අංශ(ක)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කොටස් හෝ ඛණ්ඩ යන අර්ථය ඇති ශබ්දයකි. රාශි චක්‍රය 360කට බෙදීමෙන් ලැබෙන කොටසකට ද රාශියකින් තිහෙන් පංගුවකට ද අංශක යන නම ව්‍යවහාර කරති. රාශියක කොටස් හැඟවීමේ දී ද දෙර්කාණාංශ (ක) 1/3, චතුර්ථාංශ ¼, නවාංශ 1/9, ද්වාදශාංශ 1/12 ආදි වශයෙන් අංශ, අංශක යන ශබ්ද ජ්‍යොතිශ්ශාස්ත්‍රයෙහි දී ව්‍යවහාර කරනු ලැබේ. එබඳු ප්‍රයෝගයන්ගෙන් වැදගත් ඒවා පහත දැක්වේ.

අක්ෂ වේදාංශක:

රාශියක් පන්සාලිසකට බෙදූ කොටස් අක්ෂවේදාංශක නම් වේ. මින් එකක ප්‍රමාණය කලා 40කි. චර රාශිවල මේෂයේ පටන් ද තිර රාශිවල සිංහයේ පටන් ද උභය රාශිවල ධනුවේ පටන් ද අක්ෂවේදාංශක ගිණිය යුතුයි. මේවා ජන්මඵල කථනයේ දී රාශි ග්‍රහාදීන්ගේ බලාබල දැනගැනීමට ප්‍රයෝජනවත් වේ.

අක්ෂාංශක:

රාශි චක්‍රයේ මැද පටන් උතුරට හා දකුණට යොදනු ලබන අංශක අක්ෂාංශක නම් වේ. පෘථිවියෙහි ඒ ඒ ස්ථාන පිහිටි අංශක නිශ්චය කිරීමාදිය මෙහි ප්‍රයෝජනයි.

අමෘතාංශක:

මේෂ, සිංහ, ධනු යන රාශිවල සත්වන නවාංශකත් වෘෂභ, කන්‍යා, මකර යන රාශිවල පස්වන නවාංශකත් මිථුන, තුලා, කුම්භ යන රාශිවල අටවන නවාංශකත් කටක, වෘශ්චික, මීන යන රාශිවල සතරවන නවාංශකත් අමෘතාංශක නමින් හැඳින්වේ. ශුභ කටයුතු ආරම්භයේ දී අභිමතාර්ථ සංසිද්ධිය පිණිස මෙම අංශක යොදාගත යුතු බව දැක්වේ.

අයනාංශක:

මේඛලා රේඛාවට ඍජුව ඒ සමාන වූ අහසේ මනඃකල්පිත වශයෙන් සලකන සමක රේඛාවෙහි පටන් උතුරට හා දකුණට ගණින අංශකවලට මේ නම යෙදේ.

අයනාංශක:

(සංවත්සර) රේවතී නැකතෙහි අවසානයේ පටන් සූර්යයා දක්ෂිණායනයෙහි සිට උත්තරායණයට ප්‍රවේශ වන ස්ථානය දක්වා අවුරුදු පතා විකලා 50-24 බැගින් ඈත්වීමෙන් ඇති වන පරතරයේ අංශක (දුර) ප්‍රමාණය අයනාංශක නම් වේ. සායන ග්‍රහ ස්ඵුට සෑදීමට ද පඤ්චාංග ලිත් සකස් කිරීම් ආදියට ද මේවා ප්‍රයෝජනවත් වේ.

අෂ්ටාංශක:

රාශියක් අටකට බෙදීමෙන් ලැබෙන එක් කොටසක් අෂ්ටාංශකයකි. මෙහි ප්‍රමාණය අංශක 3 කලා 45කි. චර, ස්ථිර, ද්විස්වභාව රාශිවල අෂ්ටාංශක ක්‍රමයෙන් මේෂ, සිංහ, ධනු යන රාශිවලින් ආරම්භ වේ. වර්ෂේශ්වරයාගේ සහ වෙනත් ග්‍රහයන්ගේ ද බලාබල දැනගැනීම සඳහා යොදනු ලබන ද්වාදශ වර්ගයෙන් අෂ්ටාංශකය ද එකකි.

උත්තමාංශක:

දශවර්ගයෙහි දී යම් ග්‍රහයකු තමාට අයිති වර්ග තුනක සිටි කල ඒ ග්‍රහයා උත්තමාංශක ගත වී යයි කියති. යම් ග්‍රහයකු එසේ සිටීම සම්පත් ලැබීමට හේතුවකැයි දැක්වේ. නීච, මූඪ, අස්තාදියෙන් දුබල වූ ග්‍රහයකුගෙන් දක්වන මාරකය උත්තමාංශකාදි වර්ග බලයෙන් වළක්වන බව ද පැවැසේ.

උත්තර වලයාංශක:

මේඛලා රේඛාවෙහි පටන් අංශකයකට එක බැගින් උතුරට හෙළන රේඛා උත්තර වලයාංශක නම් වේ. මේඛලාවේ පටන් ඒ ඒ ස්ථානවලට ඇති දුර දැනගැනීම මෙහි ප්‍රයෝජනයි.

ඒකාදශාංශක:

රාශියක් එකොළොසට බෙදීමෙන් ලැබෙන කොටස් ඒකාදශාංශකයි. ඉන් එකක ප්‍රමාණය අංශක 30/11කි. ග්‍රහාදීන්ගේ බලාබල දැනගැනීම මෙහි ප්‍රයෝජනයයි.

ඓරාවතාංශක:

දශවර්ගයෙහි දී යම් ග්‍රහයකු තමාට අයිති වර්ග නවයක සිටි කල ඒ ග්‍රහයා ඓරාවතාංශක ගත වී යයි කියති. මෙය ජන්මියා සකලෛශ්වර්‍ය්‍යයෙන් පරිපූර්ණ වූ චක්‍රවර්ති රජකු කිරීමට හේතුවන යෙදීමකි. පාරාශරයෙහි මීට 'ශක්‍රවාහන' යන නම දී තිබේ.

කලාංශ:

රාශියක් සොළොසකට බෙදූ ‍කොටස්වලට ව්‍යවහාර වන නමකි ('ෂෝඩශාංශක' බ.).

කාලාංශක:

චන්ද්‍රභෞමාදි ග්‍රහයෝ සූර්යයාට යම් පමණ අංශක ගණනක් කිට්ටු වූ කල අස්ත වෙත් ද ඒ අංශකයන්ට කලාංශක යයි කියනු ලැබේ. මේවා ස්ථූල මානයෙන් සඳුට 12ක් ද කුජට 17ක් ද බුධට 13ක් ද වක්‍ර වූ බුධට 12ක් ද ගුරුට 11ක් ද කිවිට 9ක් ද වක්‍ර වූ කිවිට 8ක් ද ශනිට 15ක් ද වෙයි.

කිරි අංශක:

වීජ වාපනයට හා කපු සිටවීමට ශුභ වූ කාල විශේෂයකි. එය යෙදෙන්නේ මෙසේ ය:- මේෂ ලග්නයේ තුන්වන පාදය කුජ හෝරාව සමඟ ද වෘෂභයේ දෙවන පාදය කිවි හෝරාව සමඟ ද මිථුනයේ පළමුවන පාදය සඳු හෝරාව සමඟ ද, කටකයේ දෙවන පාදය ශනි හෝරාව සමඟ ද, සිංහයේ පළමුවන පාදය සඳු හෝරාව සමඟ ද, කන්‍යාවේ පළමුවන පාදය කිවි හෝරාව සමඟ ද, තුලාවේ පළමුවන පාදය කිවි හෝරාව සමඟ ද වෘශ්චිකයේ සතරවන පාදය කිවි හෝරාව සමඟ ද ධනුවේ තුන්වන පාදය ගුරු හෝරාව සමඟ ද, මකරයේ පළමුවන පාදය කුජ හෝරාව සමඟ ද කුම්භයේ පළමුවන පාදය කිවි හෝරාව සමඟ ද, මීනයේ තුන්වන පාදය කිවි හෝරාව සමඟ ද යන මේවායින් කිසියම් යෝගයක් යෙදුණ විට ඊට කිරි අංශක යයි කියනු ලැබේ. නවාංශකයක් හතරට බෙදා ඒ ඒ ලග්නවලට කී පාද ගෙන ඒවාට සම්බන්ධ වූ හෝරා එක්කර ගත් කල ද කිරි අංශකය යෙදේ. මේ අංශකයේ ලක්ෂණ දැක්වීමෙහි දී එය සුදු පැහැයෙන් යුක්ත යයි ද ඊට සඳු අධිපති යයි ද කියත්.

ඛවේදාංශක:

රාශියක් සතලිසකට බෙදූ කොටස් ඛවේදාංශක නම් වේ. මේ අංශකයක ප්‍රමාණය කලා 45කි. විෂම රාශියෙහි මේෂයේ පටන් ද සම රාශියෙහි තුලාවේ පටන් ද ඛවේදාංශක ගිණිය යුතුයි. උත්පත්ති කාලයේ දී ග්‍රහයන්ගේ බලාබල දැනගැනීම් ආදියට මේවා ප්‍රයෝජනවත් ය.

ගෝපුරාංශක:

දශ වර්ගයෙහි දී යම් ග්‍රහයකු තමාට අයිති වර්ග සතරක සිටි කල ඒ ග්‍රහයා ගෝපුරාංශක ගත වී යයි කියති. ගෝපුරාංශක ගත වූ ග්‍රහයාගෙන් විද්‍යාව හා ධනය ඇති කරන බව සඳහන් වේ.

චතුර්ථාංශක:

රාශියක් හතරට බෙදූ කොටස් චතුර්ථාංශ නම් වේ. මෙහි ප්‍රමාණය භාග 7 කලා 30කි. මේ ‍කොටස් සතර පිළිවෙළින් ලග්නය 4-7-10 යන කේන්ද්‍රස්ථානයන්ගේ අධිපතීන්ට ද, සනක, සනංද, කුමාර, සනාතන යන මොවුන්ට ද හිමි වේ. වර්ෂපත්‍රිකා සෑදීමේ දී වර්ෂේශ්වරයාගේ බලාබල සෙවීමට ද ප්‍රශ්න විසඳීමට ද චතුර්ථාංශ ප්‍රයෝජනවත් වේ.

චතුර්විංශාංශක:

රාශියක් විසිහතරකට බෙදූ කොටස් චතුර්විංශාංශක නම් වේ. මින් එක් කොටසක් භාග 1 කලා 15කි. විෂම රාශියෙහි සිංහලයෙන් ද සම රාශියෙහි කටකයෙන් ද ආරම්භ වේ. කේන්ද්‍රයක ග්‍රහබල දැනගැනීම් ආදියට මේවා ප්‍රයෝජනවත් වේ.

චාමරාංශක:

දශවර්ගයෙහි දී යම් ග්‍රහයකු තමාට අයිති වර්ග අටක සිටි කල ඒ ග්‍රහයා චාමරාංශක ගත වී යයි කියති. පාරාශරයෙහි මෙය බ්‍රහ්මලෝකාංශක නමින් හැඳින්වේ. මෙය ජන්මියාට ශෝභනඵල ගෙන දෙන යෙදීමකි.

චිත්තාංශක:

කිසියම් කරුණක් ගැන විමසීමට යමකු දෛවඥයකු කරා ගිය විට ප්‍රශ්නකරු විසින් ප්‍රකාශ නොකරන ලද ඔහුගේ සිතේ තිබෙන අදහස හෙවත් ඔහු අසන කාරණය දැනගැනීමට දෛවඥයාට ඉවහල් වන අංශකය චිත්තාංශකය නම් වේ.

ත්‍රිංශාංශක:

රාශියක් 30කට බෙදූ කොටස් ත්‍රිංශාංශක යන නමින් හැඳින්වේ. ත්‍රිංශාංශකයක ප්‍රමාණය අංශක (භාග) එකකි. සම, විෂම යයි ත්‍රිංශාංශක දෙවැදෑරුම් වෙයි. ත්‍රිංශාංශකයෙන් ස්ත්‍රී ලාභය, විවාහ සිදුවන දිශා, ස්ත්‍රී ස්වරූප ගතිගුණ තත්ත්වය හා සුවදුක් ආදිය විනිශ්චය කරනු ලැබේ.

දක්ෂිණ වලයාංශක:

මේඛලාව පටන් අංශකයකට එක බැගින් දකුණට හෙළන රේඛා දක්ෂිණ වලයාංශක නම් වේ. මේඛලාවේ පටන් ඒ ඒ ස්ථානවලට ඇති දුර දැනගැනීම මෙහි ප්‍රයෝජනයි.

දශාංශක:

රාශියක් දහයකට බෙදූ කොටස් දශාංශක යන නමින් හැඳින්වේ. දශාංශකයක ප්‍රමාණය අංශක තුනකි. විෂම රාශි දශාංශ එම රාශියේ පටන් ද සම රාශියෙහි ඉන් නවවන රාශියේ පටන් ද ගිණිය යුතුයි. ඉන්ද්‍ර, අග්නි, යම, රාක්ෂස, වරුණ, වායු, කුවේර, ඊශාන, බ්‍රහ්ම, අනන්ත යන මොවුහු විෂම රාශි දශාංශකයන්ට පිළිවෙළින් ද සම රාශිවලට උපිළිවෙළින් ද අධිපති වෙත්. උත්පත්තියේ දී ඒ ඒ ග්‍රහයන් සිටි දශාංශක අනුව ශුභාශුභ විනිශ්චය කිරීම් ආදිය මෙහි ප්‍රයෝජනයි.

දේවාංශක:

ගාල් බැඳීම් ආදියට ශුභ වූ කාල විශේෂයකි. මේෂ ලග්නයේ 1 වන පාදය සමඟ ඉරු හෝරාව ද වෘෂභ ලග්නයේ 3 වන පාදය සමඟ ශනි හෝරාව ද මිථුන ලග්නයේ 3 වන පාදය සමඟ බුධ හෝරාව ද කටක ලග්නයේ 4 වන පාදය සමඟ රවි හෝරාව ද සිංහ ලග්නයේ 3 වන පාදය සමඟ බුධ හෝරාව ද කන්‍යා ලග්නයේ දෙවන පාදය සමඟ ශනි හෝරාව ද තුලා ලග්නයේ දෙවන පාදය සමඟ ශනි හෝරාව ද වෘශ්චික ලග්නයේ දෙවන පාදය සමඟ බුධ හෝරාව ද ධනු ලග්නයේ දෙවන පාදය සමඟ ශනි හෝරාව ද මකර ලග්නයේ දෙවන පාදය සමඟ බුධ හෝරාව ද කුම්භ ලග්නයේ තුන්වන පාදය සමඟ ගුරු හෝරාව ද මීන ලග්නයේ සිව්වන පාදය සමඟ ගුරු හෝරාව ද යන මේවායින් කිසියම් යෝගයක් යෙදුණ විට ඊට දේවාංශක යයි කියනු ලැබේ. නවාංශකයක් හතරට බෙදා ඒ ඒ ලග්නවලට කී පාද ගෙන ඒවාට සම්බන්ධ වූ හෝරා එක්කර ගත් කල සූක්ෂ්ම දේවාංශක ලබාගත හැක. රවිට හිමි වූ මේ අංශකය කාල වර්ණයෙන් යුක්ත යයි සඳහන් වේ. ගාල් බැඳීමට හා ගස් රෝපණයට ශුභයි.

දේර්කාණාංශක (දෙර්කාණ):

රාශියක් තුනට බෙදූ කොටස් දේර්කාණාංශක නම් වේ. මෙහි ප්‍රමාණය අංශක (භාග) දහයකි. හැම රාශියක ම ප්‍රථම දේර්කාණය ඒ රාශිය නමින් ද දෙවැන්න පස්වන රාශිය නමින් ද තෙවැන්න නවවන රාශිය නමින් ද හැඳින්වේ. දේර්කාණයෙන් සොරුන්ගේ ස්වරූප, නාමාක්ෂර සංඛ්‍යා, තනතුරු ලැබීම, ඓශ්වර්‍ය්‍ය ප්‍රමාණය හා රූපගුණාදිය විනිශ්චය කරනු ලැබේ.

දේවලෝකාංශක:

දශ වර්ගයෙහි දී යම් ග්‍රහයකු තමාට අයිති වර්ග සතක සිටි කල ඒ ග්‍රහයා දේව ලෝකාංශක ගත වී යයි කියති. මෙය මහා දානපතියකුගේ උත්පත්තියට හේතුවන යෙදීමකි.

ද්වාදශාංශක:

රාශියක් දොළහකට බෙදූ කොටස් ද්වාදශාංශක යන නමින් හැඳින්වේ. ‍ද්වාදශාංශකයක ප්‍රමාණය අංශක (භාග) 2 කලා 30 කි. කිසියම් රාශියකට අයත් ද්වාදශාංශක දොළස ඒ රාශියේ පටන් පිළිවෙළින් ඇති රාශි නාමයන්ගෙන් හැඳින්වේ. ද්වාදශාංශක ප්‍රශ්න විසඳීමට ද ලිංගභේදය හා ශරීර ස්වරූපාදිය දැනගැනීමට ද ප්‍රයෝජනවත් වේ.

නවාංශක:

රාශියක් නවයට බෙදූ කොටස් නවාංශක නම් වේ. නවාංශකයක ප්‍රමාණය භාග 3 කලා 20කි. මේෂ, සිංහ, ධනු යන රාශිවල නවාංශක මේෂ නවාංශකයෙන් ද වෘෂභ, කන්‍යා, මකර යන රාශිවල නවාංශක මකර නවාංශකයෙන් ද මිථුන, තුලා, කුම්භ යන රාශිවල නවාංශක තුලා නවාංශකයෙන් ද කටක, වෘශ්චික, මීන යන රාශිවල නවාංශක කටක නවාංශකයෙන් ද ආරම්භ වේ. නවාංශකයෙන් ශරීර ස්වරූපය, ඥානය, ප්‍රඥාව හා ගුණධර්මාදිය විනිශ්චය කරනු ලැබේ.

පඤ්චාංශක (පංචමාංශ):

රාශියක් පහකට බෙදූ කොටස් පඤ්චාංශක නම් වේ. එකක ප්‍රමාණය අංශක 6කි. ඕජ රාශි පඤ්චාංශකයන්ට ක්‍රමයෙන් ද යුග්මරාශි පඤ්චාංශකයන්ට ව්‍යුත්ක්‍රමයෙන් ද කුජ, ශනි, ගුරු, බුධ, කිවි යන ග්‍රහයෝ අධිපති වෙති. පඤ්චාංශකයන්ගෙන් වර්ෂේශ්වරයා හා අවශේෂ ග්‍රහයන්ගේ බලදුබලතාදිය විනිශ්චය කරනු ලැබේ.

පාරාවතාංශක:

දශ වර්ගයෙහි දී යම් ග්‍රහයකු තමාට අයිති වර්ග සයක සිටි කල ඒ ග්‍රහයා පාරාවතාංශක ගත වී යයි කියති. මෙය ශාස්ත්‍රඥානයෙන් යුත්, රජ බව ලබන්නකුගේ උත්පත්තියට හේතුවන යෙදීමකි.

පාරිජාතාංශක:

දශවර්ගයෙහි දී යම් ග්‍රහයකු තමාට අයිති වර්ග දෙකක සිටි කල ඒ ග්‍රහයා පාරිජාතාංශක ගත වී යයි කියති. මෙය ධනයෙන් ආඨ්‍යවන්නකුගේ උත්පත්තියට, හේතුවන යෙදීමකි. නීච, මූඪ, අස්තාදියෙන් දුබල වූ ග්‍රහයකුගෙන් ඇතිවන මාරකය පාරිජාතාදි වර්ග බලයෙන් වළක්වන බව ද සඳහන් වේ.

බුධ අංශක:

ගෙඩි හටගන්නා සියලු ගස්වැල් සිටුවීමට ශුභ වූ කාල වි‍ශේෂයකි. මේෂ ලග්නයේ සිව්වන පාදය බුධ හෝරාව සමඟ ද වෘෂභයේ සිව්වන පාදය රවි හෝරාව සමඟ ද මිථුනයේ දෙවන පාදය කුජ හෝරාව සමඟ ද කටකයේ පළමුවන පාදය ගුරු හෝරාව සමඟ ද සිංහයේ දෙවන පාදය කුජ හෝරාව සමඟ ද කන්‍යාවේ සිව්වන පාදය ගුරු හෝරාව සමඟ ද තුලාවේ සිව්වන පාදය සඳු හෝරාව සමඟ ද වෘශ්චිකයේ තුන්වන පාදය ගුරු හෝරාව සමඟ ද ධනුවේ පළමුවන පාදය රවි හෝරාව සමඟ ද මකරයේ තුන්වන පාදය ගුරු හෝරාව සමඟ ද කුම්භයේ දෙවන පාදය ගුරු හෝරාව සමඟ ද මීනයේ පළමුවන පාදය කුජ හෝරාව සමඟ ද යන මේවායින් කිසියම් යෝගයක් යෙදුණ කල ඊට බුධ අංශක යයි කියනු ලැබේ. නවාංශකයක් හතරට බෙදා ඒ නමින් යුත් ලග්නයට කී පාද හා හෝරා එක්කර ගත් කල ද බුධ අංශකය යෙදේ. පඤ්චවර්ණ වූ මේ අංශකයට කිවි අධිපති වේ.

රාජ අංශක:

ගමන් යාමෙහි ශුභ වූ කාල විශේෂයකි. මේෂ ලග්නයේ 2 වන පාදය සඳු හෝරාව සමඟ ද වෘෂභයේ 1 වන පාදය ගුරු හෝරාව සමඟ ද මිථුනයේ 4 වන පාදය ගුරු හෝරාව සමඟ ද කටකයේ 3 වන පාදය කිවි හෝරාව සමඟ ද සිංහයේ 4 වන පාදය ගුරු හෝරාව සමඟ ද කන්‍යාවේ 3 වන පාදය බුධ හෝරාව සමඟ ද තුලාවේ 3 වන පාදය රවි හෝරාව සමඟ ද වෘශ්චිකයේ 1 වන පාදය කුජ හෝරාව සමඟ ද ධනුවේ 4 වන පාදය සඳු හෝරාව සමඟ ද මකරයේ 4 වන පාදය රවි හෝරාව සමඟ ද කුම්භයේ 4 වන පාදය බුධ හෝරාව සමඟ ද මීනයේ 2 වන පාදය රවි හෝරාව සමඟ ද යන මේවායින් කිසියම් යෝගයක් යෙදුණ විට ඊට රාජ අංශක යයි කියනු ලැබේ. නවාංශකයක් හතරට බෙදා ඒ නමින් යුත් ලග්නයට කී පාද හා හෝරා එක්කර ගත් කල ද රාජඅංශකය යෙදේ. රක්ත වර්ණ යයි සම්මත වූ රාජඅංශකයට ගුරු කුජ දෙදෙන අධිපති වෙති.

භාංශක:

රාශියක් විසිහතට බෙදූ කොටස් භාංශක නම් ‍වේ. එකක ප්‍රමාණය භාග 1 කලා 6 විකලා 40කි. මෙහි අංශක ගිණීම නවාංශක ගණින ක්‍රමයට සමාන ය. භාංශකයට සප්තවිංශාංශක යයි ද ව්‍යවහාර කරත්. ග්‍රහයන්ගේ හා රාශිවල බලදුබලතාදිය විනිශ්චය කිරීම මෙහි ප්‍රයෝජනයි.

වර්ගෝත්තමාංශක:

රාශියක ස්වකීය නාමයෙන් හැඳින්වෙන නවාංශකය වර්ගෝත්ත‍මාංශකය නම් වේ. චර රාශිවල ප්‍රථම නවාංශක ද තිර රාශිවල ‍පස්වන නවාංශක ද උභය රාශිවල නවවන නවාංශක ද වර්ගෝත්තමාංශයි. නවාංශක සමූහයට ප්‍රධාන අංශකය වූ බැවින් වර්ගෝත්තමාංශ නම් වේ. වර්ගෝත්තමාංශකයෙහි උපන්නේ ස්වකීය කුලයට ප්‍රධානියෙක් වේ.

වලයාංශක:

මේඛලාව පටන් උතුරට හා දකුණට ගණින අංශකවලට වලයාංශක යයි ව්‍යවහාර කරනු ලැබේ. ඒ ඒ ස්ථාන පිහිටි තැන් හා දුර ප්‍රමාණාදිය දැනගැනීමට වලයාංශ ඉවහල් වේ.

ලග්නාංශක:

ලග්නයේ තත්කාලයට උදාවූ නවාංශකය ලග්නාංශක නම් වේ. ප්‍රශ්න විසඳීම, යම් යම් කටයුතු ඉටුවන කාල නිගමනය කිරීම, ශරීර ස්වරූපය, ඥානය, ප්‍රඥාව, ගුණධර්ම විනිශ්චය කිරීම ආදිය මෙහි ප්‍රයෝජනයි.

විංශාංශක:

රාශියක් විස්සට බෙදූ කොටසකට විංශාංශකය යන නම ව්‍යවහාර වේ. මෙහි ප්‍රමාණය භාග 1 කලා 30කි. චර රාශියෙහි මේෂයෙන් ද ස්ථිර රාශියෙහි ධනුවෙන් ද ද්විස්වභාව රාශියෙහි සිංහයෙන් ද විංශාංශක ආරම්භය වේ. මේවා ග්‍රහයන්ගේ හා රාශිවල බලාබල දැනගැනීමට ඉවහල් වේ.

වෛශේෂිකාංශක:

දශ වර්ගයෙහි දී යම් ග්‍රහයකු තමාට අයිති වර්ග දහයක සිටි කල ඒ ග්‍රහයා වෛශෙෂිකාංශක ගත වී යයි කියති. මෙය සියලු සම්පත් හා සැපතින් යුත් මහාප්‍රාඥයකු වන්නකුගේ උත්පත්තියට හේතු වූ යෙදීමකි.

ෂෂ්ඨාංශක:

රාශියක් හයකට බෙදූ කොටස් ෂෂ්ඨාංශක නම් වේ. ෂෂ්ඨාංශකයක ප්‍රමාණය අංශක 5කි. ඕජ රාශි ෂෂ්ඨාංශක මේෂාදි රාශ්‍යධිපතීන් සදෙනාට ද යුග්මරාශි ෂෂ්ඨාංශක තුලාදි රාශ්‍යධිපතීන්ට ද හිමි වේ. ග්‍රහයන්ගේ බලදුබලතාදිය මෙයින් විනිශ්චය කරනු ලැබේ.

ෂෂ්ට්‍යංශක:

රාශියක් හැටකට බෙදූ කොටස් ෂෂ්ට්‍යංශක නම් වේ. මෙහි ප්‍රමාණය කලා තිහකි. ඝෝරාංශකයෙන් ආරම්භව චන්ද්‍ර රේඛාංශකයෙන් අවසන් වන අංශක හැට ඕජ රාශිවල ක්‍රමයෙන් ද යුග්මරාශිවල ව්‍යුත් ක්‍රමයෙන් ද ගත යුතුයි. ශුභ ෂෂ්ට්‍යංශක ගත ග්‍රහයන්ගෙන් ශෝභනඵල ද ක්‍රෑර ෂෂ්ට්‍යංශක ගත ග්‍රහයන්ගෙන් අශුභඵල ද ගෙන දේ.

ෂෝඩශාංශක:

රාශියක් සොළසකට බෙදූ කොටස් ෂෝඩශාංශක නම් වේ. එකක ප්‍රමාණය අංශක (භාග) 1 කලා 52 විකලා 30කි. චර රාශිවල මේෂයේ පටන් ද තිර රාශිවල සිංහයේ පටන් ද උභය රාශිවල ධනුවේ පටන් ද ෂෝඩශාංශක ගිණිය යුතුයි. ෂෝඩශාංශක ද ග්‍රහ රාශ්‍යාදීන්ගේ බලදුබලතා විනිශ්චය කරන එක් ක්‍රමයකි.

සන්ධ්‍යාංශ:

කෘතාදි යුගයක් දොළසකට බෙදීමෙන් ලැබෙන කොටස් අතුරෙන් අන්ත්‍ය කොටස සන්ධ්‍යාංශ නම් වේ. සන්ධ්‍යාංශ කාලය යනු ද මීට නමකි. ඒ ඒ සන්ධ්‍යාංශ දැනගැනීම් ආදිය මෙහි ප්‍රයෝජනයි.

සප්තාංශක:

රාශියක් සතකට බෙදූ කොටස් සප්තාංශක නමින් හැඳින්වෙයි. එකක ප්‍රමාණය අංශක 30/7කි. ඕජ රාශිවල ඒ ඒ රාශ්‍යධිපතියා පටන් ද යුග්ම රාශිවල එයින් සත්වැන්නාධිපතියා පටන් ද සප්තාංශකාධිපතීන් ග්‍රහණය කටයුතුයි. සප්තාංශකයෙන් ද්‍රව්‍ය රැස් කිරීමේ ප්‍රමාණාදිය විනිශ්චය කරනු ලැබේ. ග්‍රහයන්ගේ බලාබල දැනගැනීම් ආදියට ද ප්‍රයෝජනවත් වේ.

සිංහාසනාංශක:

දශ වර්ගයෙහි දී යම් ග්‍රහයකු තමාට අයිති වර්ග පහක සිටි කල ඒ ග්‍රහයා සිංහාසනාංශක ගත වී යයි කියති. මෙය කීර්තිමත් රජකුගේ උත්පත්තියට හේතුවන යෙදීමකි.

(සංස්කරණය: 1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අංශ(ක)&oldid=4005" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි