අඞ්ගීරස්

සිංහල විශ්වකෝෂය වෙතින්
11:07, 12 ජූලි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

වෛදික ග්‍රන්ථයන්හි දැක්වෙන මහර්ෂිවරුන් සත්දෙනාගෙන් කෙනෙකි. සෘග්වේදයෙහි සූක්ත විශාල සංඛ්‍යාවකින් මොහුගේ ගුණවර්ණනය කොට ඇති හෙයින් වෛදික යුගයේ දී ඔහුට ලැබුණු ගෞරවයේ ප්‍රමාණය අපට මැනගත හැකිය. අඞ්ගීරස් ප්‍රජාපතීන් දසදෙනාගෙන් කෙනෙකු හැටියට ද සැලකේ. සෘග්වේද යුගයෙන් පසු යුගවල දී මොහු දක්ෂ නීති සම්පාදකයකු හැටියට ද, තාරකා ශාස්ත්‍රය ගැන ග්‍රන්ථයක් ලියූ තැනැත්තකු හැටියට ද ප්‍රසිද්ධ විය. ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙහි අඞ්ගීරස් බෘහස්පති ග්‍රහයා ලෙස හැඳින්වෙයි. එබැවින් ඔහුට "සුරගුරු" යන නමක් ද වෙයි.

එක් දේවකථාවකට අනුව අංගීරස් උරුගේ හා ආග්නේයීගේ (අග්නිගේ දියණියන්ගේ) සම්බන්ධය නිසා උපන් පුතාය. තවත් දේවකථාවකට අනුව අංගීරස් උපන්නේ මහබඹුගේ මුඛයෙනි. ගෝපථ බ්‍රාහ්මණයේ සඳහන් වන අයුරු ඔහු උපත ලැබුයේ උග්‍රතපසක යෙදුණු වරුණ නිසාය. අඞ්ගීරස් සෘෂිවරයාට භාර්‍ය්‍යාවන් සිව් දෙනෙකුන් සිටි බව කියැවේ. ස්මෘති (සිහිය), ශ්‍රද්ධා (භක්තිය), සවධා (උපහාරය) සහ සතී (සත්‍යය) යනු මේ සිව්දෙනාගේ නම්ය. ඔහුගේ දියණිවරුන් වූයේ වෛදික ස්තෝත්‍රයි. පුතුන් වූයේ "හවිෂ්මත්" නමින් හැඳින්වුණු පිතෘලෝක වාසීහුය. මේ හැර ඔහුට සිනිවාලි, කුහු රාකා, අනුමතී, අකුරාපා නමින් දියණිවරු පස් දෙනෙක් ද අග්නි (බ.) සංවර්ත, උතථ්‍ය, බෘහස්පතී හා මාර්කණ්ඩේය නමින් පුත්තු පස්දෙනෙක් වූහයි කියති. භාගවත පුරාණයෙහි සඳහන් වන අයුරු ඔහු පුතුන් ලැබූයේ රතීතර නමැති වඳ වූ ක්ෂත්‍රිය කන්‍යාවක් හා විවාහ වීමෙනි. අඞ්ගීරස නමින් හැඳින්වෙන ගෝත්‍රය මොහුගෙන් ඇතිවිණැයි සැලකේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අඞ්ගීරස්&oldid=2619" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි