අක්ෂරමාලාව (සිංහල)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සිංහල අක්ෂරමාලාව පිළිබඳ අධ්‍යයනයක දී අවධානය යොමුවිය යුතු ප්‍රධාන කරුණු දෙකකි. එනම් සිංහල අක්ෂරයන්ගේ සම්භවය හා ඒවායේ විවිධ විභාග යන මේයි.


අක්ෂර සම්භවය

බ්‍රාහ්මී මූලය: සිංහලයෙහි අක්ෂරමාලාව කවර කලෙක ඇති වී දැයි නිශ්චය වශයෙන් ප්‍රකාශ කිරීමට තරම් සාධක තව ම ලැබී නැත. එහෙත් ක්‍රිස්තු පූර්ව තුන්වන ශතවර්ෂය තෙක් ඈත ඉතිහාසයක් ඇති ලංකාවේ සෙල්ලිපි සඳහා මූලික වශයෙන් භාවිත වූයේ බ්‍රාහ්මී අකුරු බව අවිවාදයෙන් පිළිගෙන තිබේ. ජේම්ස් ප්‍රින්සෙප් විසින් දහනව වන ශතකයේ මුල් භාගයේ දී ඉන්දියාවේ අශෝක ලිපිවල දක්නට ලැබුණ අක්ෂර කියවා ප්‍රකාශ කිරීම අක්ෂර විද්‍යාවේ ඉතාමත් සැලකිය යුතු සිද්ධියකි. ලංකාවේ සෙල්ලිපි කියවීමට ද එය අතිශයින් උපකාරී විය.

බ්‍රාහ්මී අක්ෂර ලංකාවට සංක්‍රමණය වීම: ක්‍රිස්තු පූර්ව තුන්වැනි ශතවර්ෂයේ දී පමණ භාරත දේශයේ බහුලව ප්‍රචලිත වූ බ්‍රාහ්මී අක්ෂර ක්‍රමය ලංකාවට ‍ඇබ්බැහි වීමේ කතාව අනුමානයෙන් තොර නොවේ. ක්‍රිස්තු පූර්ව තුන්වන ශතවර්ෂයේ දී මහින්දාගමනයත් සමඟ ම වාගේ බ්‍රාහ්මී අක්ෂර ක්‍රමය ලංකාවට පුරුදු වූ බව සාමාන්‍ය පිළිගැනීමයි. දැනට සොයාගෙන ඇති බ්‍රාහ්මී සෙල්ලිපි අතරින් පැරණිතම ශිලාලිපිය ලෙස සැලකිය හැක්කේ මිහින්තලේ ලෙනක දක්නා "ගමණි උති මහරජ" යන වැකිය සඳහන් ලිපියයි. මෙහි "ගමණි උති" යනු දේවානම්පියතිස්ස (ක්‍රි.පූ.250-210) රජු‍ගේ ඇවෑමෙන් රජකමට පැමිණි ඔහු සහෝදර උත්තිය බව හඳුනාගැනීමට අපහසුවක් නැත. මීට පෙර යුගයේ දී පවා ලිවීමේ ක්‍රමයක් තිබුණ බවට තුඩු දෙන සාක්ෂ්‍ය අපේ පතපොතෙහි විරල නොවේ. ක්‍රි.පූ.පස්වන ශතවර්ෂයේ දී පමණ පැවති ලේඛන ක්‍රමයක් ගැන මහාවංශයෙහි සඳහන් වේ. විජය කුමරු දකුණු මධුරාපුරයේ පණ්ඩු රජු වෙත යැවූ ලිපියක් ගැන ද සිය සොහොයුරු සුමිත්ත කුමරු වෙත ලංකා රාජ්‍යය පවරා යැවූ ලිපියක් ගැන ද එහි ම සඳහන් වෙයි. අභය රජු විසින් පණ්ඩුකාභය කුමරාට මහවැලි ග‍ඟෙන් එතෙරට නොඑන ලෙස දන්වා යැවූ ලිපියක් ගැන ද සාක්ෂ්‍ය මහාවංශයෙන් ලැබෙයි. පණ්ඩුකාභය කුමරු පණ්ඩුල නම් බ්‍රාහ්මණ‍යකු වෙතින් ශිල්ප උගත් බව ද එහි ම සඳහන් වෙයි. ක්‍රි.ව.පස්වන සියවසෙහි දී පමණ මහාවංශය රචනා කිරීමේ දී ඊට පූර්වකාලීන සිද්ධීන් පිළිබඳ විස්තර මුඛපරම්පරාගත කථා මගින් මෙන් ම අට්ඨකථා මහාවංශයෙන් ද ඊට මූලාශ්‍රය භූත වූ ලේඛනාදියෙන් ද ලබාගන්නට ඇත. එහෙත් මහින්දාගමනයට පෙර ලංකාවේ පැවති ලිවීමේ ක්‍රමය කෙබඳු වී දැයි ඉඳුරා කිව නොහැකියි. උත්තිය කාලීන සෙල්ලිපිය ‍උපයෝගී කොටගෙන ලංකාවේ බ්‍රාහ්මී අක්ෂරයන්ගේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව තුන්වන ශතවර්ෂය තෙක් දික්කර ගැනීමට හැකි වී තිබේ.

ලංකාවේ මුල් ම යුගයට අයත් යයි සැලකිය හැකි සෙල්ලිපිවල අක්ෂර හා ඉන්දියාවේ අශෝක ලිපිවල අක්ෂර හා අතර විශාල සාමන්‍යයක් පෙනේ. එහෙත් ඇතැම් අක්ෂර අතර වෙනස්කමක් දක්නට ලැබේ. සිරස් රේඛාවක හරි මැද දෙපැත්තේ තිත් දෙකකින් යුක්තව ලියැවුණ ....... (ඉ) අක්ෂරය හා සිරස් අතු හරස් රේඛාවකින් බැ‍ඳෙන සේ ලියැවුණ ඉංග්‍රීසි U අකුරක හැඩයෙන් යුක්ත ....... (ම) අකුර ද මේ විසද්‍යශභාවය හුවා දක්වයි. උතුරු ඉන්දියානු සමකාලීන සෙල්ලිපිවල මෙබඳු අක්ෂට සටහන් දක්නට නොලැබේ. මේ මාදිලියේ "ඉ" අක්ෂරයේ සංකේතය උතුරු ඉන්දියාවේ මුලින් ම සඳහන් වන්නේ ක්‍රි.ව. දෙවන ශතවර්ෂයේ දී පමණය. මේ නයින් සිතාගත හැක්කේ උතුරු ඉන්දියානු සම්ප්‍රදායයෙන් වෙනස් වූ වෙන ම ගුරු පරම්පරාවකට මේ අකුරු අයිති බවකි. මේ බව සනාථ කිරීමට දකුණු ඉන්දියානු සමකාලීන ලිපිවලින් මහත් පිටිවහලක් ලැබේ. ත්‍රිචිනාපොලි, මධුරාපුර හා තින්නවෙලි ආශ්‍රිත පාණ්ඩ්‍ය දේශයේ ලෙන් ලිපි ලංකාවේ එම යුගයට අයත් මිහින්තලේ, වෙස්සගිරි ආදී තැන්වල දක්නට ලැබෙන ලිපිවලට හාත්පසින් ම සමානය. ඒ සෙල්ලිපි ඉතා ලුහුඬු හෙයින්, සම්පූර්ණ අක්ෂර මාලාවක් දක්නට නොලැබුණත් උ, එ, ක, ත, ප, ය, ර යන අක්ෂර රූප දෙරටට ම පොදුය. මෙහි දී "ඉ", "ම" යන අකුරු දෙකෙහි කැපී පෙනෙන සාම්‍යය විශේෂයෙන් සැලකිය යුත්තකි. දකුණු ඉන්දියාවේ අරිකමේඩු ප්‍රදේශයෙන් ලැබුණ මැටි බඳුන්වල කොටා තිබෙන ලිපිවල අක්ෂර ද ලංකාවේ බ්‍රාහ්මී අක්ෂඍ හා සමානකමක් දක්වයි. ක්‍රි.ව.පළමුවැනි දෙවැනි ශතවර්ෂයන්ට අයත් සේ සැලකෙන මේ ලිපිවල ද "ඉ", "ම" ලංකාවේ ඒ අකුරු හා ඉඳුරා සම වෙයි. මේ අනුව දකුණු ඉන්දියාවේ ප්‍රදේශ දෙකක හා ලංකාවේ ද ඒ අක්ෂර දෙක එකාකාර වේ. එයින් ඒත්තු ගත හැක්කේ කලින් කී පරිදි උතුරු ඉන්දියානු සම්ප්‍රදායයෙන් කැඩී ගිය අමුතු ලිපිකාර පරම්පරාවක ආභාසය සමහර විට අශෝක යුගයට පෙර පටන් ම ලංකාව ඇතුළු දකුණු ඉන්දියානු ප්‍රදේශවල පැතිර ගිය බවකි. අශෝක රජුගේ සමයට පෙර භාරත දේශයෙන් මෙහි පැමිණයවුන් මගින් බ්‍රාහ්මී අක්ෂර ක්‍රමය ලංකාවට ලැබිණැයි බියුලර් අනුමාන කරයි.

බ්‍රාහ්මී අක්ෂරයන්ගේ දේශීය සංවර්ධනය: බ්‍රාහ්මී අක්ෂර මාලාව ලංකාවට ලැබුණේ කවදාද කෙසේද යනු තීරණය කරගැනීම අසීරු කරුණක් වුවත් මහින්දාගමනයෙන් පසු එහි විශාල සංවර්ධනයක් ඇති වූ බව නම් නිසැකයි. ගි්නාර්, සිද්ධපූර් හා බ්‍රාහ්මණ ගිරි වැනි ස්ථානවලින් ලැබෙන අශෝක ලිපිවල ස්වරූපය අපේ සෙල්ලිපිවල ද දක්නට ලැබේ. එපණකුදුත් නොව උතුරු හා නැගෙනහිර ඉන්දියා ප්‍රාන්තවලින්, එනම් දිල්ලි, ජෞගඩ හා රුම්මින්දෙයි යන තැන්වලින්, ලැබුණු ලිපිවල අක්ෂර ලක්ෂණ ද අපේ ලිපිවල දක්නට ලැබේ.
54.jpg
55.jpg
56.jpg
57.jpg
අපේ අක්ෂර කෙරෙහි නැගෙනහිර හා බටහිර ඉන්දියානු බලපෑම ඉඳුරා පිළිගත හැක්කේ ඒ දෙපැත්තෙන් ම ලංකාවට පැමිණීමට සුප්‍රසිද්ධ මුහුදු මාර්ග තිබුණු බැවිනි. අපේ ඇතැම් පැරණිතම සෙල්ලිපිවල සමහර අකුරු එක ම පෙළේ වුව ද දෙයාකාරයකට යෙදී ඇත්තේ මේ නිසා යයි සිතිය හැක. ඉන්දියාවේ ප්‍රාදේශීය ලිපිකාර පරම්පරාවල ශෛලීන් මිශ්‍ර වීමෙන් සෑදුණු දියුණු අක්ෂර මාලාවක් මහින්දාගමනයත් සමඟ ම වාගේ අපට ලැබිණැයි කීම සාධාරණය. කිසිදු බ්‍රාහ්මී අක්ෂර ක්‍රමයක් ලංකාවේ ඉන් පෙර නොතිබිණැයි ඉන් අදහස් නොකෙරේ.

මුල් යුගයේ අක්ෂරමාලාවේ දක්නට ලැබුණේ පහත සඳහන් අකුරු පමණි:

අ ඉ උ එ ඔ

ක ඛ ග ඝ, ච ඡ ජ, ට ඨ ඩ ඪ ණ

ත ථ ද ධ න, ප ඵ බ භ ම, ය ර ල ව

ශ ස හ ළ

මේ අක්ෂරමාලාවෙහි එන මහාප්‍රාණ අකුරු භාවිත වූයේ ඉතා විරල වශයෙනි. මේ හැර " " යන සංකේතයෙන් "ද්ධ" යන යුක්තාක්ෂරය ද ලියා තිබේ. අකුරක් යටින් තව අකුරක් බැඳීම ද අශෝකාක්ෂරවල ලක්ෂණයකි. හරුම (ශර්ම), ශිවදත (ශිවදත්ත), ශොණුතර (ශෝණුත්තර) වැනි සංස්කෘත ඡායාව වැටුණු වචන ද බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියා තිබීම සංස්කෘතයේ ආභාසය ‍ඔප්පු කරන සුලු සාධකයකි.

අක්ෂර සංවර්ධනයේ විවිධ අවස්ථා: ලංකාවේ බ්‍රාහ්මී අක්ෂර භාවිතයේ උපරිම කාල සීමාව ක්‍රිස්තු පූර්ව තුන්වන ශතවර්ෂය ලෙස ගණන් ගන්නා අතර අධඃසීමාව ක්‍රි.ව.හත්වැනි ශතකය ලෙස සැලකිය හැක. ක්‍රි.ව. අටවන නවවන ශතවර්ෂයන්හි භාවිත වූ අකුරු මූලික වශයෙන් බ්‍රාහ්මී ලක්ෂණවලින් යුක්ත වුවත් විශාල පෙරළියකට මුහුණ දීමෙන් අමුතු ම මගක් ගෙන තිබේ. අටවන ශතවර්ෂයේ පටන් පසළොස්වන ශතවර්ෂය තෙක් වූ කාලය වර්තමාන සිංහල අක්ෂර රූප විකාශනයට ‍ගතවූ කාලයයි. ඒ යුගය පශ්චාත් බ්‍රාහ්මී යුගය ලෙස සැලකේ.

පූර්ව බ්‍රාහ්මී යුගය: ක්‍රි.පූ.තුන්වන ශතවර්ෂයේ පටන් ක්‍රි.පූ.පළමුවන ශතවර්ෂයේ පූර්ව භාගය තෙක් පූර්වබ්‍රාහ්මී යුගය ලෙස ද එතැන් පටන් ක්‍රි.ව.හත්වැනි ශතවර්ෂය තෙක් අපරබ්‍රාහ්මී යුගය ලෙස ද බෙදා දැක්වීමට තරම් අකුරුවල විශේෂ ලක්ෂණ විද්‍යමාන වේ.

පූර්ව බ්‍රාහ්මී යුගයේ ලක්ෂණ මෙසේ හඳුනා ගැනීමට පුළුවන් වේ. ගල්ලෙන්වල කටාරම් රේඛාවට යටින් කොටා තිබෙන වාක්‍ය ඉතා කෙටිය. අකුරු කෙටීමට ඇත්තේ රළු බෑවුම් සහිත මතුපිටක් නිසා මේ අකුරු අශෝක සෙල්ලිපිවල දක්නට ලැනබන මනස්කාන්ත ප්‍රසන්න ගතියෙන් හීන වේ. කේවල දීර්ඝස්වර හෝ ව්‍යඤ්ජනාශ්‍රිත දීර්ඝස්වර හෝ දක්නට නොලැබේ. සංයුක්තාක්ෂර හා මහාප්‍රාණාක්ෂර විරලය. අ, ත, ම, ය, ර වැනි අක්ෂර විවිධ හැඩයෙන් යෙදී තිබේ. ඇතැම් ලිපි දකුණේ සිට වමට ද ලියැවී තිබේ. ඒවායේ ඇති ඇතැම් අකුරු පවා උඩ යට මාරුකොට කොටා තිබේ. මේ ලක්ෂණය පාණ්ඩ්‍ය රටෙහි ද දක්නට ලැබීම සැලකිය යුත්තකි. මේ යුගයේ විද්‍යමාන අකුරු එකිනෙක ගෙන සසඳා බැලීමේ දී ඒවා ලංකාවට ආවේණික වූ අක්ෂර, අශෝක අධිරාජ්‍යයේ බටහිර හා දකුණු ප්‍රදේශවල දක්නා අක්ෂර හා මධ්‍යම සහ නැගෙනහිර ඉන්දියානු ප්‍රදේශවල දක්නා අක්ෂර යයි අක්ෂර ගණත්‍රයක ලා ගිණිය හැකි බැව් පෙනේ. එයින් අපට අනුමාන කරන්නට හැකි වී තිබෙන්නේ එකල සම්මිශ්‍රිත බ්‍රාහ්මී හෝඩියක් ලංකාවේ භාවිත වූ බවකි. අශෝක ලිපිගත ඇතැම් අක්ෂර සඳහා ප්‍රාදේශීය රූප දෙකක් විද්‍යමාන වූ කල්හි ලංකාව වඩා ප්‍රියතාවක් දක්වා ඇත්තේ බටහිර හෝ දකුණු ඉන්දියානු රූපයන්ටය.

අපරබ්‍රාහ්මී යුගය: ක්‍රි.පූ.පළමුවැනි ශතවර්ෂයේ දෙවන භාගයෙන් පටන් ගෙන ක්‍රි.ව.පස්වැනි ශතවර්ෂය දක්වා පැවැතිණ. ඊළඟ ශතවර්ෂ දෙක බ්‍රාහ්මී ක්‍රමයෙන් සිංහල අකුරු ක්‍රමයට හැරී යන අන්තර් යුගයක් ලෙස සැලකීම සුදුසුය. මහාචූළි මහාතිස්සගේ රාජ්‍ය කාලයේ අවසන පටන් කාශ්‍යප I රාජ්‍ය කාලය තෙක් යුගය අපරබ්‍රාහ්මී යුගය ලෙස සාමාන්‍යයෙන් සැලකිය හැක.

අකුරුවල සිරස් රේඛා මුදුනේ ඉහක් වැනි කෙටි හරස් ඉරක් ඇතිවීම, සිරස් රේඛාවල පහළ කොටස දීර්ඝ වී වමට නැමී යාම, "ල" යන්නේ දකුණු සිරස් රේඛාව ඉහළට දික් වී මුල දී දකුණටත් පසුව වමටත් නැමී යාම "ඩ", "ළ" අක්ෂරවල පහළ කොටස් දකුණට විවෘතව වක් වී යාම, "ව" හා "ම" අකුරුවල වට කොටස් ත්‍රිකෝණාකාර හැඩයක් ගැනීම, ඇතැම් අකුරුවල අසමාන සිරස් රේඛා සම උසින් යුක්තවීම සහ කෝණාකාර අකුරු වට ස්වභාවයක් ගැනීම යන මේවා අපර බ්‍රාහ්මී යුගය හඳුනාගත හැකි ලකුණු වේ. මේ ලක්ෂණයන්ගෙන් තොර වූ අකුරු ඇති සෙල්ලිපි ද සංවර්ධිත වූ හා නොවූ අක්ෂර මිශ්‍රිත ලිපි ද අපර යුගයට අයිතිව තිබේ. ඒ නිසා සමහරවිට අක්ෂරවල හැඩය පමණක් ම සලකා කාල නිර්ණය කිරීම අවදානම් සහිතය. ගුරු පරම්පරා අනුව ද අක්ෂරවල හැඩය වෙනස් විය හැක. බුද්ධදාස රජුගේ (ක්‍රි.ව.337-365) රාජ්‍ය කාලයේ දී ලියැවුණු සේ සැලකිය හැකි රුවන්වැලි ටැම් ලිපියෙහි ද මහානාම (ක්‍රි.ව.406-428) කාලයට අයිති වේරගොඩ සෙල්ලිපියෙහි ද අකුරු මල්ලියකම් වැනි අලංකාරයන්ගෙන් යුක්තවීම විශේෂයෙන් සැලකිය යුත්තකි.

සිරස් රේඛාව මත අකුරු ඉහක් ඇතිවීමට කලින් ඉන්දියාවේ ඇතැම් අකුරුවල සිරස් රේඛාවල උඩු යටි කොන් පළල් වන්නට විය. මේ ලක්ෂණය ලංකාවට හුරු පුරුදු වූ බවක් නොපෙනේ. එහෙත් කුඩා පාරින්දගේ ලිපියේ ඇතැම් අක්ෂරවල සිරස් රේඛා උඩ කොටස පමණක් පළල් හා ගැඹුරු වීමේ ලක්ෂණ දක්නා ලැබේ.

මුල් බ්‍රාහ්මී යුගයේ අක්ෂර පරිණාමය කෙරෙහි ඇති වූ විවිධ බලපෑම්: ක්‍රිස්තු පූර්ව පළමුවැනි ශතකයේ අග භාගයේ දී පමණ ඇති වූ මේ වෙනස්කම්වලට තුඩු දුන් ඓතිහාසික කරුණු රාශියක් ඇති බව කිව යුතු ය. මහින්දාගමනය නිසා ඉන්දියාව හා ලංකාව අතර ඇති වූ සංස්කෘතික සම්බන්ධකම් ඉනික්බිති ශතවර්ෂයන් තුළ දී වඩ වඩා තර වන්නට විය. දුට්ඨගාමිණී රාජ්‍ය කාලය තුළ පවා මේ සම්බන්ධකම් දියුණුව පැවැති බවට මහාවංසය දෙස් දෙයි. වට්ටගාමිණී අභය කාලයේ දී තීය නම් බ්‍රාහ්මණයාගේ පෙරළිය හා ඒ සමඟ ම ඇති වූ දුර්භික්ෂ (බැමිණිතියා සාය) නිසා බොහෝ භික්ෂූන් දකුණු ඉන්දියාවට පැන ගොස් එහි කලක් වාසය කළ බව වාර්තා වී ඇත. දකුණු ඉන්දියානු භික්ෂුණීන් වට්ටගාමිණී අභය ගේ ආරාධනය පරිදි අනුරාධපුරයට වැඩම කළ බව සැලයි. ආන්ධ්‍රදේශය හා ලංකාව අතර විශේෂයෙන් වාණිජ ගමන් බිමන් නිසා ඇති වූ සම්බන්ධතා තිබුණු බවට සාක්ෂ්‍ය එමට ඇත. සිද්ධම් යන මංගල වචනයෙන් සෙල්ලිපි පටන් ගැනීමේ පුරුද්ද ආන්ධ්‍ර දේශයෙන් අපට ලැබුණු බව කිවහැක. නිකායභේදය හා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම මේ කාලයේ දී ම වාගේ ලංකාවේ සිදුවූ වැදගත් සිද්ධි දෙකකි. මහායානික අදහස් ලංකාවේ බලපවත්වන්නට වීමත් දකුණු ඉන්දියාවේ මහායානික මධ්‍යස්ථානයක් වූ නාගාර්ජුනකොණ්ඩය හා සම්බන්ධකම් ඇතිවීමත් දෙවැනි තෙවැනි ශතවර්ෂයන්ට අයත් අක්ෂරයන්ගේ හැඩය කෙ‍රෙහි සැලකිය යුතු බලපෑම් ඇතිවීමට හේතු වන්නට ඇත. ජේතවනාරාමයෙන් ලැබුණු සෙල්ලිපි ඛණ්ඩයේ අක්ෂරයන්හි නාගාර්ජුනකොණ්ඩයේ සෙල්ලිපිවල අක්ෂරයන්ට හුරුකමක් පෙනේ. විශේෂයෙන් එහි දක්නා ලැබෙන ඉ" සංකේතය සැලකිය යුතු ලක්ෂණයකි.

පශ්චාත් බ්‍රාහ්මී යුගය හා විවිධ බලපෑම්: බ්‍රාහ්මී අක්ෂරයන්ගේ ක්‍රම විකාසයෙන් සිංහල ලෙස හඳුන්වා දිය හැකි අකුරු හැඩ ගැසෙන්නට වූ අවදියේ ආරම්භය ක්‍රිස්තු වර්ෂයෙන් අටවන ශතකය පමණේ දී බව පැහැදිලි වේ. මේ ලක්ෂණවල ආරම්භක සලකුණු නිලගම හා "බරෝස් පැවිලියන්" යන සෙල්ලිපිවල හොඳින් දක්නා ලැබේ. වටකුරු ස්වභාවය මේ යුගයේ අකුරුවල පෙනෙන ප්‍රධාන පොදු ලක්ෂණයයි.සෙනරත් පරණවිතාන මහතා නාගිරිකන්ද සෙල්ලිපිය විවරණය කරද්දී අකුරුවල වට ස්වභාවයට හේතුවක් ලෙස ගෙන හැර පාන්නේ ලිවීමට පාවිච්චි කළ ද්‍රව්‍යවල ස්වභාවයයි. ලිවීමේ ද්‍රව්‍යයක් වශයෙන් තල්පත මේ යුගයේ දී භාවිතයට එන්නට ඇති බවත් එහි නිර්මාණය අනුව හරස් රේඛා ලිවීම අපහසු බැවින් රේඛාවට වී යන්නට ඇති බවත් ඔහු අනුමාන කරයි. එහෙත් තල්කොළ භාවිතය එතරම් ඈත යුගයක පටන් ගත් බව ඔප්පු කිරීම අපහසුය. තවද පී.ඊ.ඊ.ප්‍රනාන්දු මහතා ඒ මතය අනුමත නොකරන්නේ හරස් රේඛා සහිත අකුරු සැලකිය යුතු ප්‍රමාණයක් ඉන් පසුව වුව ද භාවිත වූ බව පෙන්වමිනි. හරස් රේඛා බහුල ද්‍රවිඩ හා නාගරී අක්ෂර ලිවීම සඳහා ද තල්පත පාවිච්චි කළ බව මෙහි ලා පිළිගත යුත්තකි. එසේ නම් අකුරු වට ස්වභාවයක් ගැනීමට තවත් හේතු තිබිය යුතුය. ඉන්දියානු අක්ෂරවල සාමාන්‍යයෙන් දක්නා වට බවක් මේ කාලයේ දී දක්නට ලැබුණේ ලිවීමේ පහසුව හා වේගය සලකාගෙන දැයි විමසිය යුතුය. මේ අවධිය තුළ දී ලංකාවෙහි සාහිත්‍යයික වැඩ කටයුතු බහුලව පැවති බව ඉතිහාසයෙන් පෙනේ. අඩු මහන්සියකින් හා වැඩි වේගයකින් අකුරු ලිවීමේ අවශ්‍යතාවත් අමුතු අදහස් සංක්‍රමණය වීම නිසා පොහොසත් අක්ෂරමාලාවක අවශ්‍යතාවත් එකල බෙහෙවින් දැනෙන්නට ඇත. ක්‍රි.ව.සවන ශතවර්ෂයේ පටන් ලංකාවත් දකුණු ඉන්දියාවේ පල්ලව රාජ්‍යයත් අතර ළඟ සම්බන්ධකම් පැවතියේය. සිංහ විෂ්ණු පල්ලව රජ එවක සිංහල රජු පැරදවූ බවත් මානවම්ම රජු දකුණු ඉන්දියාවට පලාගොස් පළමුවැනි නරසිංහ වර්මන් පල්ලව රජුගේ සේවයට බැඳුණු බවත් ප්‍රකටය. මූර්ති හා ගෘහ නිර්මාණ ශිල්ප අතින් පල්ලවයෝ ලංකාවේ සලකුණු තබා ගියහ. පල්ලවයන්ගේ අකුරු ක්‍රමය ලංකාවේ හුදෙක් පාවිච්චි වූ බවට තිරියායේ හා මිහින්තලේ සෙල්ලිපි දෙකක් දෙස් දෙයි. පල්ලව ග්‍රන්ථාක්ෂර ක්‍රමය සිංහලයන් බොහෝ දුර අනුගමනය කරන්නට ඇතුවාට කිසිම සැකයක් නැත. මහායාන මත ගරු කළ අභයගිරිවාසීන් සිය අලුත් මත මෙන් ම අලුතෙන් ලැබුණ අකුරු ද මහත් අභිරුචියකින් ව්‍යවහාර කරන්නට ඇත. එහෙත් ව්‍යවහාරයේ පැවති අතැම් බ්‍රාහ්මී අක්ෂර මඳක් වෙනස් කිරීමෙන් ද, ඒතාක් පැවති ඇතැම් අකුරු වෙනුවටත් අමුතු ශබ්දයන් සඳහාත් අක්ෂර රූප අමුතුවෙන් එකතුකර ගැනීමෙන් දැයි යන ද්විප්‍රකාරයෙන් ම පල්ලව ග්‍රන්ථයන්ගේ ආභාසය මෙහි පැවැත්තේය. අ, උ, ක, ග, ච, ජ, ඩ, ණ, ය, ර, ල, ව, හ, ළ යන අකුරුවල රූප මඳ වශයෙන් වෙනස් කොට තිබීමෙනුත් ඉ, ඔ, ඛ, ඝ, ඡ, න, ථ, ඵ, භ, ළ, ශ යන රූප අමුතුවෙන් ම සපයා දී තිබීමෙනුත් ඒ බව ඔප්පු වේ. මහායානිකයන් බලවත්වීම නිසා සංස්කෘත භාෂාව නැඟී එත් ම ලිපිකරුවන් කෙළේ ඒ භාෂාවේ ඇතැම් ශබ්දයන් හා සංයුක්තාක්ෂරයන් සඳහා පොහොසත් පල්ලව ග්‍රන්ථ හෝඩියෙන් රූප ණයට ගැනීමයි. අටවැනි හා නවවැනි ශතවර්ෂයන්ට අයිති ඉඳිකටුසෑයේ තඹ පත් ලිපි එකී පරිදි රූප ණයට ගත් සැටි මොනවට පෙන්වා දෙයි. ව්‍යඤ්ජනාශ්‍රිත ස්වර අඟවන සංකේත ද බොහේ දුරට වෙනස් වී ගියේ පල්ලව ග්‍රන්ථ ආශ්‍රයෙනි. අටවැනි ශතවර්ෂයේ දී පමණ සිංහල අක්ෂර මාලාවට එක් වූ වැදගත් අංගයක් නම් ව්‍යඤ්ජනාශ්‍රිත "ඇ" ස්වරය අඟවන සංකේතයයි. ගැරඬිගල හා තම්මැන්නා ගොඩ විහාර සෙල්ලිපි මේ රූපය මුලින් ම සඳහන් දෙතැනකි. සීගිරි කැටපත් පවුරේ ගීවල මේ සංකේතය බහුලව දක්නා ලැබේ. මේ යුගයේ සිට දක්නට ලැබෙන අර්ධ අනුනාසිකාක්ෂරය ද ස්වදේශීය ලක්ෂණයකි. යුක්තාක්ෂරයක පූර්ව "ර්" වෙනුවෙන් රේඵය ද අපර "ර්" වෙනුවෙන් රකාරාංශය ද පොළොන්නරු යුගයේ අපර භාගයේ දී පමණ පුරුදු වී යයි නිගමනය කළ හැක.

කර්තෘ:අබය ආර්යසිංහ

ශුද්ධ සිංහල හා මිශ්‍ර සිංහල: ජෛන, බෞද්ධ, හින්දු යන ලබ්ධිකයන්ගේ විවිධ ඉගැන්වීම් මිශ්‍ර වීම නිසා පොහොසත් වූ දකුණු ඉන්දියානු ද්‍රවිඩ භාෂාවන් වන දෙමළ, තෙලිඟු ආදියට සංස්කෘත ව්‍යාකරණය අනුව නිපැයුණු ව්‍යාකරණ ග්‍රන්ථ ඇති විය. සිංහලයන් ඒ සමඟ ම වෙනස් වූ හෙයින් ද ඊට ද ව්‍යාකරණ ග්‍රන්ථ අවශ්‍ය විය. 13 සියවසෙහි දී ලියන ලද සිදත්සඟරාව ඉන් එකකි. ගලායන දිය පාරක් මෙන් වැඩුණු මිශ්‍ර සිංහලෙන් එකල වෙන්ව තුබූ එළු බස බේරා ගැනීමට ගත් තැතක් වශයෙන් හැඳින්විය හැකි එහි "සියබස් වහරට යුහූ" යැයි අකුරු සමූහයක් දක්වා ඇත. එනම්,

අ, ආ, ඉ, ඊ, උ, ඌ, එ, ඒ, ඔ, ඕ යන ස්වර දසයත්,

ක, ග, ජ, ට, ඩ, ණ, ත, ද, න, ප, බ, ම, ය, ර, ල, ව, ස, හ, ළ, අං යන ව්‍යඤ්ජන විස්සත්ය. මෙසේ පණකුරු ගතකුරු යයි නම් කොට දැක්වූ ස්වර ව්‍යඤ්ජන තිසකින් යුත් අකුරු පෙළ සියබස් වහරට නිසි වූ සේ දැක්වූ හෙයින් මෙහි "සියබස"යි ද අන් තැනෙක "එළු"යි ද හඳුන්වන ලදුයේ සිංහලයෙහි පද්‍ය රචනාව සඳහා සම්මත වූ (මෙකල ශුද්ධ සිංහල) භාෂාව බව පෙනේ. සිදත් සඟරාව රචනා කිරීමට පෙර ද සියබස් වහරට සම්මත වූ අකුරු පෙළක් තුබූ බව කිවහැක්කේ සිදත්කරුවන් යුක්ති දක්වා ගුරුපස හා බිඳු වන ද එකතු කළ බැවිනි. අටවැනි විසිවසිනුදු පෙර හෙළ වහරට බැසගත් "ඇ" වර්ණය සිදත් අකුරු පෙළට නොගත් නමුදු එයින් මඳ කලකින් පසුව ලියැවුණු කිවිලකුණු මිණිමල්හි "අ ආ ඇ ඈ බරකුර යුවළ යුවළින් සන් ඇම" යනාදීන් ඇ ඈ දෙක ද පණකුරු පෙළට එක් කොට ගත් බව පෙනේ.

සත්වයාට මෙන් අකුරටත් ආත්මයක් හෙවත් ජීවයක් හා රූපයක් ඇතැයි ඇදහූ ජෛන මතයෙහි එල්බ ගත් දෙමළ වියරණකරුවන් අනුව ගිය සිදත් සඟරාකරු සිය ග්‍රන්ථයෙහි සඳහන් අකුරු සියල්ල පණකුරු ගතකුරු නමින් හැඳින්වූ බව පෙනේ. සිදත්සඟරාවෙහි සියබස සඳහා දක්වන ලද හෝඩිය එකල බොහෝ සෙයින්දියුණුව තිබූ මිශ්‍ර සිංහලය ලිවීමට ප්‍රමාණවත් නොවූ බව නොකිවමනායි. දහවන සියවස පමණ වන විට මිශ්‍ර සිංහලය ලිවීමට ප්‍රමාණවත් අක්ෂර මාලාවක් මෙහි ඇති වූ බව ශිලාලේඛනවලින් මෙන් ම පොතපතින් ද පෙනේ. මහනුවර රාජධානි සම‍යට අයත් යයි කිවහැකි වදන්කවි පොතෙහි ද සිංහල අක්ෂරමාලාව දැක්වේ:-

අ ආ ඉ ඊ උ ඌ ඍ ඎ ඏ (ඐ එ ඓ ඔ ඖ අං අඃ (16)

ක ඛ ග ඝ ඞ ච ඡ ජ ඣ ඤ

ට ඨ ඩ ඪ ණ ත ථ ද ධ න

ප ඵ බ භ ම ය ර ල ව

ශ ෂ ස හ ළ (34)

ඇ, ඈ, ඒ, ඕ ස්වර සතර මෙහි ඇතුළත් වී නැත.

වර්ණමාලායෙහි ස්වර සොළසක් හා ව්‍යඤ්ජන සූතිසක් හා ඇත. අං, අඃ යන අනුස්වාර - විසර්ජනීය දෙක ද ස්වර ගණයෙහි ලා සලකන ලදි. ස්වරය "සොරකුරු"යි ද, ව්‍යඤ්ජනය "හසකුරු"යි ද නම් විය. ව්‍යඤ්ජනයන්ට පාණිනීන්ගේ ප්‍රසිද්ධ හල්සංඥාව නොගෙන අනුභූතිස්වරූපාචාර්‍ය්‍යයන්ගේ (සාරස්වත) හස සංඥාව ගැනීම නිසා මේ වර්ණ මාලාව සකස්වන අවදියෙහි සාරස්වත ව්‍යාකරණය මෙරට හදාරන ලද බව සිතිය යුතුය.

යළි මේ අක්ෂර පනස දොළොස් අකුරක සංග්‍රහ කොට ඇත. එහි ස්වර දහසය එක් (1) අකුරෙකි, වර්ගපස අකුරු පසෙකි (5), යරලව යන සතර අකුරු සතරෙකි (4), "ශ ෂ ස හ" එක (1) අකුරෙකි. "ළ" කාරය එකෙකි (1). මේ අක්ෂර විභාගය අතීතයෙහි උතුරු දඹදිව පැවති "බා රා ක ඩි" හෙවත් ද්වාදශාක්ෂර ක්‍රමයේ ශේෂයකැයි සලකති.

මේ ස්වර-ව්‍යඤ්ජන උගුර, තල්ල, මුදුන, දත්, තොල්, නැහැය යන ස්ථානයන්හි උපදනේය. අවර්ණ කාවර්‍ගාදි අකුරු කණ්ඨාදි එක් එක් ස්ථානයකින් උපදනා අතර එ, ඔ, ව යන අකුරු දෙතැනකින් උපදනේය. වර්ගයන්හි පස්වැනි අකුර හා යරලව යන අන්තස්ථයන් හා බැඳුණු හ කාරය උරඃස්ථානයෙහි උපදනේය. ඔවුන් හා නොබැඳුණේ කණ්ඨජයි. තාලුජ (තල්ලෙහි උපදනා) අක්ෂරයනට දිව මැද ද, මුදුනෙහි උපදනාවුන්ට දිව අග ළඟ ද, දන්තජයනට දිව අග ද, කරණ වෙයි. සෙස්සනට ඒ ඒ අකුරු උපදනා තැන් ම කරණ වේ.

දීර්ඝස්වරය ද, සංයෝග වූ ව්‍යඤ්ජනයකට හෝ අනුස්වාර විසර්ගයන්ට හෝ මුලින් සිටි හ්‍රස්වය ගුරු නම් වෙයි. එය වක්‍ර රේඛාවකින් "...." හඳුන්වනු ලැබේ. හුදෙකලාව සිටි හ්‍රස්වස්වරය ලඝු නමි. එය ඍජුරේඛාවකින් "_" හැඳින්වේ. උච්චාරණකාල සංඛ්‍යාත ඒකමාත්‍රාවක් ඇති ස්වරය හ්‍රස්ව නමි; මාත්‍රා දෙකක් ඇත්තේ දීර්ඝයැ, ගීතාදියෙහි මාත්‍රා තුනක් ඇති ස්වරය ප්ලුතයි. ව්‍යඤ්ජනයට ඇත්තේ අර්ධමාත්‍රායෙකි.

වර්ග පසෙහි පළමුවන දෙවන අකුරු හා ශෂස යන අකුරු ‍අඝෝෂ ද සෙසු අකුරු ඝෝෂ ද වෙයි. මෙසේ ඝෝෂාඝෝෂ භේදයෙන් වර්ණමාලාව දෙවැදෑරුම් වේ. යළි අල්පප්‍රාණ මහාප්‍රාණ වශයෙන් ද දෙවැදෑරුම් වෙයි. වර්ගයන්ගේ දෙවන සතරවන අකුරු හා ශෂසහ යන මොහු මහාප්‍රාණයහ; සෙස්ස අල්පප්‍රාණයි. නැවත ධනිත සිථිල යයි දෙවැදෑරුම් වූ වර්ණමාලාවෙහි වර්ග ද්විතීය චතුර්ථයෝ ධනිතයහ. සෙස්ස සිථිලයි.

තවද වර්ග පඤ්ච‍කයෙහි අකුරු ස්පර්ශ නම් ද, යරලව යන අකුරු අන්තස්ථ නම් ද, ශෂසහ යන අකුරු ඌෂ්මන් නම් ද වෙයි. උච්චාරණය අනුව ස්වරයන්ගේ උදාත්ත අනුදාත්ත ස්වරිත යයි ප්‍රභේද තුනෙකි. අභ්‍යන්තර බාහ්‍ය වශයෙන් වර්ණයන්ගේ ප්‍රයත්න දෙකෙකි. එහි අභ්‍යන්තර ප්‍රයත්නය ස්පෘෂ්ට, ඊෂත්ස්පෘෂ්ට, ඊෂද්විවෘත, විවෘත, සංවෘත යයි පස්වැදෑරුම්ය. ස්පර්ශ නම් වූ වර්ගාක්ෂරයෝ "ස්පෘෂ්ට" නම් වෙති. අන්තස්ථයෝ ඊෂත්ස්පෘෂ්ටයහ. ඌෂ්මාක්ෂරයෝ ඊෂද්විවෘතයහ, ස්වරයෝ විවෘත නම් වෙති. කිසි තැනෙක හ්‍රස්ව ආකාරය සංවෘතයි. බාහ්‍ය ප්‍රයත්නයෙහි අල්පප්‍රාණ, මහාප්‍රාණ, විචාර, සංවාර, ශ්වාස, නාද ඝෝෂ, අඝෝෂ යන ප්‍රභේද ද ඇත්තේය.

නැවත කටපයාදී සංඛ්‍යා ක්‍රමය සඳහා සෝඩිය කොටස් සතරකට බෙදා ඇත (කටපයාක්ෂර බලන්න.)

වදන්කවෙහි ස්වර යයි ගත් අකුරු දහසය ව්‍යඤ්ජන සූතිසෙහි ලූ කල අකුරු මුළුල්ල පන්සිය සැටෙකි. පැරණි පුස්කොළ පොත්වල පත්ඉරු සංඛ්‍යාව දක්වා ඇත්තේ මේ අකුරු පන්සිය සැට යෙදීමෙනි. අනුස්වාර විසර්ග දෙක ස්වර සංඛ්‍යායෙහි ලා ගිණීමේ යුක්තිය ද මෙය ම බව සැලකිය යුතුය.

සිංහල අක්ෂරමාලාව මෙයින් ම පරිමිත වූයේ නොවෙයි, පාලි සංස්කෘත භාෂා දෙක්හි වචන ද මිශ්‍ර සිංහලයෙහි යෙදෙන හෙයින් ඒ දෙබසෙහි සියලු අක්ෂර හා ශුද්ධ සිංහලයට පමණක් නියත වූ "ඇ" වර්ණය ද හ්‍රස්ව එ, ඔ දෙක ද සමඟ පරිපූර්ණ සිංහල අක්ෂරමාලාව අකුරු සූපනසෙකින් (54) යුක්ත වේ.

සියලු ස්වරත් ඒ ස්වර ව්‍යඤ්ජනයන් හා එක්වීම දක්වන පිලිත් ඒ ඒ පිලිවල නම් හා ඒවා යෙදෙන අයුරුත් පහත දැක්වෙයි.

58.jpg

අනුස්වාරය හෙවත් බිංදුව නමින් දන්නා (අ)° යන්න "කං" ආදි වශයෙන් ද, විසජිනීය (විසර්‍ගය) හෙවත් බිංදු දෙක නමින් දන්නා (අ)° යන්න "කඃ" ආදි වශයෙන් ද යෙදේ.

මේ හැර ව්‍යඤ්ජනයකින් පෙරටුව සිටි "ර්" යන්න සඳහා "ර්‍ක" ආදියෙහි මෙන් ව්‍යඤ්ජනය මුදුනෙහි ලියන රේඵ නම් ලකුණක් ද, ව්‍යඤ්ජනයකින් පරව ස්වරයකින් පෙරටුව සිටි "ර්" යන්න සඳහා "ක්‍ර" ආදියෙහි මෙන් ලියන රකාරාංශ නම් ලකුණක් ද ව්‍යඤ්ජනයකින් පසුව සිටි "ය්" යන්න සඳහා "ක්‍ය" ආදියෙහි මෙන් ලියන "යංශය" නම් ලකුණක් ද සංස්කෘත තත්සම ශබ්දයන්හි දක්නට ඇත.

රේඵය රකාරාංශය යංශය

ර්‍ණ ර්‍ග ක්‍ර ග්‍ර ක්‍ය, ග්‍ය, ගද්‍ය මෙනි.

(ඇම්.එච්.පී. සිල්වා මහතා සැපයූ ලිපියක් ද ආශ්‍රයෙනි.)


වර්තමාන සිංහල අක්ෂරමාලාවේ සංකේත

මේවායින් වැඩිහරිය එකිනෙකට වෙනස් ශබ්ද හැඳින්වීම සඳහා යෙදී ඇති හෙයින් ඒවා ව්‍යාකූල සංකේත නොවේ. එහෙත් සිංහල අක්ෂර මාලාව කිසි‍විටෙක අවශ්‍ය පමණට වඩා සංකේත ඉදිරිපත් කරයි; කිසිවිටෙක සෑහෙන පමණට ඉදිරිපත් නොකරයි. පමණට වඩා සංකේත ඉදිරිපත් කර ඇත්තේ ව්‍යංජන ගණයෙහිය; සෑහෙන තරම් සංකේත නොමැත්තේ ස්වර ගණයෙහිය.

ව්‍යඤ්ජන මාලාවෙහි "ඞ", "°" යනුවෙන් සංකේත දෙකක් තිබේ. මෙයින් "ඞ" සංකේත ලියනු ලබන්නේ කණ්ඨජ අක්ෂර සංකේතවලට පෙරාතුව බැඳීමෙන් පමණකි. බිංදුව වචන මැද ද වචන අග ද ලියනු ලැබේ. "ඞ" සංකේතය ලියනු ලබන තන්හි බොහෝ විට බිංදුව ද ලියනු ලැබේ. "ගඞ්ගාව", "ගංගාව" මෙනි. මේ දෙතැන උච්චාරණ විෂයෙහි ලා වෙනසක් නැත. වචනාන්තයේ යෙදෙන බිංදුව ද කණ්ඨජන නාසික්‍ය ශබ්දයකි. එබැවින් "ඞ" සංකේතය නැතිවත් සිංහලය උච්චාරණයට අනුරූප වන්නට ලිවිය හැකි බව පෙනේ. මේ නිසා "ඞ" සංකේතය හුදෙක් අක්ෂර මාලාවේ නාසික්‍යාවලිය සම්පූර්ණ කරන සංකේතයක් මිස අනිවාර්යයෙන් තිබිය යුතු එකක් නොවේ.

ව්‍යඤ්ජන මාලාවෙහි න, ණ යනුවෙන් සංකේත දෙකක් ද වෙයි. එහෙත් මේ යුගලය අතර උච්චාරණ ප්‍රභේද දැක්වීම හුදෙක් පරිසරය ආශ්‍රයෙන් ම කළ යුතු වෙයි. කණ, කන, පණ, පන ආදි තන්හි ණ, න දෙකින් ම උපදින්නේ එක ම ශබ්දයකි; මල, මළ ආදී තන්හි ල, ළ දෙකින් උපදින්නේ ද එක ම ශබ්දයකි.

මේ ශබ්ද දන්තජ හා මූර්ධජ අතර වූ ශබ්දය. සිංහලයෙහි මූර්ධජ ණ ශබ්යක් ඇත්තේ මූර්ධජ ස්පර්ශයක් හා බැඳුණු නාසික්‍යයෙහි පමණි. 'කන්ට', 'ආණ්ඩුව' ආදිය නිදසුනි. පිරිසිදු දන්තජ ශබ්දයක් ඇත්තේ දන්තජ ස්පර්ශයක් හා බැඳුණු නාසික්‍යයෙහි පමණි, 'අන්තිම' මෙනි. ල, ළ ගැන ද මෙසේම ය. මෙසේ ශබ්ද වෙනස් වීම හුදෙක් පරිසරය නිසා ම සිදුවන්නක් හෙයින් එක ම "න" සංකේතයක් හා එක ම "ල" සංකේතයක් පමණක් වුව ද සිංහලයට සෑහේ. සිංහලය ලිවීමට අවශ්‍යවාට වඩා සංකේත සිංහල අක්ෂර මාලාවෙහි ඇති බව මින් පෙනී යනු ඇත.

ස්වර විෂයයෙහි වූකලී සංවෘත "අ" "....." ශබ්දයට සංකේතයක් නැත. කපනවා, කරනවා යන දෙතැන එක ම "ක" සංකේතය දෙවිධියකට උච්චාරණය වේ. කපනවා යන තැන ඇත්තේ විවෘත ස්වර ශබ්දයකි. කරනවා යන තැන ඇත්තේ සංවෘත ස්වර ශබ්දයකි. වචනයේ මුල මැද අග යන තුන් තන්හි ම මේ ශබ්ද දෙක ම ‍යෙදිය හැකිය.

මුල මැද අග

කරනවා කුහර පලිහ

කපනවා වහල දොළහ

හුදෙකලා "අ" සංකේතයෙන් නිතර ම දැක්වෙන්නේ විවෘත ශබ්දයකි. එහෙත් ව්‍යඤ්ජනගත වූකල්හි විවෘත "අ" ශබ්දයක් හා සංවෘත "අ" ශබ්දයක් ද තිබේ. සංවෘතය හැඟවීමට ලකුණක් වූයේ නම් ස්වරමාලාව මීට වඩා අංග සම්පූර්ණ වන්නට තිබිණි.

කර්තෘ:ඇම්.ඩබ්ලිව්.ඇස්. ද සිල්වා (සුගතපාල)

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අක්ෂරමාලාව_(සිංහල)&oldid=2421" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි