අකාලි ව්‍යාපාරය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉන්දියානු සමූහාණ්ඩුව ඇතුළත පන්ජාබ් භාෂාව රාජ්‍ය භාෂාව වශයෙන් පිළිගන්නා සික් රාජ්‍යයක් පිහිටුවා ගැනීම සඳහා සික් ආගමික නායකයන්ගේ මූලිකත්වයෙන් ගෙන යනු ලබන ව්‍යාපාරයයි. දේශපාලනය අතින් ජාතික සංගමයේ අදහස්වලට අනුරූප අදහස් දරන මෙම ආගමික දේශපාලන පක්ෂයේ කටයුතු ප්‍රධාන වශයෙන් සාමාජික, ‍අධ්‍යාපනික, ආර්ථික හා සාංස්කෘතික ක්ෂේත්‍රයන් ආශ්‍රිතව පවතී. අවුරුදු කීපයක පටන් ගෙනයනු ලබන අකාලි ව්‍යාපාරය මෑතක දී කලකෝලාහලවලට පවා හේතු විය. මෙම ව්‍යාපාරයේ නායකයා වන තාරා සිං 1960 මැයි 24 වැනි දා සිරභාරයට ගනු ලැබුවේ මේ නිසාය. තවත් අකාලි නායකයකු වූ ෆටේ සිං නමැති සික් තවුසා 1960 දී අමෘත්සාර්හි දී අකාලි ඉල්ලීම් සාර්ථක කර ගැනීම සඳහා උපවාසයක යෙදුණේය. ප්‍රශ්නය සාකච්ඡා කිරීමට අවශ්‍ය මිත්‍ර පරිසරයක් ඇති කර ගනු සඳහා උපවාසය අත්හරින ලෙස අගමැති නේරු විසින් ඉල්ලා සිටින ලදින් උපවාසය අත්හරින ලදි. තාරා සිං ද සිරභාරයට ගනු ලැබ සිටි 5000ක් පමණ ඔහුගේ පාක්ෂිකයෝ ද සිරභාරයෙන් නිදහස් කරන ලදහ.

භාෂාව අනුව වෙන ම රාජ්‍යයක් ඉල්ලීම සාධාරණ එකක් බව ද එබඳු රාජ්‍ය පිහිටුවා තිබෙන බව ද අකාලි පාක්ෂිකයන් කියතත් පන්ජාබය සික්වරුන්ට මෙන් ම එහි වසන අවශේෂ හින්දුවරුන්ටත් වෙනත් ජනයාටත් අයිති බව ද, එක ජාතියකට පමණක් අයිති විය නොහැකි බව ද පන්ජාබයේ අග්‍රාමාත්‍ය සර්දාර් ප්‍රතාප් සිං 1961 ජනවාරි 23 වැනිදා ප්‍රකාශ කළේය. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් 1961 අගහරියේ දී තාරා සිං ද දීර්ඝ උපවාසයක යෙදුණේය.

(සංස්කරණය: 1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අකාලි_ව්‍යාපාරය&oldid=4038" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි