අකුණු

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අකුණු ගැසීමේ දී ඇතිවන විදුලි කෙටීම විද්‍යුත් විසර්ජනයක් (electrical discharge) නිසා අහසෙහි හදිසියේ ඇති වන ආලෝකයකි. (වායුගෝලීය විද්‍යුතය බ.) අකුණක් ගසන විට බොහෝ විට මහත් ශබ්දයක් ඇසෙයි. එයට අහස ගෙරවීම හෙවත් සෙණ හඬ යැය කියති. අකුණු ගැසීම වායුගෝලයෙහි සිදු වන විද්‍යුත් විසර්ජනයක් යැයි පළමුවරට හඳුනාගන්නා ලද්දේ 1752 දී පමණ බෙන්ජමින් fප්රැන්ක්ලින් විසිනි. ඊට ඉහත දී මිනිසුන් විශ්වාස කෙළේ, අකුණ යනු දේවකෝපය නිසා පොළොවට එවනු ලබන දේව ආයුධයක්ය යන්න වැනි මිථ්‍යා මතයි.

කාලගුණය කුණාටු සහිතව පවත්නා විට පොළොව මතුපිට ද වායුගෝලයෙහි ද ඇති විද්‍යුත් ස්වභාවය සාමාන්‍යයෙන් යහපත් වූ කාලගුණය ඇති විට පවත්නා විද්‍යුත් ස්වභාවයට ඉඳුරා වෙනස්ය. කාලගුණය යහපත් වූ විට පොළොව මත ඍණ විද්‍යුත් ආරෝපණයක් (charge) පැතිර පවතී. එවිට ඉහළ වායුගෝලයේ ධන ආරෝපණයක් ඇති බව පෙනේ. එහෙත් තද සුළං සමඟ ශීඝ්‍රව වැඩී එන වැසි වලාකුළු කිසියම් හේතුවක් නිසා ඉහළින් ධන ලෙස ආරෝපණය වී අතිවිශාල විද්‍යුත් ශක්තියක් රැස්කර ගනී. වලාකුළේ තිබෙන ආ‍රෝපණය හේතුකොටගෙන ප්‍රේරණයෙන් (indacation) පොළෝ මතුපිට ද ආරෝපණයක් ඇති වේ. එවිට ප්‍රතිවරුද්ධ ආරෝපණ දෙක වෙන් කරමින් තිබෙන වාතයේ පරිවරණ ශක්තිය බිඳ වැටී ඒ වලාකුළේ ම ආරෝපිත පෘෂ්ඨ අතර හෝ වලාකුළු දෙකක් අතර හෝ වලාකුළක් හෝ ඊට යටින් තිබෙන පොළොව අතර හෝ විද්‍යුත් විසර්ජනයක් ඇති වන්නට පුළුවන. අකුණ යනු එවැනි විසර්ජනයක ප්‍රතිඵලයක් වශයෙන් ඇතිවන ක්ෂණික දීප්තියක් ගෙන දෙන එළියයි. මේ එළිය ඇත්ත වශයෙන් කිවහොත් විශාල ගිනි දලුවකි. වලාකුළක් හා පොළොව අතර ගසන අකුණක් දිගින් හැතැප්මක් පමණ ද වලාකුළු දෙකක් අතර ගසන අකුණක් සමහරවිට දිගින් සැතැපුම් විස්සක් පමණ ද වීමට ඉඩ තිබේ. විදුලි සැරය ගමන් කරන මාර්ගයෙහි ඇති වාතය රත්වීමත් විඝටනය (dissociation) වීමත් අයනීභවනය (ionization) වීමත් හේතුකොටගෙන ඒ හරියේ වාත පීඩනය හදිසියෙන් බොහෝ අධික වෙයි. ගෙරවීම ඇති වන්නට මුළුමනින් ම වාගේ හේතු වන්නේ මේ අධික පීඩනය යැයි සිතිය හැකියි. මේ පීඩනය කොපමණ අධික ද යත් ඇතැම් විට ගොඩනැඟිලිවල දොර ජනෙල් පවා මේ නිසා ගැළවී යයි.

25.jpg

ආලෝකය තත්පරයට සැතැපුම් 1,86,000ක් ද ධ්වනිය තත්පරයට අඩි 1100ක් ද පමණ ගමන් කරන බැවින් ගෙරවීම ඇසෙන්නට කලින් විදුලි එළිය දක්නට ලැබේ. එහෙත් විද්‍යුත් විසර්ජනය ඉතා ආසන්න ස්ථානයක ඇතිවේ නම් විදුලි කෙටීමත් සමඟ ම වාගේ ගෙරවීම ද ඇසේ.

වලාකුළක් ආරෝපණය වීම: වලාකුළක් ආරෝපණය වන ආකාරය පිළිබඳව කලක සිට විවිධ මත පවතී. උඩට නඟින වාත ධාරාවක් මැදින් පහතට වැටෙන වැහි බින්දු කැබලි වීමේ දී ඒ කැබලිවලට ධන ආරෝපණයක් ලැබෙන අතර, උඩට යන්නා වූ වාතයට ඍණ ආරෝපණයක් ලැබීමෙන්, වලාකුළේ උඩ කොටසෙහි ඍණ ආරෝපණයක් ඇතිවේය යන මතයක් ජී. සී. සිම්සන් විසින් 1929 දී ඉදිරිපත් කරන ලදී. මෙසේ ආරෝපිත වූ වලාකුළේ ඉහළ කොටසෙහි තිබෙන කුඩා දිය බින්දු ලොකු වී පහතට වැටෙන වාරයක් වාරයක් පාසා ආරෝපණය විශාල වන්නේ ය. අනික් වැදගත් මතය සී. ටී. ආර්. විල්සන්ගේ ය. මේ මතයට අනුව වලාකුළක් ආරෝපණය වන්නේ විවිධ ප්‍රමාණවල දිය බිඳුවලට වායුගෝලයෙහි තිබෙන ඇතැම් අයන වැඩියෙන් ආකර්ෂණය වීම නිසාය. ආරෝපිත වලාකුළක ඇතැම් විට වෝල්ට් කෝටි ගණනක විභවයක් (potential) ද විසර්ජනයේ දී සමහර විට ඇම්පියර ලක්ෂ ගණනක විද්‍යුත් ධාරාවක් ද ඇති වන්නේය.

අකුණු ප්‍රභේද: වලාකුළක පහත කොටසෙහි ඍණ ආරෝපණ ගොඩගැසෙන විට ප්‍රේරණය හේතුකොටගෙන පොළොව මතුපිට ධන ආරෝපණ උපදී. වලාකුළ සුළඟින් ගසාගෙන යන විට, ධන ආරෝපණ ද ඒ අනුව පෘථිවි පෘෂ්ඨය දිගේ ගමන් කරයි. මෙසේ ගමන් කරන අතර මාර්ගයෙහි සන්නායක හෝ අර්ධ සන්නායක වස්තුවක් මුණගැසුණහොත්, ආරෝපණ දෙකෙහි අන්‍යෝන්‍ය ආකර්ෂණය කරණකොටගෙන, ඒ වස්තු දිගේ උඩට නැඟීමට ධන ආරෝපණවලට පිළිවන. සමහරවිට විදුලි කම්බි අටලු, කොත් මුදුන්, ගස් ආදියෙහි දක්නට ලැබෙන ආලෝකය මෙසේ ඇතිවන විසර්ජනය නිසා සිදුවන්නකි.

දෙබල අකුණු යැ අතළ අකුණු යැ බෝල අකුණු යැයි ප්‍රධාන වශයෙන් අකුණු තුන් වැදෑරුම්ය. දෙබල අකුණ, ගඟක් මෙන් නැමි නැමී යන ආලෝක ධාරාවකි. එය බොහෝ විට දෙබල වශයෙන් බෙදී ගමන් කරයි. අතළ අකුණ නියම ආකාරයක් නැතිව ක්ෂිතිජය පුරා පැතිරී, මුළු අහස එළිය කරන්නකි.එය ඇත්ත වශයෙන් ක්ෂිතිජයෙන් ඔබ්බෙහි ඇති දෙබල අකුණුවල පරාවර්තනයයි. බෝල අකුණ තේරුම් ගැනීමට බොහෝ දුෂ්කර එකකි. මෙහි දී සිදුවන්නේ අඟල් පහක් හයක් විෂ්කම්භය ඇති ලේ පාට ගිනි බෝලයක් වලාකුළුවල සිට හෙමින් පැමිණ පොළොවෙහි හැපී පිපිරීමයි. සමහරවිට එය බාධකයක් මුණගැසෙන තෙක් බිම දිගේ ‍පෙරළි පෙරළී ගොස් පුපුරයි. බෝල අකුණ එපමණ අන්තරායකර නොවන බවද කියනු ලැබේ.

මුළු පොළෝ තලයෙහි ම හටගන්නාවූ අකුණු සංඛ්‍යාව තත්පරයට 100ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. මෙයින් ජනිත ශක්තිය කිලෝවොට් 4,00,00,00,000ක් පමණ වේ.

සාමාන්‍යයෙන් අකුණු ඇති වන්නේ වැහි දිනවල දී වුව ද අහස පැහැදිලි දිනවල දී "වැහි නැති හෙණ" ඇති වූ බව වාර්තා වී තිබේ. එසේ ම වැහි වලාකුළු නිසා පමණක් නොව ටෝනාඩෝ ගිනිකඳු, දුලි කුණාටු, හිම කුණාටු යන මේවා නිසා ද අකුණු ඇති වන්නේය.

අකුණුවල ස්වරූපය දෙවැදෑරුම් වේ. ධාරාව වර්ධනය වීමේ අධික ශීඝ්‍රතාවකින් යුක්තවිය හැකි ධාරා උච්චයන්ගෙන් (current peaks) ද තත්පරයකිනුත් අල්ප භාගයක් තුළ දී උච්ච ධාරාවන්ගෙන් ද අකුණ සමන්විත වෙයි. ධාරා උච්චයන් නිසා ස්ඵෝටක හා චුම්බක ප්‍රතිඵල හට ගන්නා අතර දිගට ම ගලා යන ධාරාව නිසා තාපන ප්‍රතිඵල හටගනී. අධික අකුණු ධාරා නිසා රේඩියෝ ගුවන් කම්බි වැනි කුඩා සන්නායක සම්පූර්ණයෙන් දැවී යයි. සිමෙන්ති පොළොව, ගල් බිත්ති, ලී ආදි අසන්නායක හෝ අර්ධසන්නායක හෝ වස්තූන් ඔස්සේ අකුණු ධාරාව ගලා යෑමෙන් ස්ඵෝටක ප්‍රතිඵල ඇති වෙයි. අකුණු නිසා හටගන්නා ගිනිවලට සාමාන්‍යයෙන් හේතු වන්නේ අකුණෙහි දිගට ම ගලා යන ධාරාවයි.

ප්‍රථමාධාර: අකුණු වැදී සිහිසහන් නැති ව වැටී සිටින අයට වහා ම කෘත්‍රිම ශ්වසනය (artificial respiration) දිය යුතුයි. මෙසේ කිරීමෙන් බොහෝ විට ඔවුන් බේරා ගත හැකි වේ. අකුණක් වැදුණු අයකු තුළ විද්‍යුත් ආරෝපණයක් නැති හෙයින් ඒ අය ඇල්ලීම අන්තරාය රහිත ය. අකුණක් වැදීමෙන් වන්නේ විදුලි පහරින් සිහිසන් නැති වීම, පිලිස්සීම යන මේවා හෙයින් අකුණු වැදීමෙන් ගිලන් වූ අයට සාමාන්‍ය ක්‍රමයට ප්‍රථමාධාර දිය යුතුයි.

අකුණු නිවාරක: සාමාන්‍ය ගොඩනැඟිලිවලට කෙළින් ම අකුණු වැදීම වළකාලීම සඳහා භෘවිත කරන්නේ බෙන්ජමින් fප්රැන්ක්ලින් විසින් පළමුවෙන් නිපදවන ලද අකුණු නිවාරක දඬු ක්‍රමයයි. මේ ක්‍රමය ප්‍රධාන වශයෙන් සමන්විත වන්නේ ගොඩනැඟිල්ලක දුම් නළ වැනි උස් තැනක සවි කොට හොඳට බිම් ගැන්නූ උල් තුඩු සහිත සන්නායකයකින්ය. අකුණක් මේ උල් තුඩක් හා ගැටුණු විට ගොඩනැඟිල්ලට හානියක් නො ‍ොකට සන්නායකය ඔස්සේ පොළොවට යයි. අකුණු දඬු නිසා අකුණු වැදීම නොවැළකෙතත් අකුණු පහර තුඩු වෙතට යොමු වී ඒ මඟින් පොළොව කරා ගමන් කිරීම නිසා අකුණකින් වන හානිය වළකී. අකුණු සන්නායකයේ සියලු ම කොටස් ස්ථිර දෑ විය යුතු අතර ම ඒවා තදට සවි කර තිබීම ද ඉතා වැදගති. සන්නායකය ඉතා හොඳට බිම් ගන්වා තිබිය යුතු හෙයින් එය හරියාකාරයෙන් තිබේ දැයි වරින්වර පරීක්ෂා කොට බැලුවමනායි.

සියලු ම විද්‍යුත්උපකරණ වර්ග අකුණු නිවාරක යොදා ආරක්ෂෘ කිරීම අත්‍යවශ්‍ය ය. විදුලි බලය එක් තැනක සිට අ‍න් තැනකට ගෙන යාම සඳහා යොදන කම්බි ද අකුණු වැදීමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ විධිවිධාන යොදා ඇත.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අකුණු&oldid=1670" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි