අපරාධ නීතිය (ක්‍රිමිනල් නීතිය)

සිංහල විශ්වකෝෂය වෙතින්
10:15, 26 ජූනි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('අපරාධවල විස්තර විභාග දැක්වීම, නඩු විභාග කිරීම...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

අපරාධවල විස්තර විභාග දැක්වීම, නඩු විභාග කිරීම හා දණ්ඩනය යන කරුණු අපරාධ නීතියෙහි සංග්‍රහ වෙයි. අපරාධ යනුවෙන් අදහස් කරනුයේ පුද්ගලයන්ට හෝ සමාජයට හෝ අනර්ථකර වූ ද දණ්ඩන තර්ජනයේ මාර්ගයෙන් වැළැක්වීමට රජය වෑයම් කරන්නාවූ ද ක්‍රියා හෝ පැහැර හැරීම්ය. පෞද්ගලික වශයෙන් හෝ පොලීසියේ මාර්ගයෙන් හෝ අපරාධවලට විරුද්ධව නඩු පවරනු ලැබේ. එහෙත් මේ සම්බන්ධව ප්‍රධාන වශයෙන් ක්‍රියා කරනු ලබන්නේ පොලීසිය විසිනි. පොලීසිය සමාජයේ යහපත සඳහා නීති මාර්ගයෙන් ක්‍රියාරම්භ කරයි. අධිවෝදනීය (indicatable) අපරාධ සම්බන්ධයෙන් ඇටෝර්නි ජනරාල් මහරැජිනගේ නියෝජිතයා වශයෙන් නඩු පැවරීම කරයි.

අපරාධ නීතිය අංග තුනකින් සමන්විතය. එනම්:

1. අපරාධවල විස්තර විභාග දක්වන නීතිය: මේ අංශය යටතේ ක්‍රියාවක් හෝ පැහැර හැරීමක් දණ්ඩන වරදක් බවට පමුණුවන කරුණු ද යම්කිසි ක්‍රියා පටිපාටියක් සම්බන්ධයෙන් ක්ෂමාව ලැබීමට හෝ එම ක්‍රියාපටිපාටිය යුක්ති සහගත බව ඔප්පු කිරීමට හෝ නිත්‍යානුකූලව පිළිගත හැකි කරුණු ද විස්තර කරනු ලැබේ.

2. සාක්ෂි පිළිබඳ නීතිය: වරදකාරිත්වය ඇති කරන කරුණු හා වරදකරුගේ වගකීම ඔප්පු කිරීම මේ අංගය යටතේ විස්තර කෙරේ.

3. අපරාධ නඩු සංවිධානය පිළිබඳ නීතිය: මෙහි විස්තර කෙරෙන්නේ චූදිතයකු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයයි. අපරාධ අධිකරණ බලය ඇති උසාවි, නඩු පැවරීම, නඩු විභාගය, වරදකරු කිරීම, දණ්ඩන නියමය හා ඇපැල් ගැනීම යන කරුණු මෙහි ඇතුළත් වේ.

අපරාධ පිළිබඳ විස්තර විභාග ව්‍යවස්ථා පනත් කීපයක් ම අඩංගු වී තිබෙන නමුදු ඒවායින් වැඩි කොටසක් ම දැක්වෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයෙහිය. අපරාධයක් සම්බන්ධයෙන් වගකීම පිළිබඳ පොදු මූලධර්ම හැඳින ගැනීම සඳහා මෙම සංග්‍රහය පරිශීලනය කළ යුතුය. අපේ දණ්ඩනීති සංග්‍රහය ඉන්දියානු දණ්ඩනීති සංග්‍රහයේ පිටපතකි. ක්‍රි.ව. 1883 දී මෙය ලංකාවේ නීතිය වශයෙන් පිළිගැනීමෙන් පසු ලන්දේසි අපරාධ නීතියේ ඉතිරිව තිබුණු කොටස් ද ඉංග්‍රීසි විනිශ්චයකාරයන් විසින් වටින් පිටින් ඇතුළත් කර තිබුණු ඉංග්‍රීසි අපරාධ නීතියේ කොටස් ද අවලංකු කරනු ලැබීය. එහෙත් අපේ දණ්ඩ නීති සංග්‍රහය බොහෝ සෙයින් ඉංග්‍රීසි නීතිය අනුව සකස් වූවක් බැවින් එම මූලධර්මයන්ගේ මාර්ගදේශකත්වය අනුව අපි කටයුතු කරමු. අපරාධ නඩු සංවිධානය පිළිබඳ අපේ නීතිය අපරාධ නඩු සංවිධාන සංග්‍රහයේ (Criminal Procedure Code) අඩංගුව තිබේ. මෙහි අන්තර්ගත නඩු සංවිධානය වූකලී ඉංග්‍රීසි උසාවිවල අනුගමනය කරනු ලබන පරිපාටියයි. සාක්ෂි විභාගය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය යුගයේ මුල් අවස්ථාවේ දී සිට ම අපේ උසාවි අනුගමනයකළ ඉංග්‍රීසි නීතිරීති සාක්ෂ්‍ය ආඥාපනතේ (Evidence Ordinance) ඇතුළත් කර තිබේ. යථොක්ත් කරුණු අනුව බලන විට, අපේ අපරාධ නීතිය මුළුමනින් ම ව්‍යවස්ථාගත කොට තිබෙන බවත්, ඉංග්‍රීසි නීතියේ මූලධර්මයන් අනුව එය සකස් වී තිබෙන බවත් පෙනේ. සිංහල අපරාධ නීතියේ කිසිදු සලකුණක් මෙහි දක්නට නැත. එහෙත්, විවිධ අපරාධ හා ඊට සුදුසු දඬුවම් සම්බන්ධයෙන් ඉංග්‍රීසි ජාතිකයන්ගේ අදහසුත් උඩරට ජනයාගේ අදහසුත් අතර සැලකිය යුතු සමානත්වයක් ඇතැයි යනු "සිංහලයන්ගේ නීති හා සිරිත් විරිත්" (The Laws and Customs of the Sinhalese) නමැති ග්‍රන්ථය කළ හේලි (Hayley) මහතාගේ නිගමනයයි. (සිංහල නීතිය බ.)

හානිකර ක්‍රියා වැළැක්වීමට වෑයම් කරන්නේ අපරාධ නීතිය පමණක් නොවේ. සිවිල් නීතියේ සමහර විධානයන් ද මේ පරමාර්ථය පිණිස යොදවා තිබේ. එහෙත් මේ දෙක අතර යම් යම් වෙනස්කම් ඇත. සිවිල් නීතියෙන් නියමිත යම්කිසි ක්‍රියා පටිපාටියක් අනුගමනය කිරීම හෙවත් පිළිපැදීම පැහැර හැරියාවූ පුද්ගලයකු තමා එසේ පැහැර හැරීමේ ප්‍රතිඵලයක් වශයෙන් හානි ලැබූ අන් කෙනකුට වන්දි ගෙවිය යුතුය. එහෙත් අපරාධ නීතියෙන් තහනම් කරන ලද ක්‍රියාවක් කළ කල්හි එසේ කළ වරදකරු දණ්ඩනයට භාජන වේ. සිවිල් වරදක් සම්බන්ධයෙන් ප්‍රතිකර්ම ලබාගත හැක්කේ සිවිල් නඩු සංවිධානය මගින් පමණකි. අපරාධයක් සම්බන්ධයෙන් අපරාධ නඩු සංවිධානය මගින් ම ප්‍රතිකර්ම ලබාගත යුතු වෙයි. කවර වැරදි ක්‍රියා අපරාධ ලෙස සැලකිය යුතු ද යන්න එක් එක් අවස්ථාවේ දී අනුගමනය කරන රජයේ ප්‍රතිපත්තියට අනුව දඬුවමක් නියම කිරීමෙන් හෝ ඒ සම්බන්ධව ක්‍රියා කිරීම සඳහා අපරාධ නීති මාර්ගයක් පෙන්වා දීමෙන් හෝ තීරණය වේ.

අපරාධ වර්ගීකරණය: දණ්ඩ අපරාධ සියල්ල ම ලඝු අපරාධ (summary offences) හා අධිචෝදනීය අපරාධ යනුවෙන් කොටස් දෙකකට බෙදනු ලැබේ. මහේස්ත්‍රාත් උසාවිය මගින් ලුහුඬින් විභාග කොට සුළු දඩයක් ගැසීමෙන් හෝ කෙටි කාලයකට බන්ධනාගාර ගත කිරීමෙන් හෝ අවසන් කරනු ලබන අපරාධ ලඝු අපරාධ සංඛ්‍යාවට ඇතුළත්ය. දිස්ත්‍රික් උසාවිය මගින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් හෝ පමණක් විභාග කළ හැකි අන් සියලු ම අපරාධ අධිචෝදනීය අපරාධ වශයෙන් ගැනේ. දණ්ඩ අපරාධ ඒවායේ ස්වභාවය අනුව ද පහත සඳහන් ලෙස වර්ග කළ හැකිය.

1. පුද්ගලයාට විරුද්ධව කරන අපරාධ: නි. මිනීමැරීම, තුවාළ කිරීම, පැහැර ගෙන යෑම, ස්ත්‍රී දූෂණය.

2. දේපළට විරුද්ධව කරන අපරාධ: නි. සොරකම, කොල්ලකෑම, සාපරාධී සාවද්‍ය පරිහරණය (criminal misappropriation), /වටීම.

3. සමාජයට විරුද්ධව කරන අපරාධ: නි. රාජද්‍රෝහිකම්, සමාජයේ මනා පැවැත්මට විරුද්ධව කරන අපරාධ, අධිකරණ පරිපාලනයට හෙවත් යුක්තිය පසිඳලීමට විරුද්ධව කරන අපරාධ යමකු අපරාධකරුවකු ලෙස සැලකීමට පෙර, අපරාධ නීතියෙන් තහනම් වූ ක්‍රියාවක් ඔහු විසින් කරන ලද බව ඔප්පු කළ යුතුය. එපමණක් නොව, එම ක්‍රියාව කරන අවස්ථාවේ දී ඔහු තුළ සාවද්‍ය මානසික තත්වයක් පැවති බව ද ඔප්පු කළ යුතුය. මෙසේ අපේ නීතියට අනුව අපරාධයන් ඇතිවීමට තිබිය යුතු මානසික තත්වයන් හා ක්‍රියාවන් දණ්ඩ නීති සංග්‍රහයේ ද අන්‍ය ව්‍යවස්ථා පනත්වල ද විභාග කොට ඇත. එක් එක් අපරාධයක් ඇති වීමට අවශ්‍ය මානසික තත්ත්වය ඒ ඒ අපරාධයට අනුව වෙනස් වේ. චේතනාව, අපරාධයක් බව දැනගෙන සිටීම, කපටිකම, නොසැලකිල්ල යන මෙවැනි දෙයින් එකක් යම්කිසි අපරාධයක් ඇති වීමට අවශ්‍ය මානසික තත්වය වන්නට පුළුවන. ක්‍රියාවත් මානසික තත්වයත් යන දෙක ම පැමිණිලි පක්ෂය විසින් ඔප්පු කළ යුතුය. ක්‍රියාව පමණක් ඔප්පු වුවත්, සාවද්‍ය චේතනාව පැවැති බවට සාක්ෂි නොමැති කල්හි අපරාධය ඇති වීමට අත්‍යවශ්‍ය මූල ධර්මයක් එහි නැතිව යයි. එබඳු තන්හි දී විත්තිකරු නිදහස් කළ යුතුය. එහෙත් සමහරවිට ව්‍යවස්ථිත ඇතැම් ළඝු අපරාධ සම්බන්ධයෙන් සාවද්‍ය චේතනාවක් හෝ මානසික තත්ත්වයක් ඔප්පු කිරීම අනවශ්‍යය.

නිදහසට කරුණු: ක්‍රියාවත් සාවද්‍ය චේතනාවත් යන දෙක ම ඔප්පු වුවත්, චූදිතයකුට දණ්ඩ නීති සංග්‍රහයේ සතරවැනි පරිච්ඡේදයේ සඳහන් විශේෂ කරුණක් තම නිදහස සඳහා ඉදිරිපත් කිරීමට පුළුවන. ක්‍රියාව කරන්නා ඒ හා සම්බන්ධ කරුණුවල යථා තත්ත්වය පිළිබඳ වැරදි අවබෝධයක් කරණකොටගෙන එය කෙළේ නම්, එය කිරීමට තමා නීතියෙන් බැඳී සිටින බව හෝ එය නීත්‍යනුකූලව යුක්තිසහගත බව හෝ විශ්වාස කළේ නම් එය නිදහසට කරුණකි. වයස අවුරුදු අටෙන් පහළ බාලයෝ අපරාධ කිරීමෙහි අපොහොසතුන් ලෙස සලකනු ලබත්. වයස අවුරුදු අටටත් දොළහටත් අතර බාලයෝ තමන් කරන ක්‍රියාවේ යථා ස්වභාවයත් එහි ප්‍රතිඵලත් පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීමට සෑහෙන මුහුකුරා ගිය බුද්ධියක් ඇතිව සිටි බව ඔප්පු වුවහොත් විනා අපරාධකරණයෙහි පොහොසතුන් ලෙස සලකනු නොලබති. වයස අවුරුදු දොළහෙන් ඉහළ බාලයෝ තමන් කරන අපරාධවලට සම්පූර්ණයෙන් ම වගකිවයුත්තෝ වෙති. එහෙත් ඔවුන් පිළිබඳ නඩු විභාගයත් දඬුවමුත් වයස් සම්පූර්ණ වූවන් පිළිබඳ නඩු විභාගයට හා දඬුවම්වලට වෙනස්ය. සාපරාධී ක්‍රියාව කරන්නා විපරීත බුද්ධිය කරණකොටගෙන තමන් කරන ක්‍රියාවේ යථා ස්වභාවය හෝ තමන් කරන දෙය වැරදි බව හෝ නීතිවිරෝධී බව හෝ වටහා ගැනීමෙහි අපොහොසත් වූයේ නම් උමතු බව නිදහසට කරුණකි. රීතියක් වශයෙන් උමතු බව නිදහසට කරුණක් ලෙස පිළිගන්නේ මිනීමැරුම් නඩුවලදී ය. මීට හේතුව නම් උමතු බව නිසා නිදහස් කරනු ලැබූ පුද්ගලයකු සීමා රහිත කාලයකට මානසික රෝග්‍යශාලාවකට හෝ බන්ධනාගාරයට යැවිය යුතු වීමයි. මත්වීම ද සම්පූර්ණ නිදහටස කරුණකි. එය එසේ පිළිගනු ලබන්නේ මත්ද්‍රව්‍යය තමන් නොදැන හෝ තමාගේ කැමැත්තට විරුද්ධව හෝ යමකු විසින් ශරීරගත කරන ලද විට බීමත්කම නිසා තමන් කරන ක්‍රියාවේ යථාස්වභාවය හෝ එය වැරදි බව හෝ නීතිවිරෝධී බව හෝ අවබෝධ කර ගැනීමට චූදිතයා අපොහොසත් වූ විටය. තමන් විසින් ම ඇති කර ගනු ලබන බීමත්කම නිදහසට කරුණක් වන්නේ යමකුට විරුද්ධව ඉදිරිපත් කරන ලද චෝදනා ඔප්පු කිරීමෙහි ලා චේතනාවක් අවශ්‍ය වූ තැනේ දී ඔහු තම බීමත්කම නිසා ඒ චේතනාව තමන් තුළ ඇති කරගැනීමට අපොහොසත්ව සිටි බව පිළිගැනුණු විට පමණි. මිනීමැරීම හා රාජද්‍රෝහිකම යන අපරාධයන් හැරුණු විට, අන් අපරාධවල දී විත්තිකරු සාපාරාධී ක්‍රියාව කෙළේ ක්ෂණික මරණ තර්ජනය උඩ බලකරනු ලැබීමෙන් නම් එය ද නිදහසට කරුණකි. සාපරාධී චේතනාවෙන් තොරව, අන්කිසි අනර්ථයක් වැළැක්වීම සඳහා කරන ක්‍රියාවක් සම්බන්ධයෙන් ද යමකුට ක්ෂමාව ලැබිය හැකිය. යමකු සිය කැමැත‍්තෙන් අනතුරු පීඩාවක් ලැබූ කල්හි ඔහුගේ ඒ කැමැත්ත හෙවත් අනුමතිය සමහර අවස්ථාවල දී විත්තිකාරයාගේ නිදහසට කරුණක් වශයෙන් ඉදිරිපත් කිරීමට පුළුවන. එහෙත් මේ සියලු ම අවස්ථාවල දී එම අනුමතිය යටකී අන්දමේ පීඩාව නිසා නැතහොත් වැරදි අවබෝධයකින් යුක්තව දෙන ලද්දක් හෝ ළදරුවකු විසින් නැතහොත් උමතු පුද්ගලයකු විසින් දෙන ලද්දක් හෝ නොවිය යුතුයි. අන්‍යයකුගේ නීතිවිරෝධී ආක්‍රමණයන්ගෙන් තමන්ගේ ශරීරයත් දේපළත් ආරක්ෂා කර ගැනීම සඳහා ආක්‍රමණිකයාට විරුද්ධව ක්‍රියා කිරීම පිණිස අයිතිවාසිකමක් නීතියෙන් පැවරේ. එබඳු තැනැත්තෙක් නීතියෙන් නියම කරන ලද සීමාවන් තුළ එම අයිතිවාසිකම ක්‍රියාත්මක කිරීමේ දී යම් අනතුරු පීඩාවක් කරයි ද එවැනි ක්‍රියාවක් අපරාධයක් ලෙස සලකනු නොලැබේ.

පාපසහායතාව (complicity): අපරාධයකට සහභාගී වීමෙහි ද යම් යම් ප්‍රමාණ දණ්ඩ නීතියෙහි දක්වා තිබේ. අපරාධයක් කිරීමේ දී එක්තරා අවස්ථාවක් එළඹි කල්හි, නීතිය මගින් ඊට වගකීම ආරූඪ කරනු ලැබේ. එවිට දඬුවම් ලබන්නේ සාපරාධි ක්‍රියාවක් නියම වශයෙන් ම කරන්නා පමණක් නොවේ. යමෙක් එම අපරාධය කිරීම සඳහා ඔහු පොලඹවයි ද, ඔහුට සහාය වෙයි ද, එසේ නැතහොත් එය කිරීම සඳහා ඔහු හා සමඟ කුමන්ත්‍රණයෙහි යෙදෙයි ද, ඒ තැනැත්තාත් අපරාධයේ නියම කර්තෘ මෙන් ම එක ම දඬුවම් ලැබීමට සුදුස්සෙක් වෙයි. යමෙක් අපරාධකරුට අධිකරණයෙන් මිදී පලා යාමට සහාය වෙයි ද, ඔහුට විරුද්ධව ඇති සාක්ෂි යටපත් කිරීමට සලසයි ද, එසේ නැතහොත් අපරාධකරුට රැකවරණය දෙයි ද, හේතෙමේ ද අපේ නීතිය යටතේ දඬුවම් ලැබිය යුත්තෙක් වෙයි.

යත්නය: අපරාධයක් කිරීම සඳහා හුදෙක් සූදානම් වීම් වශයෙන් කරන කටයුතු දණ්ඩනීය නොවූවත්, අපරාධයක් කිරීම සඳහා ‍කරන යම්කිසි යත්නයක් වේ ද, එම අවස්ථාවේ හැටියට අපරාධය කිරීම නොකට හැකි වුව ද, එබඳු යත්නය දණ්ඩනීය වේ. එය එසේ දණ්ඩනීය වන්නේ කර්තෘගේ චේතනාවේ ඇති සාපරාධීභාවය නිසාය. එහෙත් සාපරාධී චේතනාව සාක්ෂි මඟින් පැහැදිලි විය යුතුය. අපරාධකරු විසින් තම පරමාර්ථය මුදුන් පමුණුවා ගැනීම පිණිස කරන යම්කිසි ක්‍රියාවක් වේ ද, ඒ මගින් ඔහු තුළ සාපරාධී චේතනාවක් තිබෙන බව නිසැකව ම පෙන්නුම් කෙරේ ද, එබඳු ක්‍රියාවකින් සාපරාධි චේතනාව ඔප්පු විය යුතුය.

අපරාධ උසාවි හා අධිකරණ මාර්ගය: බ්‍රිතාන්‍ය ජාතිකයෝ ලන්දේසීන් විසින් ලංකාවෙහි පිහිටුවා තුබුණු උසාවි ක්‍රි. ව. 1879 දී නිකුත් කළ ප්‍රකාශනයෙන් අවලංගු කර දමා, ඒ වෙනුවට ක්‍රි. ව. 1801-1833 දක්වා වරින්වර නිකුත් කරන ලද නොයෙක් ප්‍රකාශනයන් මගින්සම්පූර්ණ අධිකරණ බලය සහිත ශ්‍රේෂ්ඨාධිකරණයක් ද සීමිත අධිකරණ බලයක් සහිත පහළ උසාවි ද පිහිටුවූහ. ක්‍රි. ව. 1899 දී පනවන ලද උසාවි පනතින් මේ උසාවි නීත්‍යනුකූල ලෙස පිළිගනු ලැබීය. දැනට අපරාධ උසාවි පිහිටුවීම හා ඒවායේ පාලනය සිදුවන්නේ මේ පනතිනි.

ශ්‍රෙෂ්ඨාධිකරණය: දිවයින තුළ සිදුවන සියලු ම අපරාධ සම්බන්ධයෙන් මූලික අධිකරණ බලයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇත. එහෙත් ව්‍යවහාරයේ දී එම අධිකරණ බලය මහේස්ත්‍රාත් උසාවිය මගින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන වඩා බරපතළ අපරාධ විභාගයට හා විනිශ්චයට පමණක් සීමාවී ඇත්තේය. ශ්‍රේෂ්ඨාධිකරණය සතු අපරාධ අධිකරණ බලය අපරාධ නඩු සැසිවල දී ජූරිසභාවක සහාය ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරයකු නැතහොත් අපරාධ අධිකරණ කොමසාරිස්වරයකු වෙත පැවරේ. ජූරි සභාවක් ඇතිව හෝ නැතිව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුවන් තිදෙනකුන් ඉදිරිපිට නඩු විභාගයක්පැවැත්වීමට ඉඩ ඇතත් එය සාමාන්‍යයෙන් සිදුවන්නක් නොවේ. ජූරි සභාව මගින් නඩු විසඳීම ආරම්භ කරන ලද්දේ ක්‍රි. ව. 1810 දී ය. මේ මගින් විත්තිකරුවකුට තම ජීවිතයත් නිදහසත් දේපළත් කෙරෙහි බලපාන කරුණු සිය අසල්වැසියන් හා සමාන පුද්ගලයන් ලවා තීරණය කරගැනීමේ වරප්‍රසාදය ලැබේ. එසේ ම ඔහුට මහජන මතයෙන් සනාථ වූ කාරුණික තීරණයක් ලබා ගැනීමට ද හැකි වෙයි. ජූරි සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේකම්වරයා විසින් කැඳවනු ලබන පිරිසකින් සීට්ටු හෙවත් කුසපත් ඇදීමෙන් තෝරා ගත් සභිකයන් සත්දෙනෙකුගෙන් සමන්විත වෙයි. කිසිදු හේතුවක් හෝ කාරණයක් නොදක්වා එක් ජූරිසභිකයකුගේ හෝ දෙදෙ‍නකුගේ සුදුසුකම් ගැන ප්‍රශ්න කරමින් අභියෝග කිරීමට විත්තිකරුවකට පුළුවන. අපාධ නඩු සංවිධාන සංග්‍රහයේ 225 වැනි ඡේදයේ සඳහන් මොන යම් කරුණක් හෝ ඉදිරිපත් කරමින් ‍ජූරි සභිකයන් දෙදෙනකුට වැඩි ගණනකගේ සුදුසුකම් පිළිබඳ අභියෝග කිරීමට ද ඔහුට පුළුවන. විත්තිකරුවකුට ජූරිය මගින් තම නඩුව විසඳා ගැනීමට ඇති අයිතිවාසිකම් එක් විශේෂ කරුණක් නිසා නොලැබෙන්නට පුළුවන. ඒ විශේෂ කරුණ නම් අභ්‍යන්තර කලකෝලාහල නිසා හෝ මහජනයා අතර ඇතිවිය හැකි නොසන්සුන්කමක් නිසා හෝ වෙන එබඳු කරුණක් නිසා හෝ නඩු විභාගය සිරිත් පිරිදි පැවැත්වීම නුසුදුසු යයි අධිකරණ ඇමතිවරයා සලකයි නම්, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරයන් තිදෙනෙකු ඉදිරිපිට ජූරියක් රහිතව නඩුව විභාග කරන ලෙස නියම කිරීමට ඔහුට බලය තිබීමයි.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට නඩුවක් විභාග කරන්නේ ඇටෝර්නි ජනරාල්ගේ නාමයෙන් ඉදිරිපත් කෙරෙන අධිචෝදනා පත්‍රයකට අනුවය. මෙයට ප්‍රථම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රාථමික නඩු විභාගයක් පවත්වනු ලැබේ. මෙය ආරම්භ වන්නේ මහේස්ත්‍රාත්වරයා විසින් විත්තිකරුට විරුද්ධව ඇති චෝදනා සියල්ල කියවා දීමෙනි. මෙහිදී හෙතෙම පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ද විත්තිකරු විසින් ඉදිරිපත් කරන සාක්ෂි හෝ ඔහු විසින් කරන ප්‍රකාශනයක් වෙතොත් එය ද අසයි. ලේඛනගත කර තබන මේ වාර්තාව සාක්ෂි ප්‍රකාශනය නමින් හැඳින්වේ. නඩු විභාගය සඳහා විත්තිකරු ඉහළ උසාවියට භාරදෙන කල්හි සාක්ෂි ප්‍රකාශනය ද ඒ සමඟ භාරදෙනු ලැබේ. ප්‍රාරම්භක විභාගයේ අවසානයේ දී විනිශ්චයට භාජන විය යුතු යයි හැ‍ඟෙන (prima facie) නඩුවක් සකස් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බව පෙනී ගියහොත්, විත්තිකරු ශ්‍රේෂ්ඨාධිකරණය හෝ දිස්ත්‍රික් උසාවිය ඉදිරියට පමුණුවනු ලැබේ. එසේ නැතහොත් විත්තිකරු නිදහස් වේ.

අපරාධ නඩු විභාගයක දී අනුගමනය කරන ක්‍රියා මාර්ගය සිවිල් නඩු විභාගයක දී අනුගමනය කරන ක්‍රියාමාර්ගයට සමානය. වෙනසකට ඇත්තේ මෙහි දී සාක්ෂි පිළිබඳ නීති වඩා දැඩි ලෙස පිළිපැදීමයි. ලංකාවේ අපරාධ නඩු සංවිධානයෙහි විශිෂ්ට ලක්ෂණයක් වනුයේ එහි දී විනිශ්චයකරුට අයත් වන ක්‍රියා කලාපයයි. ප්‍රංසය වැනි රටවල මෙන් විනිශ්චයකරු අඩක් අපරාධ පරීක්ෂකයකුගේ වේශයෙන් පෙනී සිටින්නා වූ ද, චූදිතයාගෙන් ප්‍රශ්න ඇසීම (ඇතැම් විට ඉතා තියුණු අන්දමින්) තමාම කන්නා වූ ද ක්‍රමය අනුගමනය නොකොට බ්‍රිතාන්‍යයෙහි මෙන් මෙහි විනිශ්චයකරු මධ්‍යස්ථව සිටී. පැමිණිලි පක්ෂයේ අනිසි උපක්‍රමයන්ගෙන් චූදිතයා ආරක්ෂා කිරීම පමණක් නොව ඔහුගේ නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔහුට උපකාරී වීම පවා මෙහි විනිශ්චයකරුගෙන් කෙරේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාගයක දී නීතිඥයකුගේ උපදෙස් හා සහාය ලබාගැනීමට තරම් වත්පොහොසත්කමක් නැති චූදිතයකු වෙනුවෙන් පෙනී සිටීම පිණිස විනිශ්චය කරු විසින් රජයේ වියදමින් නීතිඥයකු පවරා දීම ද මෙහි කරනු ලැබේ. නීත්‍යනුකූලව පිළිගත හැකි සාක්ෂි මාර්ගයෙන් විත්තිකරුගේ වැරැද්ද ඔප්පු කිරීම පැමිණිල්ල සතු කාර්‍ය්‍යයයි. විත්තිකරු තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීම අනවශ්‍යය. එමෙන් ම සාක්ෂි දීම සඳහා ඔහුට බල කළ නොහැක. එහෙත් සිය කැමැත්තෙන් ම තමන් වෙනුවෙන් සාක්ෂි දීමට ඔහුට පිළිවන. එවිට හරස් ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔහුට සිදුවේ. තමා වෙනුවෙන් පෙනී සිටිනු සඳහා නීතිඥයකු තබා ගැනීමට ඔහුට අයිතිවාසිකම් තිබේ. දිළිඳු පුද්ගලයකු වෙනුවෙන‍් පෙනී සිටීමට ඇතැම් විට ආණ්ඩුවේ වියදමින් නීතිඥයෙක් පත් කරනු ලැබේ. පැමිණිල්ලේ සාක්ෂිකරුවන් කැඳවීමටත් විත්තිකරුට අයිතිවාසිකම තිබේ. සාක්ෂි ඇසීමෙන් පසු දෙපක්ෂයේ නීතිඥවරු ජූරිය අමතා කථා කරති. විනිශ්චයකාර තෙමේ නඩු විභාගයේ දී දෙන ලද සාක්ෂි ලුහුඬින් පෙන්වා දී චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාවේ යෙවිය යුතු නීතිය විස්තර කර දෙයි. මීළඟට ජූරිය තම තීරණය දෙයි. මේ තීරණය අවලංගු වීම සඳහා ජූරි සභාවේ ඒකච්ඡන්දය හෝ සභිකයන් සත් දෙනාගෙන් යටත්පිරිසෙයින් පස් දෙනකුගේ එකඟත්වය හෝ අවශ්‍යය. යම් හෙයකින් විනිශ්චයකරු ජූරිසභාවේ තීරණය අනුමත නොකරයි නම්, ඔහු තීරණය ගැන නැවතත් සලකා බලන ලෙස ජූරියට නියම කරයි. එහෙත් දෙවැනි වර ලැබෙන තීරණය පිළිගැනීමට ඔහු බැඳී සිටියි. තමාට විරුද්ධව නඟන ලද චෝදනාවලට විත්තිකරු වරද කරු නොවේ නම්, විනිශ්චයකාරයා ඔහු නිදහස් කරයි. ජූරිසභාව ඔහු වරදකරු බව තීරණය ක‍ළහොත්, විනිශ්චයකාරයා නීතියට අනුව තීරණය දෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ දී වරදට පත් කරනු ලැබූ පුද්ගලයකුට නීතිය සම්බන්ධයෙන් පැන නඟින ප්‍රශ්නයක් මත හෝ නඩුව පිළිබඳ සිද්ධීන් සම්බන්ධයෙන් පැන නඟින ප්‍රශ්නයක් මත හෝ මේ දෙකෙන් ම මිශ්‍ර ප්‍රශ්නයක් මත හෝ එම තීරණයට විරුද්ධව අපරාධ ඇපැල් අධිකරණය වෙත ඇපැල් ගත හැකිය. ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අවලංගු කොට විත්තිකරු නිදහස් කර හැරීමට හෝ වෙනස් තීරණයක් දීමට හෝ නැවත නඩු විභාගයක් පවත්වන ලෙස නියම කිරීමට හෝ ඇපැල් උසාවියට බලය තිබේ. මේ හැර රාජාධිකරණයේ (ප්‍රිවිකවුන්සලයේ) අධිකරණ කාරක සභාවේ විශේෂ අවසරය පිට, එය වෙත ඇපෑලක් ඉදිරිපත් කළ හැක. එහෙත් නියමිත නීති මාර්ගය නොසලකා හැරීමෙන් හෝ ස්වාභාවික යුක්ති ධර්මයේ මූලික ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමෙන් හෝ සැලකිය යුතු අයුක්තියක් සිදු වී තිබෙන බව පෙන්වා දුන් විටක විනා, රාජාධිකරණය පහළ උසාවියේ තීරණයට අත නොගසයි.

දිස්ත්‍රික් උසාවිය: දිස්ත්‍රික් උසාවියට ද අපරාධ අධිකරණ බලයක් තිබේ. මහේස්ත්‍රාත් උසාවිය මගින් ප්‍රාරම්භක විභාගයට ඉක්බිතිව ඉදිරිපත් කරනු ලැබූ නඩුවක් දිස්ත්‍රික් උසාවියට ඇසිය හැකිය. චෝදනා පත්‍රයක් මුල් කොට කැරෙන මේ නඩු විභාගය දිස්ත්‍රික් නඩුකාරයකු ඉදිරියේ දී පැවැත්වේ. මෙහිදී තක්සේරුකරුවන් දෙදෙනකු ගේ සහාය ලබාගැනීමට ද නීතියෙන් ඉඩ සලසා තිබේ. මහේස්ත්‍රාත් උසාවිය : බරපතළ අපරාධ පිළිබඳ ප්‍රාථමික නඩු විභාගය පැවැත්වීමේ බලය හැර සුළු (ලඝු) අපරාධ නඩු විභාග කිරීමේ අධිකරණ බලය මහේස්ත්‍රාත් උසාවියට ඇත. සුළු (ලඝු) අපරාධ මහේස්ත්‍රාත්වරයකු විසින් ලුහුඬින් විභාග කොට විනිශ්චය කරනු ලැබේ. මහේස්ත්‍රාත් උසාවියේ නඩු සංවිධානය ජූරිසභාව විසින් පවත්වන විභාගයක දී ශ්‍රේෂ්ඨාධිකරණය අනුගමනය කරන සංවිධානයට සමානය. දිස්ත්‍රික් උසාවිය විසින් විභාග කළ යුතු අපරාධයක් තමන්ට නිසියාකාරයෙන් විභාග කළ හැකිය කියා හෝ අපරාධකරුවන්ගේ චරිතයත්, අතීත කරුණුත්, අපරාධයේ ස්වභාවයත්, නඩුව පිළිබඳ අන් සියලු කරුණුත් නිසා එය හදිසි කරුණක් යයි කියා හෝ තමන් විසින් ලියා දක්වන හේතූන් පිට මහේස්ත්‍රාත්වරයාට යම් හෙයකින් හැ‍ඟේ නම්, එසේ ම විත්තිකරු ඊට සිය කැමැත්ත ප්‍රකාශ කරයි නම්, දිස්ත්‍රික් උසාවිය මගින් විභාග කළ යුතු නඩුවක් මහේස්ත්‍රාත්වරයකුට ලුහුඬින් විභාග කොට විනිශ්චය කිරීමට පිළිවන. මෙසේ මේ අධිකරණබලය ආරූඪ කරගන්නා ‍මහේස්ත්‍රාත්වරයකුට වැඩිමනත් දණ්ඩන බලතල ලැබෙයි.

සාමාන්‍යයෙන් කියතොත්, ජූරිසභාව පිළිබඳ විධිවිධාන දිස්ත්‍රික් උසාවියට හෝ මහේස්ත්‍රාත් උසාවියට අදාළ නොවීම හැරුණු විට නඩු සංවිධානය අතින් යථෝක්ත උසාවි දෙකත් ශ්‍රේෂ්ඨාධිකරණයත් අතර සැලකිය යුතු වෙනසක් නැත.

ගම්බද උසාවි: පැරණි ගම්සභා වෙනුවට පිහිටුවන ලද මේ උසාවිවලට ලඝු අපරාධ (නි. තුවාළ කිරීම, පරහදීම, වටිනාකමින් රු. 20 කට වැඩි නොවූ සොරකම්, වටිනාකමින් රු. 50කට වැඩි නොවූ අලාභ කිරීම්) සම්බන්ධයෙන් සම්පූර්ණ අධිකරණ බලය තිබේ. ගම්සභා උසාවියේ තීරණයකට විරුද්ධව දිස්ත්‍රික් උසාවිය වෙත ඇපැල් ගත හැකිය.

දණ්ඩනය: දහනවවැනි ශතවර්ෂයේ දී ඊට කලින් පැවති දයාවිරහිත දරුණු දඬුවම් අවලංගු කර දැමීමෙන් පසු මේ රටේ දණ්ඩනය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පැහැදිලි ප්‍රතිපත්තියේ සැලකිය යුතු වෙනසක් ඇති වී තිබේ. බ්‍රිතාන්‍යයන් ලංකාව යටත් කර ගැනීමෙන් පසු වධදීම, අඟපසඟ සිඳ දැමීම ආදි දරුණු දඬුවම් නීතියෙන් අවලංගු කර දමන ලදි. මරණීය දඬුවම අපරාධ හතරකට පමණක් සීමා වී තිබේ. මෙය මිනීමැරීම සඳහා පමණක් තබා ගැනීම යුක්ති සහගත විය හැකි ද නැද්ද යන්න පිළිබඳ වාදය තවමත් කෙරීගෙන යයි. බන්ධනාගාර නීති පිළිබඳ නීති ප්‍රතිසංස්කරණය විශේෂ සැලකිල්ලකට භාජන වී තිබේ.

සාක්කි: නඩු විභාගයේ දී චූදිතයා වරදකරු බව හෝ නිවරදකරු බව තීරණය වන්නේ උසාවියට ඉදිරිපත් කෙරෙන සාක්ෂි අනුවය. සාක්ෂි ආඥාපනතේ දක්වා ඇති සාක්ෂි රීති (අ) සාක්ෂි ඇතුළත් කරගත හැකි බව (ආ) කරුණ ඔප්පු කිරීම (ඇ) ඔප්පු කිරීමේ භාරය යන කරුණු ගැන වේ.

(අ) විවාදයට භාජන වන කරුණු (චූදිතයාගේ වරදකාරිත්වය හෝ නිවැරදිකාරිත්වය ඉඳුරා ම නිගමනය වන කරුණු) සම්බන්ධයෙන් ද පෙලඹීමේ හේතුව, අපරාධය සඳහා අවස්ථාව ලැබීම හෝ සූදානම් වීම, අපරාධකරු හඳුනාගැනීම, මානසික හා ශාරීරික තත්වය, අපරාධය වූකලී සංවිධානය වූ ක්‍රියා කලාපයක කොටසක්ය යන්න, (පොලිස් නිලධාරීන්ට කෙරෙන අපරාධෝච්චාරණ ද තර්ජනයක් හෝ පොරොන්දු මගින් ලබාගන්නා අපරාධෝච්චාරණ ද හැර) අපරාධෝච්චාරණ, අපරාධෝච්චාරණද හැර) අපරාධෝච්චාරණ, අපරාධය සිදුවූ ස්ථානයෙන් ගනු ලබන ඇඟිලි සටහන් හා පා සටහන්, චූදිතයාගේ යහපත් චරිතය යනාදි වශයෙන් ප්‍රධාන ප්‍රශ්නයට අදාළ වූ කරුණු සම්බන්ධයෙන් ද පමණක් සාක්ෂි දිය හැකිය.

(ආ) ඉහත සඳහන් කරුණු ඔප්පු කිරීම වාචික සාක්ෂි මගින් හෝ ලේඛන සාක්ෂි මගින් හෝ කළ හැකිය. සත්‍යය ප්‍රකාශ කිරීමට දිවුරුම් දුන් සාක්කිකරුවන් සාක්ෂි දිය යුත්තේ තමන් ඇසූ දුටු හෝ අන් කවර ඉන්ද්‍රියක් මගින් මුත් තමන්ට අවබෝධ වූ හෝ කරුණු ගැන පමණි. මේ සාක්ෂි ඔවුන්ගෙන් අසනු ලබන ප්‍රශ්නවලට දෙන පිළිතුරු මගින් අනාවරණය කරගනු ලැබේ. සාක්කිකරුවකුගෙන් ඔහු කැඳවන පක්ෂය විසින් පළමුකොට ප්‍රශ්න අසනු ලැබේ. ඉන්පසු විරුද්ධ පක්ෂය විසින් හරස් ප්‍රශ්න අසනු ලැබේ. සාක්කිකරුවකු සාක්ෂි දිය යුත්තේ තමා දන්නා කරුණු පිළිබඳව හෙයින් ඔහුට සාමාන්‍යයෙන් තම මතයක් ප්‍රකාශ කළ නොහැකිය. එහෙත් විශේෂඥ සාක්කිකරුවනට ඔවුන්ගේ ප්‍රවීණත්වය අනුව අදාළ ඕනෑම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් තම මතය ප්‍රකාශ කිරීමට ඉඩ දෙනු ලැබේ. චූදිතයකුට තමා වෙනුවෙන් සාක්කි දීමට ද ස්වකීය නිදහස පිණිස වූ කරුණු තහවුරු කිරීම් වස් සාක්කි කැඳවීමට ද බලය තිබේ.

(ඇ) අපරාධයක් කරන ලදැයි චෝදනා ලැබූවකු වරදකාරී යයි ඔප්පු වන තුරු ඔහු නිර්දෝෂ යයි පූර්වනිගමනයක් ඇති බැවින් චූදිතයාගේ වරදකාරීත්වය ඔප්පු කිරීම පැමිණිලි පක්ෂයේ භාරයයි. මේ පූර්ව නිගමනය බැහැර කරලීමට (අස්ථාන කිරීමට) නම්, චූදිතයා අපරාධය කළ බව නිසැකවම දැක්වෙන සාක්ෂි පැමිණිලි පක්ෂය විසින් ඉදිරිපත් කළ යුතුයි. ඒ ප්‍රමාණයට සාක්කි ඔප්පු කිරීමට පැමිණිලි පක්ෂය අසමත් වුවහොත් චූදිතයා නිවරදකරු කොට නිදහස් කළ යුතු වේ.

කර්තෘ:ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර

(සංස්කරණය:1963)