හේග් නුවර

සිංහල විශ්වකෝෂය වෙතින්
13:15, 16 අප්‍රේල් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(The Hague). නෙදර්ලන්තයේ (Netherland) තෙවන විශාල ම නගරය වන (ද) හේග් වර්ග කි.මි. 100ක ප්‍රමාණයක් පුරා විසීරී ඇති අතර 514,861 පමණ වූ ජනගහනයකට (2015 ජනසංගණනය) වාසභූමි වෙයි. නෙදර්ලන්තයේ බටහිර දෙසට වන්නට දකුණු හොලන්ඩ් (South Holland) ප්‍රාන්තයේ ප්‍රධාන නගරය ද මෙය වෙයි. නෙදර්ලන්ත ව්‍යවස්ථාදායකය, සියලු රාජ්‍ය අමාත්‍යංශ සහ විදේශ තානාපති කාර්යාල මෙන් ම නෙදර්ලන්ත ශ්‍රේෂ්ඨාධිකරණ ද පිහිටා ඇත්තේ මෙම නගරයෙහි ය. බියට්‍රික්ස් රැජිණ (Queen Beatrix) වාසය කරන්නේ ද සිය රාජකාරී කටයුතුවල නියැළෙන්නේ ද මේ නගරයේ ය.

හේග් නගරය බිහි වූයේ ක්‍රි.ව. 1230 පමණ ය. හෝලන්ඩ්හි සිටුවරයා වූ හතරවන ෆ්ලෝරිස් (Floris IV) විසින් මෙම භුමිය දඩයම් කටයුතු සදහා ගෘහයක් ඉදිකිරීමට මිලට ගන්නා ලදි. ක්‍රි.ව. 1284 දී එවකට ශුද්ධ රෝම අධිරාජ්‍යයා වීමේ අභිලාෂයෙන් පසු වූ දෙවන විලියම් (William II) මෙම ගෘහය මාලිගයක් බවට පරිවර්තනය කරන ලදි. එම මාලිගය නිම වීමට පෙර ඔහු මිය ගිය ද ඔහුගේ පුත් පස්වන ෆ්ලෝරිස් (Floris V) විසින් එය සම්පුර්ණ ලෙස නිම කරන ලදි. මෙහි ඇති රයිඩර් සාල් (Ridder Zaal) නම් වූ ශාලාව ප්‍රධාන ගෘහ නිර්මාණ අංගයක් ලෙස සැලකේ. නෙදර්ලන්ත රජු විසින් ජනතාව අමතා කරනු ලබන වාර්ෂික ප්‍රකාශය නිකුත් කරනු ලබන්නේ ද නොයෙක් දේශපාලන අවස්ථා සමරන්නේ ද මෙම ශාලාවෙහි ය.

15 වැනි සියවසේ මුල් යුගයේ දී බර්ගන්ඩියේ ආදිපාදවරයා (Duke of Burgundy) හොලන්ඩ් සහ සීලන්ඩ් (Holland And Zeeland) පාලන ඒකක තම පාලනයට නතු කර ගන්නා ලදි. සිය පාලන අධිකාරීත්වය ක්‍රියාත්මක කිරීම සදහා ආදිපාදවරයා විසින් ස්ටැඩ්හෝල්ඩර්වරයකු (Stadtholder) පත් කරන ලද අතර ස්ටේට්ස් ඔෆ් හෝලන්ඩ් (States of Holland) නම් වූ උපදේශන කමිටුවක් ද පත් කරන ලදි. එම උපදේශක කමිටුව ද හේග් තම මූලස්ථානය ලෙස පවත්වාගෙන ගියේ ය.

ක්‍රි.ව. 1575 දී උපදේශක කමිටුව විසින් ද හේග් නගරය බිද හෙළිමට තීරණය කළ ද ඔරේන්ජ්හි විලියම්ගේ (William of Orange) මැදිහත් වීම නිසා එම අදහස අත්හර දමන ලදි. ක්‍රි.ව. 1588 දී ඕලන්ද සමූහාණ්ඩුවේ මූලස්ථානය බවට හේග් පත්විය. නැපෝලියානු යුද්ධවල අවසානයේ දී බෙල්ජියම හා නෙදර්ලන්තය එක්කොට නෙදර්ලන්ත එක්සත් රාජධානිය ගොඩනඟන ලදි. මෙහි අගනුවර වසර දෙකකට වරක් බ්‍රසල්ස් (Brussels) සහ ඇම්ස්ටර්ඩෑම් (Amsterdam) අතර මාරු විය. නමුත් හේග් නගරයෙන් පාලන අධිකාරිය වූ රජය ඉවත් නොවීය. ක්‍රි.ව. 1830 දී බෙල්ජියම හා නෙදර්ලන්තය වෙන් වීමත් සමඟ නෙදර්ලන්තයේ අගනුවර ඇම්ස්ටර්ඩෑම් බවට පත් විය. එහෙත් තවදුරටත් පාලන අධිකාරිය හේග් නගරයේ පැවතුණි.

හේග් ඒ ආසන්නයේ පිහිටි ලිඩ්න් (Leiden) සහ ඩෙල්ෆ්ට් (Delft) නගරවල මෙන් ඓතිහාසික ඇතුලු නුවරකින් යුක්ත නොවේ. ක්‍රි.ව. 1850න් පසු නගරය වඩාත් පුළුල් කරන ලදින් නගරයේ පැරණි කොටස ක්‍රි.ව. 19 හා 20 වන සියවසට අයත් ගොඩනැගිලිවලින් යුක්ත වෙයි. ඕලන්ද පෙරදිග ඉන්දීය යටත් විජිතවලින් ආදායම් ගලා ඒම නිසා ක්‍රි.ව. 17 වන සියවසේ සිට නගරය ආර්ථිකමය වශයෙන් දියුණු විය. කලා කටයුතුවල වර්ධනයක් ඇති විය. ක්‍රි.ව. 1899 සහ ක්‍රි.ව. 1907 වර්ෂවල දී පැවැත් වූ ජාත්‍යන්තර සාම සමුළුව හේතුවෙන් අන්තර් ජාතික නීතිය සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය දරණ නගරය බවට හේග් පත්විය. 20 වන සියවසේ මුල් භාගයේ විශාල කර්මාන්ත දියුණුවක් ඇති වූ අතර නව වරායක් ද ඉදිවිය. දෙවන ලෝක සංග්‍රාමයේ දී දැඩි ලෙස අලාභ හානිවලට මුහුණ පෑව ද සාර්ථක ලෙස නැවත ගොඩනැගුණ හේග් නගරය තව දුරටත් ව්‍යාප්ත විය.

හේග් නගරය ප්‍රකට වන්නේ ව්‍යාපාර කටයුතු, බැංකු කටයුතු, රක්ෂණ හා සේවා සැපයීම සදහා ය. එසේ ම ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සමුළු පැවැත්වීම හේතුවවෙන් ද නගරය ප්‍රසිද්ධියට පත් ව ඇත. ඉතා ප්‍රකට රේම්බ්‍රාන්ට් (Rembrandt), වර්මියර් (Vermeer), ජාන්ස් ස්ටීන් (Jan Steen), පියට් මොන්ඩ්‍රියාන් (Piet Mondrian) වැනි ඕලන්ද සිත්තරුන්ගේ චිත්‍ර විශාල ප්‍රමාණයක් හේග් නගරයෙහි ප්‍රකට කෞතුකාගාරයේ ප්‍රදර්ශනය වෙයි.

(කර්තෘ: චමරි ප්‍රියංගා එදිරිසිංහ: 2008)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=හේග්_නුවර&oldid=5408" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි