"හැරී දියස්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
27 පේළිය: 27 පේළිය:
 
PERSONALITIES OF SRI LANKA - DR. G. D. P. WIMALARATNE  
 
PERSONALITIES OF SRI LANKA - DR. G. D. P. WIMALARATNE  
  
(කර්තෘ: [[එස්. ඇල්ලෙපොළ]]?)
+
(කර්තෘ: [[සුමනා ඇල්ලේපොල]]?)
  
 
(සංස්කරණය නොකළ)
 
(සංස්කරණය නොකළ)

14:32, 16 අප්‍රේල් 2024 වන විට නවතම සංශෝධනය

1822 වසරේ අගෝස්තු මස 22 වැනි දින කොළඹ වාසල මුදලි ජාකෝබස් දියස් විජේවර්ධන බණ්ඩාරණායක හා කැතරින් පිලිප්පා ලියනගේ පණ්ඩිතරත්න යුවලට පුත් රුවනක් ලැබිණ. ගැහැණු දරුවන් හය දෙනෙකු හා පිරිමි දරුවන් තිදෙනෙකු වූ මේ පවුලේ මේ දරුවා හෙන්රි දියස් බණ්ඩාරණායකයයි නම් කෙරිණ. ඉංග්‍රීසි සමාජයේ දී බණ්ඩාරණායක නාමය පාවිච්චි කිරීම මහත් අපහසුවක් වූයෙන් පාසැලේ දීත් විදේශයන්හි දීත් ඔහු හැඳින්වුණේ ‘දියස්’ යන නමිනි. පසු කලක උගතකු හා දේවගැතියෙකු වශයෙන් කැනන් දියස් නමින් ප්‍රසිද්ධ වූ සැමුවෙල් විලියම් හා ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ අසුනක් හෙබ වූ ජෝන් සාර්ල්ස් මොහුගේ වැඩිමහල් සහෝදරයෝ වූහ.

පරම්පරා ගණනක් තිස්සේ විදේශීය පාලකයන් යටතේ මුදලි මුහන්දිරම් තනතුරු දරමින් විශාල දේපල උරුමයක් හිමි ව තිබූ මේ පවුලේ දරුවන්ට ලැබුණේ එදා ලැබිය හැකි උසස් ම අධ්‍යාපන පහසුකම් ය. කුඩා කල තම වැඩමහල් සොයුරු කැනන් දියස් වෙතින් මූලික අධ්‍යපනය ලත් ඔහු, පසුව කොළඹ රෝයල් ඇකඩමියෙන් අධ්‍යාපනය ලැබී ය. ධනවතුන්ගේ පිරිමි දරුවන් වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට යැවීම එකල සාමාන්‍ය දෙයක් වූයෙන් 20 හැවිරිදි වූ හෙන්රි 1842 දී ලන්ඩන්හි කිංග්ස් කොලීජියට ඇතුළත් කරන ලදි. ඔහු 1848 දී සිය අධ්‍යාපනය සාර්ථක ව නිම කළේ බැරිස්ටර්වරයකු වශයෙන් සුදුසුකම් ලබමිනි. ප්‍රථම ශ්‍රී ලංකා බැරිස්ටර්වරයා වශයෙන් ඉතිහාසයට එක් වීමට ද ඒ සමඟ ම ඔහුට හැකිවිය.

ලංකාවට පැමිණි ඔහු ඉතා සාර්ථක නීතිඥයකු ලෙස සුළු කලක දී ප්‍රසිද්ධියට පත් විය. දක්ෂ කථිකයකු වූ ඔහු මුලින් පොලිස් උසාවියේ කටයුතු කළ අතර පසු කලක් සිවිල් හා අපරාධ යන දෙඅංශයේ ම නඩු සඳහා පෙනී සිටියේ ය. සතියේ දිනවල කොළඹ දී උසාවියේ සේවය කළ ඔහු සති අන්තයේ ඔහු ඉතා ප්‍රිය කළ වතු වගාවන්හි යෙදීමට වේයන්ගොඩට පැමිණියේ ය. පරම්පරාවෙන් හිමි වූ විශාල පොල් වගාවක් එහි ඔහුට තිබුණ අතර අක්කර සියයකට අධික කුරුඳු වගාවක් සියඹලාවේ අධිකාරි පත්තුවේ ද තිබිණ. තේ වගාවේ පර්යේෂණ සඳහා ද ඔහු සිය කාලය කැප කළ අතර එම පර්යේෂණ සාර්ථක ප්‍රතිඵල ගෙනදීමට අසමත් වූ බව කියැවේ.

1876 වසරේ හෙන්රි දියස් මහතාට විනිශ්චයකාර පදවියක් හිමි විය. මේ තනතුර එකල ඉග්‍රීසීන්ට පමණක් වෙන් වූ උසස් තනතුරක් වුව ද ඔහුගේ උගත්කම, පෞරුෂය හා මෙතෙක් කරන ලද සාර්ථක කාර්යභාරය නිසා මෙය මොහුට පිරිනමන ලදි. ලංකාවේ ප්‍රථම සිංහල විනිශ්චයකරු වීමේ භාග්‍යය මෙයින් මොහුට ලැබිණි. සී.ජේ. මෝර්ගන් විනිශ්චයකාරතුමා ඉවත්වීමෙන් හිස් වූ පදවියේ වැඩ බැලීමට මුලින් පත් වූ ඔහු පසුව උසාවියේ ඉහළ තනතුරුවලට පත් විය. මහනුවර උසාවියේ දිස්ත්‍රික් විනිශ්චයකාර පදවිය මොහුට පිරිනමන ලද ද එය ප්‍රතික්ෂේප කළ ඔහු 1879 වසරේ ජූලි සහ 05 වැනි දින සිට විශ්‍රාම යන තුරු ම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරු හැටියට කටයුතු කළේ ය. 1892 වන විට ඔහු හැත්තෑ වැනි වියට පා තබා තිබුණෙන් ඉංග්‍රිසි රජය ඔහුට විශ්‍රාම ගන්නා ලෙස ඉල්ලා සිටියේලු. ඔහු කළ සේවයට උපහාර වශයෙන් විශ්‍රාම ගන්නා අවස්ථාවේ ඉංග්‍රීසි රජයෙන් ඔහුට නයිට් නාමයක් ප්‍රදානය කරන ලදි. නයිට් පදවියකින් පුදන ලද ප්‍රථම සිංහලයා වීමේ භාග්‍යය ද ඔහුට ලැබුණු අතර ඉන් පසු සර් හැරී යනුවෙන් සම්ප්‍රදායානුකූල ව හඳුන්වන ලදි.

විනිශ්චයකාර පදවියක් හෙබවූව ද ඔහු ලංකාවේ දේශපාලන කටයුතුවලට ද සම්බන්ධ වී සිටියේ ය. එංගලන්තයේ දී ලත් අත්දැකීම් පදනම් කර ගෙන, ලාංකිකයන්ට වැඩි බලතල සහිත ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවක් ඉල්ලා උද්ඝෝෂණ දියත් කළේ ය. ලාංකික උගතුන් මන්ත්‍රණ සභාව තුළ දී හා ඉන් පිටත දීත් කළ උද්ඝෝෂණවලට මොහු ද ක්‍රියාකාරී ලෙස සහයෝගය දුන්නේ ය. 1861 දී සිය වැඩිමහල් සොයුරු චාර්ල්ස් ව්‍යවස්ථාදායකයෙන් ඉවත්වීමෙන් හිස් වූ අසුනට මොහු පත් විය. සිංහල උගතුන්ගේ නියෝජිතයා වූයේ ඔහු ය. දේශපාලන ඉල්ලීම් දිනා ගැනීම සඳහා ලාංකික උගතුන් ඒකරාශි කර ගැනීමේ පරමාර්ථයෙන් එඩ්ගාර් කොරෙයා සහ සී.ඒ. ලෝරන්ස් යන මහතුන් සමඟ එක් වී ‘සිලෝන් ලීග්’ නම් සංගමය පිහිටුවා ගත්තේ ය. ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා මෙරටින් ලැබුණු ආදායමෙන් සෑහෙන ප්‍රමාණයක් වියදම් කළ යුතුයයි ද පෙන්වාදීමට ද මේ සංගමය ඉදිරිපත් විය.

1887 දී එංගලන්තයේ පවත්වන ලද වික්ටෝරියා රාජිනිගේ දියමන්ති ජුබිලියට සහභාගී වීම සඳහා මොහුට ද ඇරයුමක් ලැබුණ. මේ උත්සවයේ දී ඔහුට රන් පදක්කමක් ද ප්‍රදානය කරන ලදි.

දක්ෂ ක්‍රීඩකයකු මෙන් ම අසරුවකු ද වූ මොහු ආණ්ඩුකාර කුසලාන සඳහා ද අශ්වයන් මෙහෙයවී ය.

අවිවාහකයකු ලෙස ජීවිතය ගෙවූ මොහු විශ්‍රාම ලැබීමෙන් පසු සිය පවුලේ ප්‍රධානියා වශයෙන් පවුලේ දූ දරුවන්ගේ කටයුතුවල දී තීරණ ගැනීමෙහිත් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අතහිතදීමෙහිත් පාරම්පරික ඉඩකඩම් හා වස්තු සම්භාරය පරිපාලනය කිරීමෙහිත් යෙදී සිටියේ ය. මොහු පිළිබඳ සටහන් තැබූ ඉංග්‍රීසි ලේඛකයන් කීවේ සැබෑ වංශවත් පහතරට රදලයකු සේ ඔහු දිවි ගෙවූ බවයි. ඉතා කීර්තිමත් ප්‍රයෝජනවත් දිවියක් ගෙවූ ඔහු 1902 වසරේ ජූනි මස 24 වැනි දින මොලොවින් සමු ගත්තේ ය.

ආශ්‍රිත ග්‍රන්ථ

HISTORY OF CEYLON - UNIVERSITY OF CEYLON - VOL III

SOCIAL CHANGES IN THE NINETEENTH CENTURY IN CEYLON - PEEBLES

THE SUPREME COURT OF SRI LANKA - THE FIRST 185 YEARS - A. R. B. AMERASINGHE

RELATIVE MERITS - YASMINE GOONARATNE

PERSONALITIES OF SRI LANKA - DR. G. D. P. WIMALARATNE

(කර්තෘ: සුමනා ඇල්ලේපොල?)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=හැරී_දියස්&oldid=5431" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි