අකීබා බෙන් ජෝසප් (ක්‍රි. ව. 50-132)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

යුදෙව් ධර්මාචාර්යවරයෙකි. යුදෙව් ආගමික ප්‍රඥප්තීන් පළමුකොට ක්‍රමවත්ව සංස්කරණය කළ පඬිවරුන් කීපදෙනාගෙන් කෙනෙකු වූ ‍මොහු තමා විසින් ඉදිරිපත් කරන ලද දාර්ශනික විචාරයන් හේතුකොටගෙන විශේෂයෙන් ප්‍රසිද්ධියට පත් වූයේය.

ක්‍රි.ව.50 පමණේ දී පලස්තීනයේ ලිඩාහි එ‍ඬේරකුට දාව උපන් අකීබා සතළිස් වියේ දී එලියෙසර් බෙන් හර්කේනස්ගේ විද්‍යායතනයට ඇතුළත්ව ශාස්ත්‍රෝද්ග්‍රහණය කළේය. ඔහු එවක උසස් ම යුදෙව් ආචාර්යවරයා බවට පත් විය. දෙවැනි ශතවර්ෂයේ එපෙදෙස විසූ ප්‍රකට පඬිවරුන් බොහෝ දෙනෙක් ම මොහුගේ ශිෂ්‍යයෝ වූහ.

සයිමන් බාර් කොකෙබා විසින් රෝමයට විරුද්ධව නඟන ලද කැරැල්ලට අකීබාගේ අනුග්‍රහය ලැබිණ. යුදෙව් ආගම ඉගැන්වීමට හා එය පිළිපැදීමට විරුද්ධව හේඩ්රියන් අධිරාජයා පනවා තිබුණු ආඥාවන් උල්ලංඝනය කළ මොහුට සිර දඬුවම් විඳීමට සිදුවිය. ක්‍රි.ව.132 පමණේ දී රෝමන්වරුන් විසින් ඔහු මරුමුවට පත් කරනු ලැබීය. යුදෙව් ආගමේ පශ්චාත්තාප යාච්ඤාවන්හි මොහු ආගම වෙනුවෙන් ජීවිත කැප කළ දස දෙනාගෙන් එකකු හැටියට සඳහන් වේ. අකීබා ගේ සැබෑ ජීවිතය පිළිබඳ තොරතුරු මිථ්‍යාකථාවලින් ආකූලය.

ඔහු ආගමික ප්‍රඥප්ති සංස්කරණය කිරීම්වස් කළ කෘතිය "රබීබ් අකිබාගේ ශික්ෂා" (Mishna of Rabbib Akiba) නමින් හැඳින්වේ. එය තල්මුද් නම් යුදෙව් ධර්ම ග්‍රන්ථයේ කොටසකි. පාරාදීසයට ගිය සතරදෙනාගෙන් නිරුපද්‍රිතව ආපසු පැමිණියේ අකීබා පමණකැයි පාරම්පරික කතාවෙක දැක්වේ.මොහුගේ දාර්ශනික විචාරයෝ යුදෙව් භක්තිකයන්ගේ විශේෂ සම්මානයට පාත්‍ර වූහ. මතු සිදුවෙන හැම දෙයක් ම කලින් දක්නට ලැබෙන බවත් හැම කෙනකුට ම නිදහස හිමි බවත් විශ්වාස කළ හොත් මේ මිනිසා මවා ඇත්තේ දෙවියන් වහන්සේගේ රූපය අනුව යැයි ප්‍රකාශ කෙළේය.

(සංස්කරණය:1963)