දකුණු ඉන්දියාව

සිංහල විශ්වකෝෂය වෙතින්
13:20, 1 මාර්තු 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

පිහිටීම දකුණු ඉන්දියාවට අයත් ප්‍රදේශය අර්ධද්වීපික ඉන්දියාවට අයත් ප්‍රදේශ ලෙස දළ වශයෙන් සැලකිය හැකි ය. එහෙත් භූගෝලීය මායිම් අනුව අර්ධද්වීපික ඉන්දියාවේ උතුරු මායිම වයඹ දිග පිහිටි අරවල්ලි කඳු දක්වා ද පැතිරෙයි. අරාබි මුහුදට හා බෙංගාල බොක්කට මැදි වූ අර්ධද්වීපික ඉන්දියාව ඉන්දියන් සාගරයට නෙරා ගොස් කොමොරින් තුඩුවෙන් අවසන් වේ. කොමොරින් තුඩුවෙන් පටන් ගන්නා මලබාර් වෙරළ නිරිත දිගටත් කොරමන්ඩල් වෙරළ එහි සිට මඳක් උතුරටත් ඊශානටත් විහිදෙයි.

අජන්තා කඳුවැටියේ සිට නිල්ගිරි දක්වා භූමි ප්‍රදේශයෙන් වැඩි කොටසක් වසා ගෙන පැතිරුණු ඉපැරණි ත්‍රිකෝණාකාර පර්වතයක් දකුණු ඉන්දියාවේ න්‍යෂ්ටිය වෙයි. සානුවක භූවිෂමතා ලක්ෂණ මේ තුළින් විද්‍යමාන වේ. එහි බටහිර මායිම බටහිර ඝාට්ස් කඳු ය. නැගෙනහිර ඝාට්ස් කඳු යන නැගෙනහිර මායිම මඳ බෑවුමකින් අවසන් වෙයි. මෙය බටහිර ඝාට්ස් හා කොරමැන්ඩල් වෙරළ අතර බටහිර තීරයට වඩා පළල් වූද කර්ණාටක නැමැති පහත් බිම ය. කර්ණාටක හෙවත් ද්‍රවිඩ තැන්න දකුණු ඉන්දියාවේ වැදගත් රාජධානි සියල්ලෙහි ම අගනුවරවල් පිහිටුවා ගනු ලැබූ නියම පැරණි දකුණු ඉන්දියාවයි.

අයත් ප්‍රාන්ත රාජ්‍ය වර්තමාන දකුණු ඉන්දියානු ප්‍රදේශයට අයත් ප්‍රාන්ත රාජ්‍ය වනුයේ මහාරාෂ්ට්‍ර, කර්ණාටක, කේරළය, තමිල්නාඩුව සහ අන්ද්‍රා ප්‍රදේශයයි. මධ්‍ය ප්‍රදේශයේ දකුණු කොටසත් ඔරිස්සාවෙන් කොටසකුත් ලක්ෂ ද්වීප අන්දමන් හා නිකොබාර් දූපත් ද අයත් ය. භූගෝලීය ඒකකයක් ලෙස සලකා දකුණු ඉන්දියාව පිළිබඳ විස්තර වේ. (සිතියම-දකුණු ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍ය) දකුණු ඉන්දියාවේ කැපී පෙනෙන භූවිෂමතා ලක්ෂණ වනුයේ අර්ධද්වීපික සානුවයි. සාමාන්‍ය උස මීටර 600 සිට 900 දක්වා වූ මෙය අක්‍රමවත් පැති සහිත ත්‍රිකෝණාකාර හැඩයක් ගනී. එහි උත්තල පාදය රෙජිමල් කඳු වන අතර දකුණේ කන්‍ය කුමාරී කඳු කූටය වේ. මේ සානුව උතුරටත් බටහිරටත් බෑවුම් වුවද භූමියේ සාමාන්‍ය බෑවුම නැගෙනහිරට ය. අර්ධද්වීපික සානුවේ ද ප්‍රාදේශීය වශයෙන් කැපී පෙනෙන භූවිෂමතා අනුව භෞතික කොටස් 6ක් හඳුනා ගත හැකි ය. ඒවා නම්,

1. සානුවේ දකුණු දිග කොටසේ නිල් ගිරි කඳු, ආනමලේ-පල්කි කාඩමම් යන කඳුවලින් සමන්විත කොටස දකුණු හා නැගෙනහිර අර්ධද්වීපයේ පැතිර ඇත.

2. අවසාන යමහල් විදාරණයේ දී ගැලූ ලාවා දෝරවලින් සමන්විත ඩෙකාන් ලාවා ද්‍රෝණිය එය දකුණේ දී කර්ණාටක සානුව තෙක් විහිදේ.

3. එහි උතුරු දිග මායිමේ වින්ධ්‍යා කඳු සහිත මල්වා සානුව.

4. වින්ධ්‍යා හා සත්පුර කඳු අතර පිහිටි නර්මදා හා තප්ති යන නදීවලින් සෑදුණු දෙතිද ද්‍රෝණිකා.

5. දියළු ඩෙල්ටා සහිත මහනදි, ගෝධාවරී, ක්‍රිෂ්ණ, කාවේරි යන ගංගා ද්‍රෝණි.

6. සානුව වටා විහිදෙන බටහිර සහ නැගෙනහිර පටු වෙරළබඩ තැනි ය.

ඩෙකාන් සහ කර්ණාටක සානුවල භූ ලක්ෂණවල කැපී පෙනෙන ලක්ෂණය වනුයේ බටහිර ඝාට්ස් කඳු ය. බටහිර ඝාට්ස් කඳු යෝධ ප්‍රාකාරයක් ලෙස දිස්වේ. එහි සාමාන්‍ය උස මීටර 900 සිට 1,100කි. එය බොම්බාය ප්‍රදේශයේ දී මීටර 1,600ක් පමණ උසට නැගී දකුණේ නිල්ගිරි කඳු වැටියේ දී උච්ච අවස්ථාවට පැමිණේ. බටහිර ඝාට්ස් කඳු නැගෙනහිර ඝාට්ස් හා සම්බන්ධ ස්ථානයේ උස මීටර් 1,900ක් පමණ ය. බටහිර ඝාට්ස්වල පිහිටි පල්ඝාට් නම් කපොල්ල කර්ණාටයේ සිට මලබාරයට දුර්ග මාර්ගයකි. වෙරළ ආසන්නයේ ඇතැම් ස්ථාන දඹ සහිත ය.

නැගෙනහිර ඝාට්ස් කඳු අක්‍රමවත් කඳු පෙළක් ලෙස අර්ධද්වීපයේ නැගෙනහිර දෙසින් විහිදේ. මේවා උසින් අඩු ඛාදිත කඳු ගැට ය. ඒවා අතර කුඩප්පා, නල්ලමලේ සහ තමිල්නාඩු කඳු සඳහන් කළ හැකි ය. මේවායේ උන්නතාංශය මීටර 900ට පහළ ය.

අර්ධද්වීපික ඉන්දියාව වච්වල සිට ඔරිස්සාව දක්වා වෙරළබඩ තීරුව ඇතුළත් තැනිතලාවකි. නැගෙනහිර වෙරළබඩ තැන්න බටහිර තැන්නට වඩා පුළුල් ය. එහි ප්‍රධාන ගංගාවල ඩෙල්ටා ලක්ෂණ වර්ධනය වී තිබේ. මෙහි කොරමැන්ඩල් වෙරළේ තැනින් තැන කුඩා කඳු හෙල් හා වොහොර බිම් වේ. මේ කොටසේ තැනිතලාව කිලෝ මීටර 80-100 දක්වා පුළුල් ය. අනෙක් අතට බටහිර වෙරළබඩ තැන්න ස්ථානීය හෙල්වැටි සහිත පටු තීරුවකි. උතුරේ දී පුළුල් වන මේ තැන්න කේරළ, ගෝවා ප්‍රදේශ ආශ්‍රිතව විහිදෙයි.

දකුණු ඉන්දියානු ප්‍රදේශයට අයත් භෞමික කොටසක් දූපත් රාශියකින් සමන්විත ය. එනම් අන්දමන් සහ නිකොබාර් දූපත් සමූහයත් ලක්ෂද්වීපයත් ය. ලංකාවටත් නැගෙනහිරින් විහිදෙන අන්දමන් දූපත් සමූහය දූපත් 200කින් සමන්විත ය. අන්දමන් දූපත්වලට දකුණින් නිකොබාර් දූපත් පොකුරක් ලෙස විහිදෙයි. අරාබි මුහුදේ පිහිටි ලක්ෂද්වීප කේරල වෙරළින් ඔබ්බෙහි පිහිටියේ ය.

භූ විද්‍යාත්මක පරිණාමය

දකුණු ඉන්දියාවේ අර්ධද්වීපික සානුව ප්‍රාග්-කේම්බ්‍රීය යුගයේ දී තැන්පත් වූ පැරණි පෘෂ්ඨීය පාෂාණ කුට්ටියකි. එය කේම්බ්‍රියානු යුගයේ සිට මුහුදු මට්ටමට ඉහළින් පැවතීම භෞතික පරිණාමයේ වැදගත් වූ කරුණකි. හිමාල කඳු නිර්මාණය කළ භූ චලනවලට මේ කොටස පාත්‍ර නොවුව ද සිරස් භූ චලනවලින් ඇති වූ ආතතිය නිසා පෘෂඨයේ ඇති වූ ප්‍රතිඵල බොහෝ තැන්හි දක්නට ඇත. කලින් කලට දකුණු ඉන්දියානු ප්‍රදේශවල උතික්ෂිප්ත ඇති වූ බවට සාක්ෂි ඇත. භූ ඉතිහාසයේ මෑතක දී ඇති වූ උත්ක්ෂිප්තවල ප්‍රතිඵල පල්නි සහ නිල්ගිරි කඳුවල දක්නට ලැබේ. ගෝදාවරී හා මහා නදීවල විභේද කෙදිවල් ඇතිවීමත් නර්මදා සහ තප්ති ගංගා දෙක ද ද්‍රෝරිකාවල ගැලීමත් මෙහි සිදු වූ උතික්ෂිප්ත හා බැඳි ගිලා බැසීම්වලට සාක්ෂි දරයි.

හිමාල කඳු ඇති වුණ යුගයේ දී සානුවේ වයඹදිග කොටසෙහි යමහල් විදාරණයක් ඇති විය. ගෝවා ප්‍රදේශයෙන් උතුරට බැසෝල්ට් ලාවා ද්‍රෝණියක් ඇති වී එය බොම්බාය අවට ප්‍රදේශය ඝනව පැතිරුණි. ගෝවෙන් දකුණට ඇති ප්‍රදේශය සමන්විත වන්නේ කළුගල් හා ශිෂ්ටවලිනි. ඒවා වටකුරු හෙල් වැටි ස්වභාවයක් උසුලයි.

ජලවහනය

දකුණු ඉන්දියාවේ ගංගා මණ්ඩල සඳහා දියබෙත්ම වන්නේ බටහිර ඝාට්ස් කඳු ය. එහි ප්‍රධාන ගංගා වූ මහා නදී, ගෝධාවරී, ක්‍රිෂ්ණ, කාවේරි ආදිය සානුව හරහා නැගෙනහිරට ගලා සාගරයට පිවිසෙති. එම ගංගා මුවදොරවල විශාල ඩෙල්ටා නිර්මාණය වී ඇත. එම දිය බෙත්මේ සිට බටහිරට ගලන ගංගා කුඩා ය. නිදසුන් ලෙස නර්මදා හා තප්ති නර්මදා ගඟ මධ්‍ය ප්‍රදේශය හරහා ගලයි. දර්ශනීය කිරිගරුඬ පාෂාණවලින් නිර්මිත දොරුවකින් නැවත නර්මදාව ප්‍රකට ය. එයට ඇත්තේ අතු ගංගා ස්වල්පයකි. තප්ති ගංගාව නර්මදා නදියට සමාන්තරව බටහිරට ගලයි. අතු ගංගා පහකින් සමන්විත එය මධ්‍ය ප්‍රදේශය, මහාරාශ්ට්‍ර සහ ගුණිතය ජලාශ්‍රිත කරයි.

දකුණු ඉන්දියාවේ නැගෙනහිර දෙසට ගලන විශාලතම ගංගාව ගෝදාවරී ය. එය මහාරශ්ට්‍ර ප්‍රාන්තයෙන් ආරම්භ වී ආන්ද්‍ර ප්‍රදේශයෙන් මුහුදට ගලා බසී. (ගංගා සිතියම-ඇට්ලස් පොත) ප්‍රධාන අතු ගංගා නමයකින් සමන්විත එය කර්ණාටක සහ ඔරිස්සා ප්‍රදේශ ද ජලාශ්‍රීත කරයි. මහා නදී ගංගාව මධ්‍ය ප්‍රදේශයෙන් ආරම්භ වී ඔරිස්සා ඔස්සේ බෙංගාල බොක්කට පිවිසෙයි. ක්‍රිෂ්ණ ගංගාව මහා බලේජ්වාර්හි උල්පතකින් ආරම්භ වී මහාරාශ්ට්‍ර, කර්ණාටක, අන්ද්‍රා ප්‍රදේශ හරහා ගලා බසී. එයට තුන්ද්‍ර ඇතුළු අතු ගංගා අටක් ඇත. බටහිර ඝාට්ස්වලින් ආරම්භ වන කාවේරි ගඟ කාවේරිපට්නම් දක්වා ගලයි. එහි ජලය කේරළය, කර්ණාට, තමිල්නාඩු ප්‍රාන්ත අතර බෙදා ගනී. පොන්නාර් ද්‍රෝණිය කර්ණාටක ද්‍රෝණියේ වැඩි කොටසක් ජලාශ්‍රිත කරයි.

දකුණු ඉන්දියානු අර්ධද්වීපයේ ජලවහන ක්‍රමය සාමාන්‍යයෙන් නැගෙනහිරට බර වී තිබුණ ද උතුරෙහි නර්මදා හා තප්ති යන ගංගා දෙක ඊට වෙනස් මඟක් පටු ගැඹුරු නිම්න ඔස්සේ බටහිරට ගලයි. ඊට හේතුව මේ භූමි චලනවල ප්‍රතිඵල වූ විභේද ද්‍රෝණිකා දෙකක් ඔස්සේ ගැලීමයි.

දේශගුණික ලක්ෂණ

පිහිටීම අනුව දකුණු ඉන්දියාව කර්කටක නිවර්තනයෙන් දකුණටත් උතුරු අක්ෂාංශයෙන් උතුරටත් විහිදෙයි. එබැවින් එහි නිවර්තන දේශගුණයක් පවතී. කාලයෙන් කාලයට විරුද්ධ දිශා දෙකකින් හමන සුළං වූ ඊශාන දිග හා නිරිත දිග මෝසම් සුළංවලින් මේ ප්‍රදේශයට වර්ෂාව ලැබේ. එබැවින් දකුණු ඉන්දියාවේ නිවර්තන මෝසම් සුළංවලින් මේ ප්‍රදේශයට වර්ෂාව ලැබේ. එබැවින් දකුණු ඉන්දියාවේ නිවර්තන මෝසම් දේශගුණයක් පවතී.

එහි ප්‍රදේශීය උන්නතාංශයේ වෙනස්කම් අනුව උෂ්ණත්වයේ ද වෙනස්කම් ඇත. වර්ෂාපතන ව්‍යාප්තියේ ප්‍රදේශීය වෙනස්කම් කෙරෙහි බලපාන්නේ සුළං බාධක ලෙස කඳුවැටි පිහිටීම, මෝසම් සුළං ගමන් මාර්ගයේ පිහිටීම, ඉහළ වායුගෝලීය සංසරණයට යන නිවර්තන වාසුලි ඇති වීම ය.

ඉන්දියාවේ ඍතු හතරක් හඳුනා ගෙන ඇත. උෂ්ණත්වය අතින් දකුණු ඉන්දියාවේ ශීත ඍතුවක් ලෙස වෙන් කිරීමට තරම් දැඩි වෙනසක් නැත. වෙරළබඩ ප්‍රදේශවල ද උෂ්ණත්ව ව්‍යාප්තියේ ඍතුමය වෙනසක් දක්නට නැත. ජනවාරි මාසයේ දී (ශිශිර) ත්‍රිවැන්ද්‍රම්හි උෂණත්වය 31කි. ජූනි මාසයේ දී (ගිම්හාන) එය 29.50කි. මාර්තු හා මැයි මාසවල ද වින්ධ්‍යා කඳුවලින් බටහිර ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය 35කි. සාගරයෙන් ඈත්ව පිහිටි මධ්‍ය ප්‍රදේශයේ උෂ්ණත්වය 37ක් තරම් වේ.

වර්ෂා ඍතුව ජූනි සහ සිට සැප්තැම්බර් දක්වා වේ. මේ කාලයේ දී අරාබි මුහුදේ වැඩි වායු පීඩන ප්‍රදේශයක් ද තාර් ප්‍රදේශයේ අඩු වායු පීඩන ප්‍රදේශයක් ද වර්ධනය වේ. ජූලි මාසය වන විට උතුරු ගෝලයේ උෂ්ණ ඍතුව බැවින් සමකය දෙසට හමන ගිනිකොණ දිග වෙළෙඳ සුළං තීරුව, තාප සමකය 50ක් උතුරට පැද්දීමත් සමඟ උතුරට විහිදේ. සමකය පසු කරත් ම සුළං තොරල්ගේ නියමය අනුව දකුණු දෙසට ඇල වී නිරිත දිග සුළඟක් ලෙස තාර් අඩු පීඩන ප්‍රදේශය කරා හමයි. ඒ අතර ම ඒ ප්‍රදේශයේ ඉහළ වායුගෝලීය ජෙට් ධාරාව ඉවත් වීම නිසා සමක අඩු වායුපීඩනය හා අභිසරණය වන වෙළෙඳ සුළංවලින් සමන්විත අන්තර් නිවර්තන අභිසරණ කලාපය () 25 උතුරු අක්ෂාංශයේ පමණ පිහිටයි. එම කලාපයට සමකය පසු කර හමන ගිනිකොණ දිග වෙළෙඳ සුළං ද ආකර්ශණය වෙයි. නිරිත දිගානුසාරයෙන් හමන බැවින් මේ සුළං නිරිත දිග මෝසම් සුළං ලෙස හැඳින්වේ. ජූනි මාසයේ සැඩ සුළං ලෙස කඩා හැලෙන නිසා නිරිත දිග මෝසම් ‘නිපාතය’ ලෙස ද හැඳින්වේ. දකුණු ඉන්දියාවට වර්ෂාපතනය ලබා දෙන නිරිත දිග මෝසම් සුළ‍‍ෙඟේ එක් ප්‍රවාහයක් ආරාබි මුහුදෙන් හමයි. ඉන් අධික වර්ෂාපතනයක් ලබා දෙන්නේ බටහිර වෙරළ, හමාරාශ්ට්‍ර සහ මධ්‍ය ප්‍රදේශයට ය. එහෙත් සුළං නැගෙනහිර තමිල්නාඩු, කර්ණාටක ප්‍රදේශවලට හමන විට ඒවාගේ ජලවාෂ්ප නැති බැවින් එම ප්‍රදේශ මේ සාපේක්ෂ වශයෙන් වියළි ය. තව ද බෙංගාල බොක්කේ සිට හමන ප්‍රවාහන මේ ප්‍රදේශවලට සමාන්තරව ඉහළට හමන බැවින් ද ඉන් වර්ෂාව පතිත නොවේ.

දකුණු ඉන්දියාවේ මීළඟ ඍතුව පසුබසින මෝසම් කාලයයි. සැප්තැම්බර් අග වන විට මෝසම් ක්‍රමයෙන් අඩු වේ. මේ කාලයේ දී බෙංගාල බොක්කේ නිවර්තන අවපාත හට ගනී. ඒවා ඊශාන හා ගිනිකොණ දිශානුසාරයෙන් දකුණු ඉන්දියවට පිවිස නැගෙනහිර තමිල්නාඩු ප්‍රදේශයට වර්ෂාව ලබා දෙයි.

දකුණු ඉන්දියාවේ වාර්ෂික වර්ෂාපතන ව්‍යාප්තිය අනුව අධිකතම වර්ෂාව බටහිර වෙරළබඩ තැන්නට ලැබේ. එය මිලි මීටර 6,000ට අධික ය. මිලි මීටර 200 සම වර්ෂා රේඛාව ඊට නැගෙනහිර දෙසින් උතුරේ සිට දකුණේ කන්‍යා කුමාරි දක්වා විහිදේ. මේ රේඛාවෙන් නැගෙනහිර ප්‍රදේශවලට මිලි මීටර 600ට පහළ වර්ෂාපතනයක් ලැබේ. තමිල්නාඩු නැගෙනහිර වෙරළට 100ක වර්ෂාපතනයක් ලැබෙන්නේ වාසුලි හේතු කොට ගෙන ය.

කෙපන්ගේ දේශගුණික වර්ගීකරණය අනුව දකුණු ඉන්දියාවේ බටහිර වෙරළේ නිවර්තන තෙත් මෝසම් දේශගුණය () ද නැගෙනහිර කොරමැන්ඩල් වෙරළේ වියළි මෝසම් දේශගුණය () ද ඇත. මධ්‍යම සානුවේ වැඩි කොටසක ම නිවර්තන සැවානා වර්ගයක් () වියළි කොටසේ ශුෂ්ක () දේශගුණයක් දක්නට ලැබේ.

පස හා ස්වාභාවික වෘක්ෂලතා

දකුණු ඉන්දියාවේ භෞතික ප්‍රදේශ අනුව පස් වර්ග හතරක් පැතිර ඇත. ඉතා ම සාරවත් දියළු පස ගංගා ද්‍රෝණි සහ වෙරළබඩ තැනිවලට සීමා වේ. ගංගා මඟින් නිධි සාදනය කිරීමෙන් මේ පස බිහි වී ඇත. මහාරාශ්ට්‍ර, මධ්‍ය ප්‍රදේශය, ගුජරාත්, ආන්ද්‍රා සහ තමිල්නාඩුවේ ඇතැම් කොටස්වල කළු පස වර්ධනය වී ඇත. යපස් මුසු වීම නිසා රතු පැහැයක් ගත් රතු පස මුළු තමිල්නාඩු ප්‍රදේශයේත්, කර්ණාටක, ආන්ද්‍රා ප්‍රදේශයේත් ගිනිකොණ දිග මධ්‍ය ප්‍රදේශයේත් පැතිරේ. සානුවේ උස්බිම් ප්‍රදේශවල වර්ධනය වූ ලැටරයිට් පස ඉහත කී ප්‍රාන්තවල උස්බිම්වල ව්‍යාප්තව ඇත.

දකුණු ඉන්දියාවේ ස්වාභාවික වෘක්ෂලතා කලාප වනුයේ නිවර්තන සදාහරිත වනාන්තර, නිවර්තන සැවානා, නිවර්තන මෝසම් යන පතනශීල වනාන්තරයි. වෙරළබඩ තැන්න සහ ඝාට්ස් වැටියේ සුළං මුහුණතට ලැබෙන අධික ගිම්හාන වර්ෂාව හේතු කොට ගෙන සදාහරිත වර්ගයේ ඝන කැළෑ වර්ධනය විණි. මෙහි උසට වැඩුණු ඉතා වටිනා ගස් ඇත. තේක්ක, රෝස්වුඩ්, උණ ගස් මෙහි වැවේ. උස් සදාහරිත වෘක්ෂ ඇති වීමට තරම් අධික වර්ෂාපතනයක් නැති ඩෙකාන් සානුවේ බෙහෙවින් දක්නට ලැබෙන්නේ නිවර්තන තෙත් පතනශීල වනාන්තරයි. මයිසූර් හා අවට දිස්ත්‍රික්කවල සුවඳැති සඳුන් ගස් ගහණ ය. සල්, තේක්ක, උණ සහ පඳුරු සහිත කැළෑ මෙහි බහුල ය.

නිවර්තන වියළි පතනශීලි සහ කටුපඳුරු කැළෑ තෙත් පතනශීල වර්ගයේ බාලවීමකි. මේ ප්‍රදේශයට ලැබෙන වාර්ෂීක වර්ෂාපතනය 700-1,000කි. තෘණ බිම් අතර උද්‍යාන ස්වරූපයක දර්ශනයක් ගනී. වර්ෂාපතනය මිලි මීටර 700ට අඩු ප්‍රදේශවල කටුපඳුරු සහිත කැළෑවල දළ තෘණ, ඇකේශියා ගහණ ය. ඩෙකාන් සානුවේ මධ්‍යම කොටසේ වෘක්ෂලතා බොහොමයක් මේවා ය. දීර්ඝ වියළි ඍතුවේ දී තෘණ හා පතොක් වැඩේ. මුල් කැළෑ විනාශ කළ බවට සාක්ෂ්‍ය ඇත. මෝසම් වනාන්තර ලෙස ඉතිරි ව ඇත්තේ වින්ධ්‍යා, නැගෙනහිර ඝාට්ස්, සත්පුර කඳු වසා පවතින වනාන්තර ය. කඳුකර වනාන්තර දකුණු ඉන්දියාවේ ඉහළ උන්නතාංශ වන නිල්ගිරි, ආනමලේ, පල්නි, බටහිර ඝාට්ස් ආවරණය කෙරේ. මේවායේ පෙඳ පාසි බහුල ය. යුකැලිප්ටස් ගස මෑතක දී හඳුන්වා ඇත.

ජල සම්පාදනය

දකුණු ඉන්දියාවේ බෝග වගාව කෙරෙහි ජල සම්පාදනයේ වැදගත්කම ඉමහත් ය. වර්ෂයකට මිලි මීටර 2,000ට අධික වර්ෂාපතනයක් ලැබෙනුයේ බටහිර වෙරළබඩ තැන්නට පමණ ය. ඩෙකාන් සානු ප්‍රදේශය ජල සම්පාදනයෙන් තොරව වගා කළ නොහැකි ය. මෙහි වාරිමාර්ග ක්‍රම වනුයේ පැරණි වැව් හා ඇළවල්, නුතන වේලි බැඳි ජලාශ හා ඇළවල්, නළ ළිං සහ ළිං ය.

වැහි මුවාවේ පිහිටි ඩෙකාන් සානුවට ලැබෙන වර්ෂාව ප්‍රමාණවත් නොවන හෙයින් ඈත අතීතයේ සිට ම වාරිමාර්ග ක්‍රම දියුණු කර වගා කෙරිණ. එහි භූවිෂමතාව ස්වාභාවික වැව් ඇති වීමට හිතකර විය. වර්ෂා කාලයේ දී ලැබෙන ජලය ගබඩා කෙරුණු මේ වැව් මඟින් තමිල්නාඩුවේ, කර්ණාටකයේ සහ ආන්ද්‍රා ප්‍රදේශයේ වගා බිම් 33%ක් ප්‍රදේශවල පැරණි ඇළවල් මඟින් ජල සම්පාදනය කෙරේ. බක්රනන්ගාල්, බීස් නිදසුන් ය. මේ හැර නූතන බහුකාර්ය ජලසම්පාදන ව්‍යාපාර ද ක්‍රියාත්මක කෙරේ. කර්ණාටක හා ආන්ද්‍රා ප්‍රදේශයේ තුංගභදා ව්‍යාපාරය ඉන් වැදගත් එකකි. නළ ළිං හා ළිං මඟින් ජල සම්පාදනය තමිල්නාඩු සහ කර්ණාටක ප්‍රාන්තවල ප්‍රකට ය. එහි 10%, 30% දක්වා වගාව නළ ළිං මත රඳා පවතී. කේරළ ප්‍රාන්තයට ජල සම්පාදනය එතරම් වැදගත් නොවේ. වියළි ධාන්‍ය වූ මිලට්, බජිරි, ඉරිඟු මධ්‍යම ඩෙකානයේ වැදගත් වී ඇත්තේ වර්ෂාපතනයේ හිඟකම නිසා ය. ජොවාර් මධ්‍යම මයිසූරයේ ද ඉරිඟු මධ්‍යම ප්‍රදේශයේ, කර්ණාටකයේ වියළි ඍතු බෝග ය. සෝයා බෝංචි, ඉගුරු සමඟ බෝග මාරු ක්‍රමය යටතේ වවනු ලැබේ.

දකුණු ඉන්දියාවේ තෙල් බීජ වැදගත් බෝග ය. ඒ යටතේ රටකජු, සෙසම්, අබ, ලින්සීඩ්, සූර්යකාන්ත, කැස්ටර් සහ පොල්තෙල් නිෂ්පාදනය කෙරේ. සෑම ප්‍රාන්තයක ම වියළි ඍතු බෝගයක් ලෙස තෙල් බීජ ව්‍යප්තව පවතී. පොල් වගාව කර්ණාටක හා අන්ද්‍රා ප්‍රදේශවලත් තමිල්නාඩුවේ වෙරළබඩ ප්‍රදේශවලත් වවනු ලැබේ.

වෙළෙඳ බෝග අතරින් තේ වගාව ඉතා ම වැදගත් වන්නේ ලෝක වෙළෙඳපොළට වැඩි ම තේ ප්‍රමාණය සපයන්නේ ඉන්දියාව බැවිනි. උණුසුම් තෙත් දේශගුණයක් හා වර්ෂාපතනය මිලි මීටර 1,500ට අධික ව ලැබෙන නිල්ගිරි කඳු ප්‍රදේශය තේ සඳහා වැදගත් ය. කේරළයේ හෙක්ටාර 231,000ක රබර් වගා කෙරේ. එහි මඳ බෑවුම් සහිත ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබීම රබර් වගාවට හිතකර වී තිබේ.

කර්ණාටක, තමිල්නාඩු හා කේරළ ප්‍රාන්තවල කෝපි වගා කෙරේ. දකුණු ඉන්දියාවේ ඩෙකාන් සානුවේ කළු පස් ප්‍රදේශය කපු වගාවට ප්‍රකට ය. මෙහි 21ක් පමණ උෂ්ණත්වය ද 60-85ක් පමණ වර්ෂාව හෝ ජල සම්පාදන පහසුකම් තිබීම ද වියළි ඍතුවක් තිබීම ද කපු වගාවට හිතකර ඇත. මහාරාශ්ට්‍ර, මධ්‍යම ප්‍රදේශය, තමිල්නාඩු සහ ආන්ද්‍රා, කර්ණාට ප්‍රාන්තවල කපු වගාව කෙරේ. උක් වගාව ද අධික උෂ්ණත්වයක් පවතින මිලි මීටර 1,000ක් ලැබෙන තුහීනයෙන් තොර වියළි ඍතුවක් සහිත ජල සම්පාදනය කෙරෙන තමිල්නාඩුවේ, කර්ණාටක හා මහාරාශ්ට්‍ර ප්‍රාන්තවල උසස් අස්වනු දෙන බෝගයකි.

කුළු බඩු වගාව ගැන දකුණු ඉන්දියාව ප්‍රකට ය. විශේෂයෙන් ම මලබාර් වෙරළත් කර්ණාටක ප්‍රදේශයත් ගම්මිරිස්, මිරිස්, ඉඟුරු, කරාබු නැටි, කරදමුංගු වගා කෙරෙන ප්‍රදේශ වෙති.

ඛනිජ සම්පත්

දකුණු ඉන්දියාවේ ව්‍යාප්ත වූ ඛනිජ වර්ග නම් යපස්, මැන්ගනීස්, මධිතා, බෝත්සයිට්, යුරේනියම්, තෝරියම්, රත්රන් සහ ලුණු ය.

මධ්‍ය ප්‍රදේශය ආන්ද්‍රා, තමිල්නාඩු, කර්ණාටක, මහාරාෂ්ට්‍ර, ගෝව යන ප්‍රදේශවල යපස්වලින් ප්‍රමාණයක් විසාකපත්නම් නැව්තොටින් අපනයනය කෙරේ.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාග්පූර්, බාන්ඩරා, බලඝාත් යන ප්‍රදේශවලින් සියයට 10ක් මැන්ගනීස් සැපයේ. ආන්ද්‍රා මධ්‍ය ප්‍රදේශවල ද මැන්ගනීස් ව්‍යාප්ත ය.

ලෝකයේ මයිකා නිෂ්පාදනයෙන් 2/3ක් ඉන්දියාව සපයයි. ආන්ද්‍රා ප්‍රදේශයේ නෙල්ලෝරයේ මයිකා සුලභ ය. තමිල්නාඩු, කර්ණාටක, මහාරාෂ්ට්‍ර යන ප්‍රදේශවලින් බෙත්සයිට් සහ හුණු ගල් ද ලබා ගත හැකි ය. කර්ණාටක ප්‍රාන්තයේ කෝලා ප්‍රදේශයෙන් පමණක් රන් ලබා ගත හැකි ය. තමිල්නාඩුවලින් යුරේනියම් ද චෝටානාග්පූර් සානුවෙන් මොනසයිට් ද ලැබේ. ජලාශ හා පාෂාණවලින් ලුණු නිෂ්පාදනය කරයි.

කර්මාන්ත

සැලසුම් කළ ආර්ථිකයක් ඉන්දියාවේ ඇති වූයේ 1951 සිටයි. එතැන් සිට ඉන්දීය ආර්ථික ක්‍රමය විවිධාංගකරණය කරනු ලැබී ය. දකුණු ඉන්දියාවේ කර්මාන්ත, බැර කර්මාන්ත, ලුහු ඉංජිනේරු කර්මාන්ත වශයෙන් වර්ග කළ හැකි ය. අමුද්‍රව්‍ය සාධකය මත දකුණු ඉන්දියාවේ කර්මාන්ත වර්ග දෙකකි. ඛනිජ පදනම් වූ සහ කෘෂි පදනම් වූ වශයෙනි.

කෘෂි පදනම් වූ ලුහු කර්මාන්ත ගණයෙහි ලා සැලකෙන්නේ රෙදිපිළි, සීනි, එළවළු තෙල්, සම් සහ කඩදාසි ය.

බොම්බායෙන් ආරම්භ වූ කපු කර්මාන්තයේ මෝල් වැඩි සංඛ්‍යාවක් සඳහා තමිල්නාඩු සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පිහිටා තිබේ. ප්‍රධාන කපු පිළි මධ්‍යස්ථාන නම් බොම්බාය, නාග්පූර්, පෝලපූර්, කවනපූර්, මදුරාසිය, බැන්ගලෝර්, කොයිම්බටෝර් සහ තන්ජෝර් ය. මේ නගරවල බලවේග යන්ත්‍ර සහ අත් යන්ත්‍ර යන දෙවර්ගය ම තිබේ. එක් එක් මධ්‍යස්ථානයට විශේෂයක් දක්වයි. තෙත් දේශගුණයක් තිබීම, අභ්‍යන්තර හා විදේශීය වෙළෙඳපොලක් තිබීමත් ජල විදුලිබල පහසුවත් මේ කර්මාන්තයේ දියුණුවට හේතු විය. සේද පිළිවලින් අඩක් පමණ කර්ණාටක ප්‍රදේශයේ නිපදවයි. ඒ හැර රෙයෝන්, නයිලෝන්, ටෙරීන්, ඩැක්රන් යන කෘත්‍රිම රෙදිපිළි ද දකුණු ඉන්දියාවේ නිපදවනු ලැබේ.

සීනි කර්මාන්තය දකුණු ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක ම ස්ථානගත වී ඇත. අර්ධද්වීපික ඉන්දියාවේ ජල සම්පාදිත ප්‍රදේශවල වවන උක් මෙහි අමුද්‍රව්‍ය ලෙස භාවිත කෙරේ. දකුණු ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල වවන රටකජු, සූර්යකාන්ත, රෙදිපිළි, හම් භාණ්ඩ, ගිනිපෙට්ටි ආදිය සමහරකි.

ජන සංඛ්‍යාව

දකුණු ඉන්දියාවට අයත් ප්‍රාන්තවල 1978 ජන සංඛ්‍යාව පහත සඳහන් වේ.

ජන සංඛ්‍යාව වර්ග කිලෝ මීටරයට

ආන්ද්‍රා ප්‍රදේශය මිලියන 53.40 194

කේරළය මිලියන 25.40 654

මධ්‍ය ප්‍රදේශය මිලියන 52.13 118

මහාරාෂ්ට්‍ර මිලියන 62.69 204

කර්ණාටක මිලියන 37.04 193

තමිල්නාඩු මිලියන 48.30 371

අධිකතම ජන ඝනත්වයක් ඇති ප්‍රදේශය කේරළයයි. එයට හේතුව වන්නේ අධික වර්ෂාපතනයක් ලැබෙන නිවර්තන දේශගුණයක් සහිත බෝග වගා කර ඇති ප්‍රදේශයක් බැවිනි. භෞතික කරුණු පමණක් නොව සංස්කෘතික අතින් ද දියුණුවක් පවතින මේ ප්‍රදේශය ජනාකීර්ණ වී ඇත. දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශය ද ජල සම්පාදිත යහපත් දේශගුණයක් පවතින බැවින් කෘෂිකර්මික කටයුතු දියුණු වූ ප්‍රදේශයකි. කර්මාන්ත සහ ගමනාගමන ක්‍රම දියුණු වීම ද එහි ජන සංඛ්‍යාවේ මධ්‍යම තරමේ ඝනත්වයක් ඇති වීමට හේතුවකි.

අභ්‍යන්තරයේ ඇති ඩෙකාන් සානුවේ පැතිර ඇති ආන්ද්‍රා කර්ණාටක ප්‍රදේශවල ජන ඝනත්වය සාපේක්ෂ වශයෙන් අඩු ය. ඊට හේතුව වන්නේ භෞතික සම්පත් එතරම් හිතකර නොවන බැවිනි. ඉහත සඳහන් සාමාන්‍ය ව්‍යාප්තිය හැරෙන විට ප්‍රාන්ත අග නගරවල ජන කේන්ද්‍රණය අධික ය. මදුරාසිය, බොම්බාය හා බැන්ගලෝර්වල වර්ග කිලෝමීටරයට 1,200ට අධික ය. කෙසේ වෙතත් අර්ධද්වීපික කොටසේ අධික ජන සංඛ්‍යාව වෙසෙන ප්‍රදේශය වෙරළබඩ තැනිතල් දිගේ වළල්ලක් ලෙස පැතිරේ.

කෘෂිකාර්මික කටයුතු සංතෘප්ත තත්වයකට පැමිණි ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල සිට නගර කරා ජන සංක්‍රමණයක් සිදුවන්නේ නාගරික පහසුකම්වලින් ඇති වන ආකර්ෂණය හේතු කොට ගෙන ය. මෙහි දී ක්‍රියාත්මක වන්නේ ‘තල්ලු කරන’ () හා ‘ඇද ගන්නා’ () සාධකයි. එබැවින් ඇතැම් නගරවල මුඩුක්කු ගහණ ය. මදුරාසිය, බොම්බාය, බැන්ගලෝර්, නාග්පූර්, හයිදරබාද්, අහමදබාද් ආදී නගරවල ග්‍රාමීය ජන සංඛ්‍යාවක් ඇත්තේ ම නැත.

දකුණු ඉන්දියානු මිලියන නගර වන්නේ මදුරාසිය, බැන්ගලෝර්, බොම්බාය සහ හයිදරබාදයයි.

ප්‍රවාහන ක්‍රම

දකුණු ඉන්දියාවේ දුම්රිය මාර්ග ඉදිකිරීමේ ලා බලපෑවේ බ්‍රිතාන්‍ය ප්‍රතිපත්තියයි. සෑම ප්‍රාන්තයක් ම දුම්රිය මාර්ගවලින් සම්බන්ධ ය. දුම්රිය මාර්ග ඝණත්වය ඉතා අධික ව පවතින්නේ තමිල්නාඩු ප්‍රාන්තයේ ය. එහි කාර්මික ප්‍රදේශයේ අමුද්‍රව්‍ය එක්රැස් කිරීම, බැර භාණ්ඩ බෙදාහැරීම, ඛණිජ තෙල් හා ඉන්ධන බෙදා හැරීම ආදිය සඳහා දුම්රිය මාර්ග යොදා ගනී.

මහා මාර්ග පද්ධතිය මඟින් වෙරළේ සිට අභ්‍යන්තර නගර සම්බන්ධ කෙරේ. එය උතුරු-දකුණු හා නැගෙනහිර-බටහිර දිශානුගත ව විහිදෙමින් ත්‍රිවෙන්ද්‍රම් සිට බොම්බාය, අහමදබාද්, මදුරාසිය, කල්කටාව යන නගර යා කෙරේ. දකුණු ප්‍රාන්තවල මහා මාර්ග, දුම්රිය මාර්ග හා සම්බන්ධ කර නොතිබේ. මහා මාර්ග ඝනත්වය අධික තමිල්නාඩු හා කර්ණාටක රාජ්‍යවල ය. ප්‍රවාහන රටාවේ අසම ව්‍යාප්තිය නිසා ගෝත්‍රික ජනකාය කොන්වීමක් සම්යෝජනය නොවීමත් දැකිය හැකි ය.

දකුණු ඉන්දියාවේ ජලමාර්ග ද ආදී යුගයේ සිට පරිවහනය සඳහා යොදා ගැනිණි. ගෝධාවරී, ක්‍රිෂ්ණ, මහානදී හා කාවේරි ගංගාවල පහළ ප්‍රදේශ ජල මාර්ග ලෙස සුදුසු ය. ආන්ද්‍රා ප්‍රදේශයේ හා තමිල්නාඩුවේ ඇළවල් ද ජල මාර්ග වශයෙන් යොදා ගනු ඇත.

දකුණු ඉන්දියාවේ වැදගත් නැව් තොටු වනුයේ බොම්බාය, මැන්ගලෝර්, කොචින්, ටියුට්කොරන් සහ මදුරාසියයි. මදුරාසිය කෘත්‍රිම නැව් කොටකි. විශාකපත්නම් සහ කොචින් යුද්ධෝපායමය වශයෙන් වැදගත් නැව්තොටු ය.

ගුවන් මාර්ගවල නාභිය වශයෙන් සැලකෙන්නේ බොම්බාය හා මදුරාසියයි.

සංස්කෘතිය, ආගම්, භාෂා

නොයෙකුත් කලාවන් සහ සංස්කෘතික දර්ශනවලින් දකුණු ඉන්දියාවේ විවිධත්වය සහ ඒකීයත්වය කැපී පෙනේ. කර්ණාටක හා හින්දුස්ථාන යන සම්භාව්‍ය සංගීත කලාවන්ට ම පොදු වූ ශෛලී මෙන් ම ඒ දෙක අතර රාග සම්මිශ්‍රණයක් ද දැකිය හැකි ය. විවිධ ප්‍රදේශවලට ආවේණික ජන කථා ඇත. මනිපුරි වැනි නාට්‍ය කලා ද තමිල්නාඩුවේ පවතින අශ්ව නැටුම් නාට්‍ය ද සඳහන් කළ හැකි ය.

දකුණු ඉන්දියානු වැසියන් බහුතරයකුගේ ආගම හින්දු ආගම ය. මලබාර් වෙරළ හා ලක්ෂද්වීපයේ ඉස්ලාම් භක්තිකයෝ ද කේරළය, තමිල්නාඩුව සහ ගෝවේවල ක්‍රිස්තියානි භක්තිකයෝ ද වෙසෙති. ගෝත්‍රික ජනතාව අතර මිථ්‍යා විශ්වාසවලින් පිරී ඇදහිලි පවතී.

දකුණු ඉන්දියානු භාෂා කීපයක් ද ප්‍රදේශීය වශයෙන් ව්‍යවහාර කෙරේ. සානු හා වෙරළබඩ තැනිවල ද්‍රවිඩයන්ගේ භාෂාවත් ආන්ද්‍රා ප්‍රදේශයේ තෙලිගු භාෂාවත් තමිල්නාඩුවේ දෙමළ බසත් කර්ණාටකයේ කණ්ණඩ භාෂාවත් කේරළයේ මලයාලම් භාෂාවත් භාවිත වේ. මධ්‍ය ප්‍රදේශයේ බහුතරය හින්දි බස භාවිත කරති. ඒ අතර ගෝත්‍රික භාෂා ද ඇත.

ඓතිහාසික පසුබිම

ක්‍රිස්තු වර්ෂ 600ට පෙර ඉන්දියාවේ පැවති රාජධානි ගැන ස්ථිර වශයෙන් ම දත හැකි තොරතුරු ඉතා ම අල්ප ය. ලේඛන දුර්ලභ වීම ඊට හේතුව ය. එහෙත් ඉන්දීය ඉතිහාසයෙහි දකුණු ඉන්දියානු ඉතිහාසය වැදගත් කොටසක් විය. ලෝකයේ පළමුවෙන් ම ජනාවාස වූ ප්‍රදේශයන්ගෙන් එකකි, ඩෙකාන ය. ක්‍රිස්තු යුගයට පෙර හා පසුව අවුරුදු කිහිපයක් ඇතුළත සාගරයෙන් ඈත රටවල පවා මේ ශිෂ්ටාචාර පැතිරීමේ ඉතා ම ආසන්න මධ්‍යස්ථානය වූයේ ඩෙකානය හා දකුණු ඉන්දියාවයි.

මෞර යුගයෙන් පසු ව ඩෙකානය පාලනය කලේ සාතවාහනවරු ය. ක්‍රි.පූ. 230 දී පමණ බලයට පත් වූ සාතවාහනවරු සියවස් හතර හමාරක් පුරා බලය අල්ලා ගෙන සිටියහ. ඊට පසුව පල්ලව යුගය උදාවිය.

සංගම් යුගය අවසානයෙන් පසු ක්‍රි.ව. 300 දී පමණ රාජ්‍යය කළ කලාහරයෝ කෲර පාලකයෝ වූහ. ඔවුන්ගේ පරාජයෙන් පසුව ක්‍රිස්තු වර්ෂ 6 වැනි සියවස අවසානයේ පටන් පාණ්ඩ්‍ය-පල්ලව රාජධානිවල නැගීමත් සමඟ නව යුගයක් උදා විය. දකුණු ඉන්දියානු ද්‍රවිඩ ඉතිහාසයේ මෙය අඳුරු යුගයක් වූයේ පල්ලවයින් ඇතුළු රාජවංශ කිහිපයකට රාජධානිය බෙදී යාමයි.

ක්‍රි.ව. 600-950 දක්වා යුගයේ දී ඊට වඩා තරමක් විශාල රාජ්‍ය පහළ වූ සමයක් විය. වාලුකයයෝ පල්ලවයින් පරාජය කළහ. 8 වන සියවසේ මැද භාගයේ දී වාලුකය බලය හීන විය. ඉක්බිතිව රාෂ්කූටයෝ බලයට පැමිණියහ. දකුණු දිග ප්‍රදේශය පල්ලව හා පාණ්ඩ්‍යයින් අතර නැවතත් බෙදී ගියහ.

දකුණු ඉන්දියාවේ චෝල අධිරාජ්‍යයේ නැඟීම, ක්‍රි.ව. 9 වන සියවසේ මැද භගයෙහි ආරම්භ විය. ඔවුහු තන්ජෝරය අගනුවර කර ගෙන ඊට උතුරින් සිටි පල්ලවයින් පලවා හැර දකුණෙහි පාණ්ඩ්‍ය හා චේර රටවල් ද අල්ලා ගත්හ. කලින් කලට මාරුවෙන් මාරුවට අසල්වැසි රාජධානි සමඟ සටන් කළ චෝලවරු 11 වන සියවසේ දී උසස් තැනකට නැංගෝ ය. 11, 12 වන සියවස්වල දී වාලුක්‍යයෝ චෝලයාන්ගේ සමකාලීනයෝ වූහ. 13 වන සියවස මුල දී පාණ්ඩ්‍ය රාජ වංශය ප්‍රබල වී දකුණු ඉන්දියානු ද්‍රවිඩ දේශය පාණ්ඩ්‍යයින් යටතට පත් විය. දකුණු ඉන්දියාවේ ස්වර්ණමය අවධිය ලෙස සැලකෙන්නේ චෝල හා වාලුක්‍ය යුගයයි.

මේ කාලයේ දී උතුරු ඉන්දියානු පාලකයෝ ද දකුණු ඉන්දියාව දෙස නෙත් හෙලමින් සිටියහ. ඊට පසු මුස්ලිම් බලය ටිකින් ටික ඇතුළු වීම ආරම්භ විණි. එහෙත් වැඩි කල් ඔවුනට යටත් නොවී දකුණු ඉන්දියාවේ විජය නගර් සහ ගුල්බර්ග් අගනුවරවල් කර ගත් රාජධානි දෙකක් ඩෙකානයේ පැන නැංගේ ය. ඒ බාමතී සහ විජය නගර් රාජධානියයි. මේ දෙක අතර කල කෝලාහල ඇති වී 1560 වන විට විජය නගර් විනාශ විය. 17 වන සියවසේ දී මේ රාජධානි සියල්ල ම මෝගල් අධිරාජ්‍යයට යටත් විය.

14 වන සියවසෙන් පසුව විදේශීයයෝ දකුණු ඉන්දියාවට පැමිණිමට පටන් ගත්හ. පෘතුගීසිවරු දකුණු ඉන්දියානු වෙරළ දිග තම අධිරාජ්‍යය ගොඩනඟමින් බලකොටු ඉදි කරමින් සිටියහ. ගෝව සහ කැලිකට් ඊට නිදසුන් ය. එම කාලයට සමාන්තරව ඩෙකානයේ මුස්ලිම් පාලකයන් අතර නිරන්තර යුද්ධ ඇති විය. එම ප්‍රශ්න සාර්ථක ලෙස නිරාකරණය කරමින් 1586 දී වෙන්කත යන රජ හින්දු රාජධානියේ අභිෂේක ලැබූහ.

ලන්දේසි හා ඉංග්‍රීසීන් නැගෙනහිර වෙරළෙහි තම බලය පිහිටුවීම ආරම්භ කළේ වෙන්තකගේ කාලයේ ය. සම්මත භාණ්ඩ ලබා ගැනීම සඳහා හින්දු රාජධානියෙහි ප්‍රදේශ අල්ලා ගැනීමට ඔවුනට අවශ්‍ය විය. ඉංග්‍රීසීහු ලන්දේසීන් අතර ඇති කරගත් ගිවිසුමක් අනුව 1639-1640 දී පමණ ඉංග්‍රීසි වෙළෙඳපොළ මදුරාසියට ගෙන යන ලදී. මදුරාව සහ මයිසූරය 18 වන සියවස අවසානය තෙක් හින්දු රාජ්‍ය වශයෙන් පැවතුණේ ය.

ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලබා ගැනීමට ඉන්දියානු ජාතිහිතෛශීන් බොහෝ දුක්ගැහැට විඳ ස්වරාජ්‍යයය ලබා ගත් පසු දකුණු ඉන්දියාව මුළු ඉන්දියාව සමඟ ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූයේ ය. එසේ වුව ද ප්‍රාන්ත රාජ්‍ය කිහිපයකින් හා සංගමය මඟින් පාලනය කෙරෙන දිල්ලිය හා කුඩා දූපත් රැසකින් ද එය සමන්විත ය.

(කර්තෘ: එස්මි ජී. ද සිල්වා)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දකුණු_ඉන්දියාව&oldid=4998" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි