අංකෙළිය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අංකෙළි පූජාව, අං ඇදීම, අං පොරය නමින් ද හැඳින්වෙන, පත්තිනි දේවියගේ නමින් පවත්වන ක්‍රීඩා දොළොසින් පළමු වැන්නයි. මෙය මල් නෙළීමක දී එකිනෙකට ඇවිණීගත් කෙකි දෙක බේරා ගැනීමට පත්තිනියත් සිය සැමි පාලඟ ගුරුත් අතර ඇති වූ තරගයක් අනුස්මරණය කරවීම පිණිස පිළියෙල කරගන්නා ලද්දෙකැයි ද, ගජබා රජු සමයෙහි ලක්දිවැ ඇරැඹිණැයි ද කියති. මිනිසුන් දෙපිලක්ව බෙදී ඉදිරිපත් කරන එක සමාන අංබල දෙකක් එකිනෙක අවුළුවා ඉන් එකක් බිඳීමට එක් එක් පිල දරන ප්‍රයත්නය අංකෙළිය නමින් හැඳින්වේ. හවුරුදු පතා පවත්වන ජාතික ක්‍රීඩාවක් වශයෙන් අංකෙළිය පුරාතනයෙහි පටන් සිංහලයන් අතර පැවැත්තේ ය. එහෙත් දැනට එය පවත්වනු ලබන්නේ ජනපද රෝගයක් පැමිණි කල ය. පත්තිනි දේවිය සතුටු කරවීමෙන් ඒ රෝග පැතිරීම වළක්වා ගත හැකි ය යන විශ්වාසයක් ජනයා අතර මුල් බැසගෙන තිබෙන බැවිනි. අංකෙළිය එක් ගමකට හෝ එක් පිරිසකට සීමාවූවක් නොවේ. කාහටත් පොදු ය. අංකෙළියක් කරන්නට සූදානම් වන විට අවට ගම්වාසී සියලු පිරිමි ඊට ඇතුළත් සේ සැලකේ. දුර බැහැර පෙදෙසක වූ කෙනකුට ද ඊට සම්බන්ධ වීමට බාධාවක් නැත. පුරුෂයන්ට අයත් ක්‍රීඩාවක් බැවින් ස්ත්‍රීහු ඉන් බැහැර වෙති.

උඩුපිල යටිපිල වශයෙන්‍ දෙපිලකට බෙදී ක්‍රීඩාව කරනු ලැබේ. මෙහි පිල් බෙදීම අන්‍ය බොහෝ ක්‍රීඩාවන්හි පිල් බෙදීම මෙන් ක්‍රීඩාවස්ථායෙහි කැරෙන්නක් නොවේ. පුරාතනයෙහි ගම් වශයෙන් ගෙන කරන ලද බෙදීමක් අනුව පවත්වා ගෙන එන්නෙකි. එය ගජබා I සමයෙහි ම කරන ලද සම්මතයක් විය යුතු ය යනු ඇතැම් විචාරකයන්ගේ මතයකි. කුල භේදය, තත්ව භේදය, බාල මහලු භේදය යන කිසිම භේදයක් පිල් බෙදීමෙහි ලා නොසැලකේ. කෙනකුගේ උත්පත්තිය හා පදිංචිය දෙපිලෙහි ගම් දෙකක වී නම් උත්පත්තිය ලත් ගම අයිති පිල ඔහුගේ පිල වන්නේ ය. මේ නිසා එක ගමෙහි පදිංචිව සිටින්නන් දෙපිලට බෙදෙන අවස්ථා ද දක්නා ලැබේ. වෙසක් මාසයේ දී අරඹා තුදුස් දිනක් තුළ දවසක් හැර දවසෙක අං ඇදීම සාමාන්‍යයෙන් පැවැත ආ සිරිතයි. අඟහරු, සිකුරු, පොහෝ යන දින අත්හැරේ.

10.jpg

අං ඇදීම ශුභ නැකතකින් පටන් ගැනේ. ඇදීමට යොදන අං 'පේකර' තැබීම ඊළඟට දෙපක්ෂයෙන් ම සිදු වෙයි. එසේ පේ කළ අංබළු අං ආබරණ නමින් දනිති. ජය පතා ඇතැම්හු ඉන්ද්‍රගුරුළු ශාස්ත්‍රයේ පිහිට ද සොයා ගෙන අං කෙළියට සැරැසෙත්. අං ඇදීමට නියම කර ගත් විට ක්‍රීඩාව සඳහා අංපිටියෙහි කළ යුතු කාර්යයෝ ද කීපයෙකි. මේ සඳහා වෙන් කර ගත් භූමි භාගය අංපිටිය ය. අංමඬුල්ල අංමැඬිල්ල යන නම් ද ඊට යෙදේ. නොයෙක් පළාත්හි අංපිටිය, අංකෙළි පිටිය යන නමින් ඇති පෙදෙස් පුරාතනයෙහි අංපිටි තිබුණු තැන් සිහි කරවන්නේ ය. එසේ ම අංහෙට්ටිගම, අංකෙළිහින්න, උඩුපිල, යටිපිල යනාදී ග්‍රාමනාම ම මෙම ක්‍රීඩාව පෙර සිට පැවැති බවට සාධකයි. අං ඇදීමට ගසක ආධාරය ද ඕනෑ ය. එබැවින් සෑම අංපිටියක් ම ගසක් ආශ්‍රයෙහි පිළියෙල කර ගැනිණි. ගසක් නැති තන්හි ඒ වෙනුවට කණුවක් සිටුවා ගනු ලැබෙයි.

පිටියෙහි ඇති ගස අං ඇදීමේ දී ඔරොත්තු නොදේ යයි හැ‍‍‍‍‍ඟේ නම් ඊට රුකුලක් වශයෙන් ද කණුවක් සිටවනු ලැබේ. එය 'බුහුකණුව' ය. ගස 'අංගහ' ය. ඊට බඹ කීපයක් ඈතින් අඩි පහක් හෝ හයක් ගැඹුරට වළක් සාරා සත්රියනක් හෝ නවරියනක් දිග කැකුණ කඳක් ගෙන අග කොන යටට ගෙන සේ එහි බස්සනු ලැබේ.

එතැන් පටන් එය 'අංකණුව' ය, ඒ පිණිස හෙණ වැදුණු පොල් ගසක කඳක් යෙදීම පැරැන්නන්ගේ සිරිත වී. එබැවින් 'හෙණකඳ' යන රූඪි නාමයක් ද අංකණුවට යෙදේ. ඒ කණුව මුදුනෙහි පුවක් මලක් බඳිනු ලැබේ. 'වලිමල' නමින් එය දනිත්. අංකණුවත් අංගහත් වටා මහත ඇති ශක්තිමත් වැල් වළලු දෙකක් ගොතාලනු ලැබේ. එය 'පේරැහැ' නමි. වරපටින් සෑදූ 'වාරම්' නම් මදු දෙකක් වෙයි. පේරැහැකට එකක කෙළවර බැගින් ගැට ගැසෙන ඒ වාරම් දෙකෙහි අනෙක් කෙළවරට 'වෙළුව' නම් වන වළලු දෙකක් යෙදේ. අංබළ සම්බන්ධ කැරෙන්නේ ඊට ය. පේරැහැත් වාරමත් අතරට 'රැකුල්පොල්ල' නම් ශක්තිමත් ලීය බැගින් ද යොදත්.

පැරැන්නන් මේ ක්‍රීඩාවට ගෝන අං හෝ මුව අං හෝ ගත් බවක් අං ඇදීම යන ව්‍යවහාරයෙන් හැ‍‍‍ඟේ. දැනට නම් ඒ පිණිස ගැනෙන්නේ කරඳ, තරණ, වරල්, පිහිඹිය, අන්දර, ඇට්ටේරිය ආදි තද හර ඇති ගස්හි හොඳට මේරෑ මුල්වලින් කෙක්කක් සේ සාදාගත් බළු ය. ඇතැමුන් සියඹලා අරටුයෙන් එය සාදා ගන්නා බව ද සමහර පළාත්හි ගෝණ මුව අංබල ගන්නා බව ද සඳහන් වේ. බෙහෙවින් නැමුණ අඟ 'වකාරය' නමින් හැඳින්වේ. මඳ ලෙසින් නැමී ඇත්තේ 'අංපොල්ල' ය. අ‍ඟේ මුල 'තෝඩුව' ය. අග 'පෙඳ' ය. ඇතුළු නැම්ම 'කර' යැ. ඇදීමේ දී නොලිස්සා නොසෙල් වී සිටින්නට අංතෝඩුවෙහි හරහට ලී කැබැල්ලක් තබා බැම්මක් බැ‍ඳේ. 'වෙළු පොල්ල', 'අං මෝල', 'අංරිකිල්ල' යන නමකින් හඳුන්වන ඒ ලී කැබැල්ල කෙක්කක් සේ අඟ වෙළුවට සම්බන්ධ කරලීම පිණිස උපකාරී වෙයි. පොරට යොදන අං දෙක වෙළුව, කර, බැම්ම, හැඩය, තෝඩුව යන ලක්ෂණ පසින් ම එකිනෙකට සමාන විය යුතු ය. ඉන් එකක් අනෙක් අඟට වඩා දුබල වී නම් ඒ අඟ අයත් පිලට අවාසි බැවින් ජය පරාජය කල්තියාම තීරණය කළ හැකි වේ. එසේ වුව තරගය අසමාන වෙයි. එක් පිලක වාසියටත් අනෙක් පිලෙහි අවාසියටත් හේතුවන යථෝක්ත ලක්ෂණ පස 'වාසිපහ' නමින් හැඳින්වේ. ක්‍රීඩාවේ සංවිධායකයා 'අංහෙට්ටියා' නමින් පෙනී සිටී. හේ දෙපිලට ම සාධාරණ ය. එක් එක් පිලට 'වට්ටාඩියා' නම් නායකයෙක් ද ඇත්තේ ය. 'වාසිපහ' සියුම්ව පරීක්ෂා කර බලා වෙළුවට අංබළ යෙදීමත් අදින අතර අංබළ දෙක නිතර ම කරට කර දී සිටින්නට සැලැස්සීමත් ඔවුන්ගෙන් ඉටුවිය යුතු විශේෂ කාර්යයයි. අණපනත් හා තීරණයන් දීම ද ඔවුනට අයත් ය. එක පිලකින් 'වකාරයක්' බැ‍‍ඳෙන්නේ නම් අනෙක් පිලෙන් ද වකාරයක් ම බැ‍ඳෙන්නට ඕනෑ ය. අංපොල්ල සම්බන්ධයෙන් ද නීතිය එය මැයි.

ඇදීම පිණිස ‍වලිවැල් නම් වූ වැල් කීපයක් හෙණකඳ (වලිගහ)ට ගැට ගසනු ලැබේ. අං දෙක කරට කර සිටුවා අංහෙට්ටියාත් වට්ටාඩියාත් ඒකමතිකව දෙන සංඥාවකින් ‍වලිවැල් අල්ලා ගෙන සැරැසී සිටින දෙපිලෙහි වූවෝ එකවර ම ඇද ගනිති. අංබළ ඉතා ශක්තිමත් බැවින් අදින වේගයට වලිගහ ඔබට මොබට වලි වැටෙන්නට පටන් ගනී. අදින්නෝ එසේ වැටෙන වලි අනුව "එන වලියට හෝය්යා, යන වලියට හෝය්යා, අනංගයෝ හෝය්යා, මල්බඳයෝ හෝය්යා" යනාදී වලි කියමින් එක් අඟක් බිඳී යනතුරු අදිත්. නොබිඳී සිටි අඟ අයිති පිලට ජය එයි. බිඳී ගිය අඟ අයිති පිලට පරාජය යේ.

එක් අඟක් බි‍ඳෙත් ම දිනුම් පිලෙහි වූවෝ ප්‍රීතියෙන් මත්ව පරාජිත පිලෙහි වූවන්ට නොයෙක් සරදම් හා වහසි බස් කියමින්, සිය පුරසාරම් බෙණෙමින්, ඔල්වරසන් දෙමින් ජය ඝෝෂා කරන්නට පටන් ගනිති. එවිට ඔවුන් සිත් සේ කැටි කැටිව කරන උසුළු, විසුළු, නටන නැටුම්, පානා වෙස් අවට සිටින්නන්ගේ ද නෙත් සිත් කුහුලින් මත්කරවනසුලු ය. ඔවුන් ද අං ඇදීමට පොලඹවනසුලු ය. පරාජය වූවන් උසිගන්වනසුලු ය. දිනුමක් ලත් විට මහල්ලන්ට ද සිය වයස අමතක වන සැටි ඉතා අරුම ය. දිනූ අඟ මුදා ගෙනවුත් වාරම මත තබා වැඳීමෙන් ඊට ගරු කරනු ලැබේ. ඉන්පසු බිඳීගිය අඟ හිමි පිල අනෙක් අඟක් යොදා යළිත් ‍පොරයකට සැරසේ. අංකෙළීමේ පරමාර්ථය වන්නේ පත්තිනිය සතුටු කරවීම බැවින් ඇයට හිමි යටිපිල පරාජය වුව ද දවසේ පළමුවන පොරයේ දිනුමත් අවසාන පොරයේ දිනුමත් ඒ පිලට දීම චාරිත්‍රයයි.

දවසේ ක්‍රීඩාව හමාර වූ පසු දිනූ 'අං ආබරණ' හිස පිට තබා, වියනක් යටින් තූර්‍ය්‍යනාද ඇතිව ගම වටා පෙරහරකින් ගෙන යත්. පේළියාම නමින් කරන ඒ පෙරහැරේ දී ගමට සෙත් පතන "හෝ හෝයා හෝය්යා! අපේ ගමට දෙවි පිහිටයි! වසංගතේ දුරු කරන්ට!" ආදි ආසිරි නාද සියල්ලන් හවුලේ පතුරනු ඇසේ. උත්සවය හමාර වූ පසු දිනූ අං පත්තිනි දේවාලයන්හි තැන්පත් කිරීම ද ඇතැම් පළාතක පවත්නා සිරිතෙකි. එසේ තැන්පත් කරන ලද අං ආබරණ කීපයක් නියංගම් දොර දේවාලයෙහි ඇති බව සැලය. අං‍කෙළියක් හමාර වූ පසු අංකණුව සිටැවුණු වළට කපුරාළ කෙනෙකු‍න් ලවා පැන් වැඩීම ඇතැම් පෙදෙසක කැරෙන සිරිතකි. පරාජය නිමිත්තෙන් ඒ මොහොතෙහි කොතරම් හෙළා තළා දෙඩුව ද ක්‍රීඩාව කෙළවර වන්නේ කාගේත් සිත්හි බලවත් ළෙන්ගතුකමත්, සමගියත් ඇති කරවමිනි.

උත්සව අවස්ථාවේ දී ක්‍රීඩකයන් උරෙනුර ගැටී සිටීම නිසා ඒ ඒ කුල අතර සමගි සම්බන්ධතාව නොදැනුවත්ව ම වැඩි වෙයි. දෙපිල ම කුලභේද අතහැර දමා තම තමන්ගේ පිල් ගැන ආඩම්බර වන හෙයිනි. මෙම උත්සවය වාර්ෂිකව පැවැත්වෙන නිසා වර්ෂයක් පාසා ම මේ සමගි සම්බන්ධතාව ප්‍රකෘතිමත් වේ.

ඇතැම්විට ඒ ඒ කුල අතර අසමගිකම් ඇති හෙයින් සමාජ සංවිධානය අවුල් නොවීමට කුල අතර සමගිය වර්ධනය කරවන උඩුපිල යටිපිල වැනි උපක්‍රම අවශ්‍ය යයි කිව හැකි ය.

(සංස්කරණය: 1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අංකෙළිය&oldid=3983" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි