අංගම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

හූනියම් මෙන් ම සතුරාට විපත් සිදු කළ හැකි අනික් භූත කර්මයක් මෙනමින් හැඳින්වේ. හූනියමක නපුරු විපාක දීම ජපකළ දින පටන් දින 40ක් පමණ ඇතුළත දී සිදුවේල. අංගම් එසේ නොව පැය සතක් ඇතුළත සම්පූර්ණ ප්‍රතිඵල දැක්ක හැකි දරුණු සියුම් ශාස්ත්‍ර ක්‍රමයක් හැටියට සලකනු ලැබේ. අංගමකට ලක් වූ තැනැත්තා එම මොහොතේ ම හෝ සත් පැයක් ගත වන්නට පෙර සිහිසන් නැතිව වැටී නාසයෙන් කටින් ලේ වගුරුවා මිය යා හැකි ය යනු පිළිගැනීමයි. සුදුසු ප්‍රතිකර්ම යෙදුවහොත් සත්පැයක් තුළ ආතුරයා බේරා ගැනීමට ද ඉඩ ඇතැයි විශ්වාස කරති. ගණන් වශයෙන් අංගම් දෙතිසකි. එනම්: උඩ තිරිංග, හස්ත, සුරුට්ටු, තල්පත්, නීචකුල, කතුරු, ලේන්සු, තද්ධිකාර, චෝරඝාත, රීරි, රොඩී, හනුමා, හේවා යක්ෂ, මහසොහොන්, හෙණරාවණ, මුදු හිරු නර පුර ඉන්දුව, නරපුර ඉන්චිය, නර පුරෝට්ටුව, විදුරු කොඩි, ගෙරි, හස්ති, කුල, සුනඛ, විදුරු මරණ, තාරකා, යක්ෂ, වාත, කුරුම්බර, රාජ, දේව, නීල යන මේවා ය.

අංගම් ජීවමක් සඳහා උපයෝගී කරගත් මලක්, නූලක්, රූපයක්, කෝටුවක්, ලේන්සුවක්, මුද්දක්, ගොක්කොළයක් වැනි දෙයක් ඒ සඳහා ඉලක්ක වූ තැනැත්තාට යටිපහු වන සේ වළලා තැබීම, අංගම් කළ අයගේ අතේ ම තබාගෙන ඔහුගේ ප්‍රශ්වාස වාතය අනෙකාට වැදෙන සේ පිඹීම, අතේ තබා ගත් ද්‍රව්‍යය අනෙකාගේ ඇ‍ඟේ ස්පර්ශ කිරීම, මුහුණට වීසි කිරීම, ඉන් පවන් සැලීම, ඔහු ලවා එය අත ගාන්නට සැලැස්වීම, දුටු විටෙක ගන්නට හැකි වන සේ තැනෙක තැබීම, තම අත ඔහු දෙසට දිගු කිරීම, මුහුණ දෙස බැලීම වැනි ක්‍රමයකින් අංගම් ක්‍රියාත්මක කරනු ලැබේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අංගම්&oldid=3987" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි