අකරණීය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

උපසපන් පැවිද්දකු විසින් දිවිහිමියෙන් නොකටයුතු යයි වදාරන ලද කරුණු සතරය. එනම්: උපසපන් මහණක්හු විසින් යටත් පිරිසෙයින් තිරිසන් ගිය මාගමක හා ද මෙවුන්දම් නොසෙවිය යුතුය යනු එකෙක. හිමියා නුදුන් දෙය යටත් පිරිසෙයින් තණදණ්ඩකුදු සොරසිතින් නොගත යුතුය යනු එකෙක. යටත් පිරිසෙයින් සිනි කිහිඹියක පටන් දැනදැන ප්‍රාණියකු දිවි නොගැළවිය යුතුය යනු එකෙක. යටත් පිරිසෙයින් විවේකස්ථානයෙහි කරන භාවනාවට ‍තම සිත ඇලේ යැයි කියා හෝ උතුරුමිනිස්දහම් නොපැවැසිය යුතුය යනු එකෙකි. මෙවුන්දම් සෙවීම, නුදුන් දෙය සොර සිතින් ගැනීම, පරපණ නැසීම, තමා කෙරෙහි නැති උතුරු මිනිස් දහම් පැවැසීම යන මේ කරුණු නොකටයුතු හෙයින් 'අකරණීය' යයි කියනු ලැබේ.

මේ අකරණීය සතරෙන් තිරිසන් ගිය මාගමක හා වුව මෙවුන්දම් සෙවීමෙන් ද, පාදයක් හෝ පාදයක් අගනා වස්තුවක් හෝ අතිරේක පාදයක් (පාදයකට වැඩියක්) හෝ සොරකම් කිරීමෙන් ද, ගබ්හෙළීමෙහි පටන් මිනිස් සතක්හු දිවි තොර කිරීමෙන් ද, තමා කෙරෙහි නැති ධ්‍යාන විදර්ශනාදි උතුරු මිනිස් දහමක් ඇතැයි ප්‍රකාශ කිරීමෙන් ද අශ්‍රමණ වූයේ අශාක්‍යපුත්‍ර භාවයට පැමිණේ යයි වදාරන ලද්දේය. මේ සතරවැදෑරුම් අකරණීයයෝ උපසපන් නවක පැවිද්දාහට උපසම්පදාමාළකයෙහි දී ම ප්‍රකාශ කළ යුත්තාහු වෙත්.

(සංස්කරණය: 1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අකරණීය&oldid=4036" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි