා) නමින් ද අනෙකා පිත්තැඩියා (අග්ගල්කාරයා) නමින් ද හැඳින්වේ. ඉත්තන් එළීමේ දී තමාට නෙරෙංචියක් ලබා දෙන අතර අනෙකාට නෙරෙංචියක් සඳහා ඇති ඉඩකඩ අහුරාලන ආකාරයකින් එළීමට වගබලා ගත යුතු ය. එක වර්ගයේ ඉත්තන් තිදෙනකු එක එල්ලේ සිටීමෙන් නෙරෙංචි වේ. උදාහරණ වශයෙන්

1 2 3

1 10 22

1 4 7 නෙරෙංචි වේ.

එහෙත් 1, 10, 11 හෝ 1, 2, 5 නෙරෙංචි නොවේ. ඉත්තන් එළීමේ දී නෙරෙංචියක් ලැබූ අයට ඒ විට ම තවත් ඉත්තකු එළිය හැකි නමුදු එයින් තවත් නෙරෙංචියක් ලැබිය නොහැක. මේ ආකාරයට පෙතේ මුලු 24න් දෙකක් හැර අන් සියලු මුලුවල ඉත්තන් එළුවාට පසු නෙරෙංචි ඇදීම ආරම්භ වේ. මුලු දෙකක් ඉතිරි කරන්නේ ඉත්තන් ඇදීමට ඉඩකඩ ලබාදීමට ය. මෙලෙස ඉත්තන් එළා අවසන් වන විට එක් පක්ෂයකට හිමි ඉත්තන් සංඛ්‍යාව අනෙකාට වඩා වැඩි විය හැක. එළීමේ දී නෙරෙංචි ලැබුණු නිසා ය. යම් හෙයකින් මුත්තැඩියාට ඇදීමට නොහැකි වන සේ පිත්තැඩියා මුලු අසුරා ඇත්නම් මුත්තැඩියා පරාජය භාරගත යුතු ය. හිර කරනවා යැයි කියන්නේ එවැනි අවස්ථාවකට ය. පිත්තැඩියාට ඇදීමට ඉඩ නොතබා ඉත්තන් එළීමට මුත්තැඩියාට බලය නැත. ඉත්තන් එළා අවසන් වන විට මුලු තුනක් පමණක් හිස් ව තිබී ඊළඟට ඉත්තන් එළන්නාට නෙරෙංචියක්ට ඉත්තකු එළීමට මඟක් තිබුණ ද ඔහුට ඊට බලයක් නැත. නෙරෙංචියක් ලැබුණාට පසු තවත් ඉත්තකු එළිය යුතු අතර එසේ කළහොත් ඉතිරි වන්නේ එක හිස් මුල්ලක් පමණක් වීම නිසා ය. එවිට ඔහු නෙරෙංචි නොකොට වෙන හිස් මුල්ලක ඉත්තකු එළිය යුතු ය.

ඉත්තන් ඇදීමේ දී බලපාන එක් නීතියක් වේ. එනම් පෙතේ කොන් සතරේ සිට ඉහළට හෝ පහළට ඉත්තන් ඇදිය නොහැක. උදාහරණ වශයෙන් 1 සිට 7 දක්වා ද 3 සිට 9 දක්වා ද 24 සිට 18 දක්වා ද 22 සිට 16 දක්වා ද (ඉත්තන්) ඉහළ පහළ ඇදිය නොහැක. අන් ඕනෑ ම ස්ථානයක ඉත්තකු ඕනෑ ම අංශයකට ඉර දිගේ ඇදිය හැක. එසේ ඇදීමේ දී පරමාර්ථය වන්නේ තමාට නෙරෙංචියක් ලබන අතර අනෙකාට නෙරෙංචියක් නොදීම ය. නෙරෙංචියක් ලැබූ අයට අනෙකාගේ ඉත්තකු කැපීමට පුළුවන. එසේ කැපීමේ දී කැපෙන ඉත්තා විරුද්ධවාදියාගේ ඉතා ම වැදගත් වූ එකෙකු විය යුතුවා පමණක් නොව එම ඉත්තා කැපීමෙන් හිස්වන මුල්ල තමාට වැඩදායක වීම ගැන ද සැලකිය යුතු හෙයින් ඉත්තන් කැපීම සුපරීක්ෂාවෙන් කළ යුතු ය. ක්‍රීඩාවේ දක්ෂ අය ඉත්තන් ඇදීමේ දී වමට ඇද්දත් දකුණට ඇද්දත් නෙරෙංචි ලැබෙන පරිදි අදිති. එයට දෙපාම පැදීම යැයි කියනු ලැබේ. උදාහරණයක් වශයෙන් යම් කෙනකුගේ ඉත්තන් 1, 10, 22, 19, 4 යන ස්ථානවල සිටියහොත් ඔහුට 10 ස්ථානයේ ඉත්තා 11 ස්ථානයට ඇද්ද විට 19, 11, 4 නෙරෙංචියකි. නැවතත් 11 වැනි ස්ථානයේ ඉත්තා 10 වැනි ස්ථානයට ඇද්ද විට (1, 10, 22) නෙරෙංචියකි. මේ ආකාරයෙන් මුලින් ඉත්තන් අවසාන වූ අය පරාජිත වේ. මෙය විනෝදය මෙන්ම කල්පනා ශක්තිය වඩවන ක්‍රීඩාවකි.

(කර්තෘ: පණ්ඩුල ඇඳගම)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=නෙරෙංචි_ඇදීම&oldid=4761" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි