අක්බාර් ඛාන් (ක්‍රි.ව.1849)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
37.jpg
ඇෆ්ඝන් (අවකන්) කුමාරයෙකි. ඇෆ්ඝනිස්ථානයේ අමීර් හෙවත් රජු වූ දොස්ත් මුහම්මද් (බ.) මොහුගේ පියාය. දොස්ත් මුහම්මද්ගේ විදේශ ප්‍රතිපත්තීන් නොරිස්සූ බ්‍රිතාන්‍යයන් විසින් ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කරන ලදින් ඔහුට රාජ්‍යය අහිමි වූයේය. බ්‍රිතාන්‍යයන් විසින් අමීර් වශයෙන් පත් කරනු ලැබූ ෂා ෂුජාට විරුද්ධව 1841 දී පැන නැඟි කැරලි කෝලාහලවල දී ප්‍රමුඛ ස්ථානයක් ගත්තේ අක්බාර් ඛාන්ය. ඔහු විසින් මෙහෙයවන ලද කැරැලි කරුවෝ බ්‍රිතාන්‍ය හමුදාවන්ට පහර දීමට සමත් වූහ. අන්තිමේ දී ඇෆ්ඝනිස්ථානයේ බ්‍රිතාන්‍ය රාජ්‍ය නියෝජිත මැක්නෝටන්ට අක්බාර් ඛාන් හා ගිවිසුමකට එළඹීමට සිදුවිය. සිය පියා වූ දොස්ත් මුහම්මද් අමීර් වශයෙන් පිළිගන්නා බවටත් බ්‍රිතාන්‍යවරුන් ඇෆ්ඝනිස්ථානය හැර යන බවටත් එම ගිවිසුමෙන් පොරොන්දු කරවා ගත් නමුදු එහි කොන්දේසි ගැන මැක්නෝටන් එතරම් සැලකිල්ලක් නොදැක්වූයෙන් අක්බාර් ඛාන් බ්‍රිතාන්‍ය නියෝජිතයා මරණයට පත් කොට පසුපසින බ්‍රිතාන්‍ය හමුදාවන්ට පහර දුන්නේය. ජලාලාබාද් අසල වූ ඉංග්‍රීසි බලඇණියට ද පහර දුන් මොහු හැව්ලොක් හා පොලොක් යන සෙනෙවියන් අතින් පරාජය ලැබුවේය. 1849 හි කාබුල්හි දී මොහුගේ මරණය සිදුවිය.

(සංස්කරණය:1963)