අංග්‍ර මෛන්‍යු

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පැරැණි පාරසිකයන් ඇදැහූ මස්දා ධර්මයෙහි සඳහන් වන 'යක්ෂයා' හෙවත් 'නපුරේ මුල' ඉපැරණි ගාථාමය අවෙස්තා ග්‍රන්ථයෙහි දැක්වෙන්නේ 'අංග්‍ර මෛන්‍යු' යන නමිනි. පශ්චාත් කාලීන අවෙස්තා භාෂාවෙහි 'අණ්ර මෛන්‍යු' යනුවෙන් ද පහ්ලවී භාෂාවෙහි 'අහ්රමන්' යනුවෙන් ද වර්තමාන පර්සියානු භාෂාවෙහි 'අහ්රිමන්' යනුවෙන් ද අංග්‍ර මෛන්‍යු හඳුන්වා ඇත්තේ ය. ශත්‍රැභූතයා (අණ්ර=ශත්‍රැ, මෛන්‍යු=භූතයා) හෙවත් ආධ්‍යාත්මික සතුරා යන්න අංග්‍ර මෛන්‍යු යන්නෙහි අර්ථය වේ. ග්‍රීකයෝ 'අරෙයිමානියොස්' නමින් ද රෝමකයෝ 'අරිමානියුස්' නමින් ද මොහු හැඳින්වූහ. ඇරිස්ටෝටල් ජීවත් ව සිටි කාලය තරම් ඉතා පැරණි කාලයක සිට මේ නම ග්‍රීකයන් අතර ප්‍රචලිත ව තිබීම වැදගත් කරුණෙකි.

පැරණි ගාථා අවෙස්තාවෙහි අංග්‍ර මෛන්‍යු අහුර මස්දාගේ ශුද්ධ ආත්මය වූ 'ස්පෙන්ත මෛන්‍යු'හට විරුද්ධ වූවහු බව දක්වා ඇත. ඊට හේතුවූයේ මෑත භාගයට අයත් අවෙස්තා ග්‍රන්ථයන්හී අහුර මස්දාගේ ශුද්ධාත්මයත් අහුර මස්දාත් අවිශේෂකොට ගැනීමයි. අංග්‍ර මෛන්‍යුගේ උත්පත්තිය සිදුවූයේ අන්ධකාරයෙන් ගහන වූ පාතාලයේ ය.

ලෝකය දෙයාකර යයි සලකන මස්දා ලබ්ධිකයෝ එහි පැවැත්ම එකිනෙකට විරුද්ධ දෙදෙනකුගෙන් සිදු වෙතැයි විශ්වාස කරති. මොවුනතුරෙන් අහුර මස්දා ශෝභන ඵල ගෙන දීමෙහි ද අංග්‍ර මෛන්‍යු දුෂ්ටඵල ගෙන දීමෙහි ද නිරත ය. අංග්‍ර මෛන්‍යුගේ ශරීරය සුහුනකුගේ හැඩහුරුකම් ඇත්තේ ය. පෙනීමෙන් ඔහු පසළොස් හැවිරිදි තරුණයකුට සමාන යයි සඳහන් වේ. අංග්‍ර මෛන්‍යු මිශ්‍ර ගති ඇත්තෙකි; රකුසන්ගේ රකුසෙකි. දුෂ්ට බලවතුන්ගේ නායකයා ය. අහුර මස්දාගේ සතුරා මෙන් ම ඔහුට ප්‍රතිවිරුද්ධ ලක්ෂණයන්ගේ මූර්තිය ද වේ. අවිද්‍යාවෙන් පිරී ගිය ඔහු වාසය කරන්නේ සදාකාලික රාත්‍රි (අන්ධකාර)යේ ය. අහුර මස්දා සිදු කරන හැම යහපත් දේකට ම ඔහු හානි කරයි. ලෝකය මැවූ අවස්ථාවෙහි අංග්‍ර මෛන්‍යු එහි ඇතුළු වී වසංගතයක් පැතිර වීමෙන් අහුර මස්දාගේ මැවීමට විරුද්ධතා දැක්වී ය. පළමුවෙන් උපන් ගවයා මැරී ය. පැළෑටිවලට විෂ ද, ගින්නට දුම ද, මනුෂ්‍යයාට පාපය ද, ‍ජීවිතයට මරණය ද මිශ්‍ර ‍තෙළේ ය. ඔහු ලෝකයා අතර පැතිරවූ රෝග සංඛ්‍යාව 99,999කි. පළමුවෙන් කටු හෝ පොතු විරහිත ව පැවති වෘක්ෂලතාවන්ට ඔහුගේ පැමිණිමෙන් පසු ඒවා ඇති විය. එසේ වීමට හේතුව ඔහුගේ ශත්‍රැගුණය හැම දෙයක් සමඟ මිශ්‍රවීම ය. ස්ත්‍රීන්ගේ ඍතුවීම සිදු කරන්නේ ද අංග්‍ර මෛන්‍යු ය. විශේෂයෙන් නියමිත කාලය ඉකුත් වී රජෝවහනය සිදුවූ විට එය අංග්‍ර මෛන්‍යු විසින් කරන ලද්දක් සේ සලකනු ලැබේ. අංග්‍ර මෛන්‍යු අහුර මස්දා මෙන් අමරණීය නොවේ. කලක් ගතවන තුරු ඔහු අහුර මස්දා හෝ ආලෝකය ඇති බව නොදැන සිටියේ ය. අනුවණකම හා අන්ධභාවය නිසා තමාගේ ඉරණම හෝ ඉන් මිදීමේ මාර්ගය ඕහට සොයාගත නොහැකි විය. අහුර මස්දාට විරුද්ධ ව ක්‍රියා කිරීමට මනුෂ්‍යයකු පෙලඹවීම ඔහුගේ විශාලතම ජයග්‍රහණයකි. ඔහුගේ පක්ෂයට මිනිසකු හරවා ගැනීම ද මහත් සතුටට කරුණකි. දේවදූතයන්ට පවා පැරදවිය නොහැකි අංග්‍ර මෛන්‍යු දමනය කිරීමෙහි ශරතුෂ්ට්‍රයෝ (සොරොඇස්තර්) පමණක් සමර්ථ වූහ. යහපත් රාජ්‍යය විනාශ කිරීම සඳහා ඔහු රකුසන් බොහෝ දෙනකු මැවී ය. ග්‍රහයෝ ද ඔහුගේ යුද්ධ හමුදාවට අයත් ය. අහුර මස්දා විසින් ශරතුෂ්ට්‍රයන්ට ප්‍රකාශිත ධර්මයෙහි ඔහු සොළොස් වාරයෙක මැවූ භූමි සොළසක් ගැන ද ඒ එක් එක් වාරයෙහි අංග්‍ර මෛන්‍යු විසින් මවන ලද නදී සර්පයා, ශීතඍතුව ආදි ලෝකයාට අහිතකර මැවීම් ගැන ද අංග්‍ර මෛන්‍යුගේ විනාශය සිදුවන ආකාරය ආදිය ගැන ද සඳහන් කර තිබේ.

මළවුන්ගෙන් නැගිටීමේ දී අංග්‍ර මෛන්‍යු ශක්තිය හීන වූ අසරණයකු වීමෙන් යහපත් භූතයන්ට නමස්කාර කිරීමට ඔහුට සිදුවන බවත් ඉන්පසු ඔහු විනාශ කිරීම හෝ සිරකර තැබීම වන බවත් ඇතැම් ග්‍රන්ථවලින් හෙළි වේ. නියමිත කාලය ආසන්න වූ විට ආඥාදායකයාගේ සයෝෂ්‍යන්ත් නම් පුතකු පහළව අංග්‍ර මෛන්‍යු හා නරකය විනාශ කිරීමෙන් පසු මනුෂ්‍යයන් මළවුන්ගෙන් නැගිටීමෙන් සදාකාලික සැප ඇති රාජ්‍යයක් පහළ වේ යයි ද සඳහන් වේ.

පැරණි පර්සියානු ශිලාලිපිවල අහුර මස්දාගේ නාමය මෙන් අංග්‍ර මෛන්‍යුගේ නම සඳහන් වී නැත. එහෙත් දුෂ්ට තත්වය ද්‍රෞග (මිථ්‍යාව) නමින් හඳුන්වා තිබේ. දැනට මස්දා ආගම අදහන පාරසිකයෝ අංග්‍ර මෛන්‍යු භූතයකු වශයෙන් නොව කිසියම් අදෘශ්‍යමාන බලයක් හැටියට සලකති. (සාතන් බ.)

(සංස්කරණය: 1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අංග්‍ර_මෛන්‍යු&oldid=3997" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි