ජිනරාජ වංශය (ගෞතම බුද්ධ චරිතය)

සිංහල විශ්වකෝෂය වෙතින්
00:35, 1 සැප්තැම්බර් 2017 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජිනරාජ වංශය (ගෞතම බුද්ධ චරිතය). නූතන ධර්ම සංග‍්‍රහයෙකි. ගෞතම බුද්ධ චරිතයේ උසස් බවත් ගිහි විනය ධර්මත් ලක්දිව බුදුසසුන පිහිටි පරිදිත් මෙහි කියැවෙන්නේ ය. ගෞතම බුද්ධ චරිතය මුල්තැන ගෙන සිටී. එබැවින් ‘ගෞතම බුද්ධ චරිතය’ යනු සුදුසු ම නාමයයි. ‘දිනන ලද ඉඳුරන් ඇති රජ ය’ යන යන අරුතින් බුදුනට ‘ජිනරාජ’ යැයි ද කියති. එය සැලකීමෙන් මේ ග‍්‍රන්ථය ‘ජිනරාජ වංශය’ යන අපර නාමයෙන් ද හැඳින්විණි. බහුලව ව්‍යවහාරයට පැමිණ ඇත්තේ ඒ අපර නාමයයි.

එකල බෞද්ධ පිරිසෙහි බොහෝ ජනයෝ නමින් පමණක් බෞද්ධ වූහ. බුද්ධ චරිතය උසස් ද හෝ බෞද්ධ ප‍්‍රතිපත්ති කිමෙක් ද හෝ නොදැනීමෙනි. එබැවින් ඔවුනට ඒ පිළිබඳ අවබෝධයක් ලබා දීමෙන් බෞද්ධ පිරිස නියම බෞද්ධ පිරිසක් හැටියට ජීවත්වීමෙහි උත්සාහවත් කරවාලීම මේ ග‍්‍රන්ථයෙන් ප‍්‍රධාන කොට අදහස් කරන ලද්දේ ය. ධර්ම සංග‍්‍රහයක් කිරීමෙන් වන ලෝවැඩ සැලකීම අප‍්‍රධානයි.

පානදුරේ මහවිල ඞී. එච්. ඇස්. අභයරත්නයෝ (අභයරත්න බ.) ජිනරාජ වංශය සංග‍්‍රහකයෝ ය. ඔවුන් විසින් ශෝධනය කරවා ගෙන පළ කරවන ලද බෞද්ධ සාහිත්‍ය ග‍්‍රන්ථ ගණනෙකි. ඒ අතරින් සිංහල මහාවංශය විශාල ම ග‍්‍රන්ථයයි. ස්ත‍්‍රි චිකිත්සාවලී වෛද්‍ය ග‍්‍රන්ථයක් ලෙසින් සිටී. (අභයරත්න බ.)

ගෞතම බුද්ධ චරිතයත් ගිහි විනයත් පිළිබඳ සිංහල බණපොත්හි ආ කරුණු නිවරද කිරීම් වශයෙන් පෙළ අටුවා කථා සමග සසඳා බලා මේ ග‍්‍රන්ථයට ගෙන ඇත්තේ ය. ඒ කරුණු අනුපිළිවෙළින් යොදාලීම පමණෙකි අභයරත්නයන් විසින් කරන ලද සේ පෙනෙනුයේ. ලක්මිණි පහන් පත් කතුවරයා ව සිටි ඇම්. ධර්මරත්න පඬිවරයා හා විදුදය පිරුවන්පති ව වැඩ සිටි මහගොඩ ශ‍්‍රී ඥානේශ්වර නාහිමියන් ශෝධ්‍ය පත‍්‍ර බලාදීමෙන් පොත පළ කරවීමට සහාය දුන් බව ද විදුදය පිරුවන්පති ව වැඩ විසූ හික්කඩුවේ ශ‍්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් විසින් පොත මැනවයි පිළිගන්නා ලද බව ද පැවසේ. ග‍්‍රන්ථ තත්ත්වය සලකා ගැනීමට එය ම ප‍්‍රමාණයි.

පස්වන වරට 1923 දී පළ කරවා තිබෙන ජිනරාජ වංශය පිටු 160කින් නිමවී ඇති දීපංකර විවරණ කථාව විස්තර ලෙසින් දැක් වූ පසු බෝසතුන් බුදුවෙන්නට පෙර අත්බැව්හි දෙව්ලොව උපන් බව ද බුදු වූ අත්බැවින් දෙව්ලොවින් සැවැ මනුලොව ඉපිද සිදුහත් නමින් පළ ව ගිහි ව සිට අබිනික්මන් කොට පැවිදි ව බුදු ව සිදු කළ යහපත ද පිළිවෙළින් පෙන්නා තිබේ. ඉක්බිති ව ගිහි විනය දහම් පහදා දෙයි. ඊට පසුව එන බුදුන් පිරිනිවන් පෑමේ සිට බුදුසසුන ලක්දිව පිහිටුණු සැටි ද බුදුගොස් හිමියන් හෙළ අටුවා පාලියට නැ`ගීම ද දක්වා තොරතුරුවලින් පොත කෙළවර වෙයි. ඇතැම් කථා පුවත් සිත්හි රැුඳී පවතිනසුලූ කොට ඇඳි මනහර සිතියම් 19ක් සුදුසු තන්හි වෙසෙසින් යොදා තිබේ. දහම් පොත් රැුසක් බලා දතයුතු වූ කරුණු ඇතුළත් මේ පොත සෑම බෞද්ධයකුට ම ඉතා වැඩදායක වෙයි.


ඞී. සී. දිසානායක