"සිරිල් ද සොයිසා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ජීවිත ගමනේ දී එල්ල වන බාධකවලට නොසැලී මුහුණ දෙම...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

16:33, 24 අප්‍රේල් 2024 වන විට නවතම සංශෝධනය

ජීවිත ගමනේ දී එල්ල වන බාධකවලට නොසැලී මුහුණ දෙමින්, සිය ව්‍යාපාර ඥානය මෙහෙයවා විශාල ව්‍යාපාර ලොවකට පිවිස, සිය ධනය රට, ජාතිය හා ආගම වෙනුවෙන් නිර්ලෝභීව යෙද වූ පුද්ගලයෙකි, සිරිල් ද සොයිසා.

1896 වසරේ ඔක්තෝබර් මස 26 වැනි දින මෙලොව එලිය දුටු මොහුගේ පියා බලපිටියේ වැලිතර නම් ගමෙහි විසූ ප්‍රසිද්ධ නොතාරිස්වරයකු වූ සොලමන් ජෙරාඩ් ද සොයිසා මහතා ය. මව හැරියට් ද සිල්වා නම් වූවා ය. මේ දෙමහල්ලන්ගේ වැඩි මහලු පුත්‍රයා වූ සිරිල් ද සොයිසා තම ප්‍රදේශයේ වූ ප්‍රසිද්ධ පාසැල් කීපයකින් ම සිය මූලික අධ්‍යාපනය ලබා ගත්තේ ය. මාතර ශාන්ත තෝමස් විද්‍යාලය, බලපිටියේ ශාන්ත අන්තෝනිගේ විද්‍යාලය හා ගාල්ලේ රිච්මන්ඩ් යන විද්‍යාලවල දී සිය මූලික අධ්‍යාපනය ලැබූ ඔහු කොළඹ රාජකීය විදුහලෙන් සිය ද්විතීයික අධ්‍යාපනය ලැබී ය. ඉන්පසු කොළඹ නීති විද්‍යාලයට ඇතුල් වූ ඔහු නීති උපාධිය ලැබ 1921 වසරේ දී අධිනීතිඥයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරඹී ය. අධිනීතිඥයකු ලෙස ඔහු ප්‍රථම වරට කටයුතු කළේ කළුතර ප්‍රදේශයේ වූ අතර ඔහුගේ සිතට කළුතර බෝධීන් වහන්සේ ඇතුල් වූයේ මේ සමයේ දී ය.

සාර්ථක අධිනීතිඥයකු වශයෙන් කටයුතු කරන අතර ම ඔහුගේ සිත ව්‍යාපාර ක්‍ෂෙත්‍රය කෙරේ ඇදී ගියේ ය. නව ව්‍යාපාරයෙන් ඇරඹීමට ඉතා සුදුසු කලක් වූ එකල බොහෝ ශ්‍රී ලාංකික ධනවත්තු විවිධ ව්‍යාපාර ආරම්භ කළහ. ඔහු ප්‍රථමයෙන් ම සිය ධනය ආයෝජනය කළේ පොදු ප්‍රවාහන ක්‍ෂෙත්‍රය තුළ ය. 'ස්වර්ණපාලී බස් සේවය' යන නමින් මුලින් සුළුවෙන් ඇරඹී මේ ව්‍යාපාරය ක්‍රමයෙන් දියුණුවත් ම මුළු පළාතේ ම ප්‍රවාහන කටයුතු ආවරණය කිරීමට තරම් ව්‍යාප්ත වූ අතර, එම ව්‍යාපාරය ‘සවුත් වෙස්ටර්න් බස් ව්‍යාපාරය’ නමින් අළුතින් නම් කරන ලදී. වසරේ දී ප්‍රවාහන සේවා ජනසතු කිරීම නිසා මොහුගේ එම ව්‍යාපාරය එතැනින් නතර විය.

මේ පසු බෑමෙන් අධෛර්යට පත් නොවූ සිරිල් ද සොයිසා වෙනත් අංශ ගණනාවකට සිය ව්‍යාපාර ඥානය මෙහෙයවී ය. එහි ප්‍රතිඵලය වූයේ 'ඇසෝසියේටඩ් මෝටර්වේස්', 'ඇසෝසියේටඩ් රබර් ඉන්ඩස්ට්‍රීස්' ඇතුළු ව්‍යාපාර ගණනාවක් බිහිවීමයි. ආනයන අපනයන හා නිෂ්පාදන යන සෑම අංශයකට ම ව්‍යාප්ත වූ ව්‍යාපාර ගණනාවක් මොහු යටතේ ආරම්භ වී සාර්ථක ව ඉදිරියට ගියේ ය.

විශාල ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය ද තම වටිනා කාලයෙන් කොටසක් ද ධනයෙන් සෑහෙන ප්‍රමාණයක් ද සිය රට, ජාතිය හා ආගම වෙනුවෙන් වැය කිරීමට ඔහු වග බලා ගත්තේ ය.

තමා අධිනීතිඥයකු ලෙස කළුතර සේවය කරන අවධියේ දී කළුතර බෝධි රාජයා වෙනුවෙන් යමක් කිරීමට කළ අධිෂ්ඨානය මල් ඵල ගැන්වීම සඳහා කළුතර බෝධි අරමුදල පිහිටුවා එහි සංවර්ධන කටයුතු ආරම්භ කළේ ය. එහි වටා ප්‍රාකාරයක් ඉදි කිරීම, චෛත්‍යයක් ඉදි කිරීම ආදී කටයුතු මඟින් අද තිබෙන අසමාන තත්වයට එය පත් කිරීමට මූලික වූයේ ය. මහා බෝධි සමාගමේ සාමාජිකයකු වූ ඔහු කලක් එහි සභාපති ධුරයට ද පත් කරන ලද අතර එම සංගමයේ දියුණුවට ඔහු ඉදිරිපත් කළ අදහස් සේ ම වැය කළ ධනය ද ප්‍රශංසනීය ය. තරුණ බෞද්ධ සංගමයේ උද්‍යෝගිමත් සාමාජිකයකු වූ ඔහු කලක එහි සභාපති පදවිය ද දැරී ය. සිය මව්පියන්ට පින් පිණිස බොරැල්ලේ විශාල ගොඩනැගිල්ලක් ඉදි කරවා එය මෙම සංගමයට පරිත්‍යාග කළේ ය. කොළඹ කොටුවේ තරුණ බෞද්ධ සංගම් ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් ද මොහුගෙන් විශාල පරිත්‍යාගයක් කෙරිණ. කතරගම කිරි වෙහෙර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මොහු විශාල ධනයක් වැය කළේ ය. පානදුර පින්වත්තේ සද්ධර්මාකාර පිරිවෙන ප්‍රතිසංස්කරණයටත්, නවීකරණයටත් සිය ධනයෙන් කොටසක් පරිත්‍යාග කළේ ය. ලංකාව තුළ බුදු දහමේ උන්නතියට කටයුතු කිරීමෙන් සෑහීමට පත් නොවූ ඔහු බුදු දහම ලොව අන් රටවලත් ව්‍යාප්ත කිරීමටත් බුද්ධොත්පත්තිය සිදු වූ දඹදිව බොදු කටයුතු පුනරුත්ථාපනයටත් සිය ධනය වැය කළේ ය. ලන්ඩන්හි බෞද්ධ විහාරය ඉදිකිරීමට හා පවත්වාගෙන යෑමට ආධාර කළ මොහු දඹදිව ශ්‍රී මහා බෝධිය පවතින ස්ථානයේ කටයුතු සඳහා නොමසුරුව ආධර ලබා දුන්නේ ය.

රටක අනාගතය රැඳී පවතින්නේ එහි දරුවන් ලබන අධ්‍යාපනය මත බව විශ්වාස කළ සිරිල් ද සොයිසා මහතා කළුතර මහා විද්‍යාලය හා කළුතර බාලිකා විද්‍යාලය පිහිටුවීමේ ලා මූලික විය. දේශපාලන බලය සඳහා තරඟ නොකළ ද මෙතුමාගෙන් පොදු කටයුතු කෙරෙහි සිදු වූ සේවය ද සාර්ථක ව්‍යාපාර කටයුතුවල යෙදෙමින් ලංකාවේ ආර්ථිකයට කළ සේවය ද අගයමින් උත්තර මන්ත්‍රී මණ්ඩලයට පත් කර ගන්නා ලදී. 1954 වසරේ දී ඔහ උත්තර මන්ත්‍රී මණ්ඩලයේ සභාපති පදවියට පත්විය.

සිය අදහස් නිර්භයව ප්‍රකාශ කළ දුර දක්නා නුවණින් යුත් සිරිල් ද සොයිසා මහතා 1978 වසරේ ජනවාරි 02 වැනි දින මෙලොවින් සමුගත් අතර ඔහු ඇරඹි ව්‍යාපාර කටයුතු තව තවත් සාර්ථක ව ඉදිරියට ගෙන යෑමෙහි සමත් ඔහුගේ පුත්තු සිය පියා තැබූ පියවර ඉදිරියට ම ගෙන යති.

(කර්තෘ: චාමින්ද සෙනෙවිරත්න?)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=සිරිල්_ද_සොයිසා&oldid=5481" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි