ෆ්‍රැන්සිස් ද සොයිසා

සිංහල විශ්වකෝෂය වෙතින්
15:23, 14 මාර්තු 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('1874 වසරේ අගෝස්තු මස 27 වැනි දින බලපිටිය ප්‍රදේශයේ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

1874 වසරේ අගෝස්තු මස 27 වැනි දින බලපිටිය ප්‍රදේශයේ වැලිතර, ගොඩගෙදර නම් ග්‍රාමයේ දී ජන්ම ලාභය ලැබූ දැමුණි ෆ්‍රැන්සිස් ද සොයිසාගේ මව්පියෝ ප්‍රදේශයේ සෑහෙන ධනයක් ද බලයක් ද ඇතිව සිටියේ ය.

වැලිතර ක්‍රිස්තියානි මිෂනාරි පාසැලට ඇතුළත් කරනු ලැබූ මොහු ප්‍රාථමික අධ්‍යාපනය නිම වීමෙන් පසු එකල පැවැති උසස් ම පාසැලක් වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුලත් කරන ලදි. පාසැල් අධ්‍යාපනය නිමවා වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා ඔහු ඉන්දියාවේ කල්කටා විශ්වවිද්‍යාලය බලා ගියේ එකල ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට පහසුකම් නොවූ හෙයිනි. කල්කටා විශ්වවිද්‍යාලයෙන් කලා උපාධිය ලැබ ලංකාවට පැමිණි ඔහු සිය ජීවිතය ආරම්භ කළේ ගුරුවරයකු වශයෙනි.

සිය හිතවතකු වූ ඩී.බී. ජයතිලක මහතාගේ ඉල්ලීම පරිදි මාතලේ බෞද්ධ පාසැලෙහි මුල් ගුරු පදවිය භාර ගත් ඔහු එම පදවියෙහි කටයුතු කළේ ටික කලකි. නීති අවසාන විභාගයෙන් සමත් වූ ඔහු ගුරු පදවිය අතහැර නීතිඥයකු වශයෙන් කටයුතු කිරීම ඇරඹුවේ ය. ඉතා දක්ෂ කථිකයකු ද ඉක්මණින් අවබෝධ වන නුවණකින් හෙබියා වූ ද මොහුට 1903 වසරේ දී අධිනීතිඥයකු වීමට හැකි විය. එකල ජීවත් වූ නීතිඥයන් අතරේ ෆ්‍රැන්සිස් ද සොයිසා කැපී පෙනුණු පුද්ගලයෙක් විය. මොහුගේ නීතිඥ වෘත්තියේ සන්ධිස්ථානයක් වූයේ 1929 වසරේ දී රාජ නීතිඥයකු වශයෙන් පත් කරනු ලැබීම ය. සිය උගත්කමත් වෘත්තියමය අත්දැකීමුත් ඊළඟට යොමු කරන ලද්දේ එවකට සිය මව්බිමෙහි වූ ප්‍රශ්න කෙරෙහි ය. මෙරට අධ්‍යාපන කටයුතු නැංවීම, ලාංකිකයනට වැඩි බලතල සහිත ව්‍යවස්ථාදායකයක් ලබා ගැනීම, කර්මාන්ත සංවර්ධනය කෙරෙහි රජයේ වැඩි අවධානය යොමු කරවීම වැනි පොදු ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීම සඳහා පෙරමුණ ගත් ලාංකික උගතුන් හා අත්වැල් බැඳ ගත්තේ ය. ලාංකික උගතුන් ජාතිය වෙනුවෙන් කළ අරගල සඳහා සම්බන්ධ වී සිටියේ ලංකා ජාතික සංගමයටයි. ෆ්‍රැන්සිස් ද සොයිසා මහතා මෙයට බැදී උද්‍යෝගීමත් සාමාජිකයකු ලෙස කටයුතු කළේය. 1925-1926 අතර එහි සභාපති ධුරය ද දැරී ය. 1925 වසරේ දී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය අගමැති රැම්සේ මැක්ඩොනල්ඩ් පිළිගනිමින් ලංකා ජාතික සංගමය වෙනුවෙන් කථාවක් කළ ඔහු ලාංකිකයන් සිය පාලනය ගෙන යාමට තරම් උගත් පිරිසක් බැවින් ඔවුන්ට ස්වයං පාලනය අයිතිය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය. මේ අතර ම ඔහු ලාංකික කාන්තාවන්ට ඡන්ද බලය ලබා ගැනීම සඳහා ද කටයුතු කළේ ය.

ලංකා ජාතික සංගමය ඩොනමෝර් ව්‍යවස්ථාව පිළිගැනීම පිළිබඳ ව විරෝධය දැක්වූ මොහු ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා ද සමඟ සංගමයෙන් ඉවත් වී 'සමස්ත ලංකා ලිබරල් ලීගය' පිහිටුවා ගත්තේ ය. එහි ප්‍රථම සභාපති වූයේ ද සොයිසා මහතා ය. මෙම සංගමයේ ප්‍රධාන ම ඉල්ලීම වූයේ ලංකාවට වැඩි පාලන බලතල ලබා දීම සඳහා නිලලත් ඉංග්‍රීසි ජාතික සාමාජිකයන් පාලන තන්ත්‍රයෙන් ඉවත් කළ යුතු බවයි.

1931 වසරේ දී පවත්වන ලද මැතිවරණයට සඳහා බලපිටිය අසුනට තරඟකොට ජයගත් ඔහු දේශීය කටයුතු පිළිබඳ කමිටුවේ සාමාජිකයකු ලෙස අගනා යෝජනා රැසක් ඉදිරිපත් කළේ ය. ඉතා දක්ෂ කථිකයකු වූ ඔහු කිසිදු සටහනක් හෝ නැතිව කථාකළ ආකාරයෙන් මුළු සභාවේ ම අවධානය යොමු කර ගැනීමට සමත් විය.

ඉතා අවංක දේශපාලකයකු වුව ද ඔහුගේ දේශපාලන ජීවිතය ඉතා කෙටි විය. 1936 වසරේ දී ගාලු අසුන සඳහා තරග කළ ද ඉන් පරාජයට පත් විය. මේ පරාජයට හේතු වූයේ මොහු වැරදි ආසනය සඳහා තරග කිරීම බව දේශපාලන විචාරකයින්ගේ මතය විය. මේ පරාජය සමග ම ඔහුගේ ජීවිත සටන ද නිමා විය. ඒ 1942 වසරේ පෙබරවාරි මස 18 වැනි දින ඔහු මෙලොවින් සමුගත් බැවිනි.

(කර්තෘ: චාමින්ද සෙනෙවිරත්න?)

(සංස්කරණය නොකළ)