අක්මැල්ල

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
51.jpg
(ස්පිලන්තෙස් පනිකුලාටා - Spilanthes paniculata Wall) ලංකාව, ඉන්දියාව, ඉන්දු චීනය, පිලිප්පයින් දූපත් යනාදි රටවල වැවෙන මේ වාර්ෂික ශාකයේ කඳ සහ අතු තරමක් බූ සහිතය. කොළ සම්මුඛ (opposite) ය; බූ සහිතය. මල් හටගන්නේ කුඩා ශීර්ෂකවල (heads)ය. මංජරි වෘන්ත අඟල් 4ක් පමණ දිගය. නිපත්‍රවලය (involucre) බූ සහිතය. බොහෝ විට ශීර්ෂකවල අංශු පුෂ්පිකා (ray florets) නැත. බූ මණියක් (pappus) ද ඇත. ඵලය ආයත චර්මලයකි (achene). මේ ශාකය කොම්පොසිටෙ (බ.) කුලයට අයත්ය.

ශාකයේ ඉතාමත් කටුක කොටස පුෂ්පමංජරිය වේ.

ආයුර්වේද මතය: අක්මැල්ල මුල දත්කැක්කුමට ගුණදායකය. විදාහී ගුණයෙන් යුත් මෙහි මල් සහ කොළ වේදනාව සහිත දත්වලට තබා විකාගෙන සිටීමෙන් වේදනාව අඩුවෙයි. සෙම් ගෙඩිවලට ද මේ පැළෑටිය ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. වාත, ඉදිමුම්, සෙම්රෝග හා ව්‍රණාදියට හිතකර ‍ඖෂදයක් හැටියට ආයුර්වේදයෙහි සහ දේශීය වෛද්‍ය ශාස්ත්‍රයෙහි ද මෙය හඳුන්වා තිබේ.

ඉන්දියාවේ ඇසෑම් ප්‍රදේශවාසීන් විසින් වැදූ අලුත ස්ත්‍රීන්ගේ රෝග පීඩාවන්ට ද එරට ඇතැම් පෙදෙස්වල ළදරුවන්ගේ චර්ම රෝගයන්ට හා මත්ස්‍යයන් මත්කරවීම පිණිස ද අක්මැල්ල පාවිච්චි කරනු ලැබේ. ඉන්දුචීනවාසීහු අතීසාරයට හිත වූ ඖෂධයක් වශයෙන් ද පිලිප්පයින් දූපත්වල වැස්සෝ විරේචන ඖෂධයක් වශයෙන් හා වාත, හොරි, දද, අශ්මරි හා මූත්‍ර රෝගයන්ට ප්‍රතිකාරයක් වශයෙන් ද මැඩගස්කර්වාසීහු විරේචන ඖෂධයක් හා චර්ම, මූත්‍ර, ඡර්දි, දන්ත රෝගාදියට ප්‍රතිකාරයක් වශයෙන් ද මේ පැළෑටිය යොදති.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අක්මැල්ල&oldid=4109" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි