අංජිලාවා (අංචිලාවා)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
15.jpg
අංජිලා නාමයෙන් ගැනෙන්නේ කුඩා තෝර විශේෂ කීපයකි. කරදිය මත්ස්‍යයන් වන උන්ගේ හොම්බ උල් ය; ශරීරය මස් සහිත ය, දිග ය. ශරීරයෙහි පැහැදිලිව පෙනෙන අන්දමේ කොරළ ඉඳී නැත. අංජිලාවාගේ ශරීරයේ උඩුපැත්ත තද නිලට හුරු ය; බඩවතත් දෑලත් රිදී පාට ය. උඩුපැත්තෙහි ද යටිපැත්තෙහි ද කුඩා ‍‍කොටස් බවට කැඩුණු කොට වරල් පේළි දෙකක් ශරීරයේ මැද හරියේ සිට වලිගය දක්වා විහිදී තිබේ.

අංජිලාවා ස්කොම්බෙරොමෝරුස් (Scomberomorus) ගණයට අයත් ය. අහින් තෝරා බඹර තෝරා නමින් ද ප්‍රසිද්ධ විශාල ම අංජිලාවා (ස්කොම්බෙරොමෝරුස් කොමෙර්සොනි - S. commersoni) දිගින් අඩි 3ක් ද බරින් රාත්තල් 30ක් ද පමණ වන තෙක් වැඩේ. උගේ උඩුවරලේ ඉදිරිපස කෙළවර කළු ය; අනෙක් වරල් නිලට හුරු ය. උගේ මස් ඉතා රසවත් ය. මැරුණායින් පසු මේ අංජිලාවාගේ දෑළෙහි, විශේෂයෙන් ම යටිපැත්තෙහි, හරස් අතට විහිදෙන කළු වයිරම් රාශියක් මතු වේ.

ස්. ගුටාටුස් (S. Guttatus) නමැති අංජිලාවා පේළි තුනකට පිහිටි රවුම් පුල්ලි සහිත අඩි දෙකක් පමණ දිග මත්ස්‍යයෙකි. ඌ එපමණ සුලභ නැත. පේළි හතරකට පිහිටි දික් අතට වැටුණු කහ පාටට හුරු වයිරම් සහිත වූ අංජිලාවෙක් (ස්. ඉන්ටරුප්ටුස් - S. interruptus) ද ලංකාව අවට ඇත. මේ අංජිලාවා මැරුණු විට අළු පාට වන්නේ ය. ලංකාවෙහි ඒ ඒ ප්‍රදේශවල අංජිලාවාට අළු තෝරා, ගෑනු තෝරා, සෙක්කල් තෝරා, අරුමහ, හරුමස් තෝරා යන නම් ද යට සඳහන් නම්වලට අමතර ව භාවිත කරති. ඇතැමුන් විසින් අංජිලාවෝ සීබියුම් (Cybium) හා ඉන්ඩොසීබියුම් (Indocybium) ගණවල ඇතුළත් කරනු ලැබෙති.

(සංස්කරණය: 1963)