අකුරු නූගත්කම

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මොන ම භාෂාවක්වත් කියවීමට හෝ ලිවීමට බැරිකම අකුරු නූගත්කම යනුවෙන් සාමාන්‍යෆයන් ගැනේ. මේ අනුව ලෝකයේ ජනගහනයෙන් 60%ක් පමණ අකුරු නූගත් ගණයට අයත් වේ යයි කල්පනා කරනු ලැබේ. එහෙත්, අකුරු නූගත්කම පිළිබඳ මිම්ම, කාලය හා දේශය අනුව වෙනස්වන බව පෙනේ. නිදසුනක් වශයෙන්, අකුරු නූගත්කමේ මිම්ම හැටියට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මුලින් පාවිච්චි කරනු ලැබුවේ කියවීමට නොහැකි කමය. එහෙත් 1940 ජනලේඛනයේ දී අකුරු නූගතුන් වශයෙන් එහි සලකන ලද්දේ සම්පූර්ණ අවුරුද්දක් පාසලක ඉගෙන නොගත්, අවුරුදු 25ක් හෝ ඊට වැඩි වයස් ඇති අයයි. ජපන් රටේ මිම්ම අනුව, ජපන් වචන 400ක් හඳුනා ගත හැකි අය අකුරු උගත් ගණයට වැටෙත්. මූලික වචන ලැයිස්තුවකින් තෝරාගනු ලබන වචන සියයක් ලියන්නට පුළුවන්වීම අකුරු උගත්කමේ මිම්ම වශයෙන් සැලකිය යුතු යයි ඉන්දියාවේ ආචාර්ය‍ චතුර්වේදී වරක් යෝජනා කළේය.

මිම්ම මෙසේ වෙනස් වන බැවින්, නොයෙක් රටවල අකුරු නූගත්කමේ ප්‍රමාණය හරිහැටි සංසන්දනය කළ නොහැකි වුවත්, කාර්මික වශයෙන් නොදියුණු අප්‍රිකා, ආසියා හා ලතින් ඇමෙරිකා රටවල අකුරු නූගත්කම යුරෝපීය රටවලට වඩා අධික බව පිළිගැනේ. මීට ප්‍රධාන හේතුව මුලින් සඳහන් රටවල අධ්‍යාපන පහසුකම් ප්‍රමාණවත් නොවීමයි. රටක ජනගහනය එරට අධ්‍යාපන පහසුකම්වලට වඩා ශීඝ්‍ර ලෙස වැඩිවේ නම්, එහි අකුරු නූගත්කම වැඩිවෙන බව පැහැදිලි කාරණයකි. ලෝකය පුරා අකුරු නූගත්කම පිළිබඳව පවතින සංඛ්‍යා ලේඛන යුනෙස්කෝ වාර්තාවලින් බලාගත හැක. පහත දැක්වෙන්නේ එම ආයතනයෙන් ප්‍රකාශිත ලේඛනවලින් උපුටා ගන්නා ලද චක්‍රයකි.

26.jpg

1941 ඉන්දියානු ‍ජනලේඛනය අනුව, එරට මුළු ජනගහනයෙන් 88%ක් අකුරු නූගත් ගණයට අයත් විය. 20 වැනි ශතවර්ෂය මුල දී චීනයෙහි මහජන අධ්‍යාපන ව්‍යාපාරයක් පටන් ගන්නා ලද නමුදු, 1949 දී පවා ජනගහනයෙන් 70% - 75% අතර ප්‍රමාණයක් අකුරු නූගත් ගණයට අයත් විය. විසිවැනි ශතවර්ෂය පටන් ගැනීමේ දී ලතින් ඇමෙරිකානු රටවල ද අකුරු නූගත්කම අධික වී නමුත්, අද එම තත්ත්වය බොහෝ දුරට මඟහැරී තිබේ. ආර්ජන්ටිනා, උරුගුවේ යන රටවල අකුරු නූගතුන්ගේ ප්‍රමාණය 15% ට අඩු බව 1943 දී කළ ගණන් ගැනීමකින් හෙළිවෙයි. එහෙත් 1947 දී පවා, මැක්සිකෝව, බ්‍රසීලය යන දෙරටෙහි ජනගහනයෙන් 50% ක් අකුරු නූගත් අය වූහ. විශාල රටක් වන රුසියාවේ 1900 දී ජනගහනයෙන් 90%ක් පමණ අකුරු නූගතුන් සිටි නමුත්, විශේෂයෙන් ම එම රට සමාජවාදී රාජ්‍යයක් වූ පසු, අකරු ඉගෙනීම ශීඝ්‍රයෙන් දියුණු විය. 1939 ගණන් ගැනුමකට අනුව අකුරු නූගත් ගණයට වැටුණේ ජනගහනයෙන් 10%ක් පමණය. උතුරු හා බටහිර යුරෝපීය රටවල් ද බි්‍රතාන්‍ය දූපත් ද අකුරු නූගත්කම අඩු ම රටවල් ය. දෙවන ලෝක සංග්‍රාමයට පෙර ජර්මනිය, නෝර්වේ, ඩෙන්මාර්කය, ස්වීඩනය, ඕලන්දය හා මහා බ්‍රිතාන්‍යය යන රටවල අකුරු නූගත්කමක් නොතිබුණේ යයි කිවහැකිය. කැනඩා, ඕස්ට්‍රේලියා, නවසීලන්ත යන රටවල ද, ඇමෙරිකා එක්සත් ජනපදයේ ද, දකුණු අප්‍රිකාවේ ද, අකුරු නූගත්කම පවතින්නේ ජනගහනයෙන් 5%ක් පමණ ජනයා අතරය.

මෙම රටවල අකුරු නූගත්කම අඩුවීමට හේතුව කාර්මික වශයෙන් දියුණුවීමෙන් රට සමෘද්ධිමත් වීමය. 15 වැනි ශතවර්ෂයේ දී මුද්‍රණ යන්ත්‍රය නිපදවීම හේතුකොටගෙන, අකුරු නූගත්කමේ ප්‍රමාණය සෑහෙන තරමක් අඩුවිය. ආගමික ප්‍රතිසංස්කරණ ද 18 වැනි හා 19 වැනි ශතවර්ෂවල සිදුවූ විප්ලවවාදී සමාජ පෙරළි ද මීට තුඩු දුන් තවත් ඓතිහාසික හේතුය. එහෙත් අකුරු නූගත් කම අඩුකර ගැනීමට බෙහෙවින් උපකාරී වූයේ අනිවාර්ය වශයෙන් ළමයින් යැවිය යුතු වූ ප්‍රසිද්ධ පාඨශාලා ක්‍රමය ඇතිවීමය. දකුණු ඇමෙරිකාවේ කෙන්ටකි කඳුකරයේ 1911 දී "සඳපහන් පාසල්" පටන් ගන්නා ලදි. වෘද්ධ අධ්‍යාපනය සඳහා පටන් ගන්නා ලද මෙම පාසල් ක්‍රමය වෙනත් දකුණුදිග රටවලට ද ශීඝ්‍රයෙන් පැතිර ගියේය.

මේ අයුරින් මූලික අකුරු නූගත්කම බටහිර රටවල් බොහොමයක අඩු වී ගිය කල, ප්‍රායෝගික අකුරු නූගත්කම (functional illiteracy) නම් වූ අනෙක් සංකල්පයක් වෙත සැලකිල්ල යොමුවිය. එනම්, අකුරු උගත්කම මිනිය යුත්තේ නිකම් ම අකුරු කියවීමේ හෝ ලිවීමේ පුළුවන්කම අනුව නොව, එදිනෙදා ජීවිතයේ දී ප්‍රයෝජනවත් වන ප්‍රමාණයට අකුරු ඉගෙන ඇද්ද යන්න අනුවය යන අදහසයි. අකුරු උගත්කම පිළිබඳ මිම්මේ මෙම වෙනස 1940 ඇමෙරිකා එක්සත් ජනපද ජනලේඛනයෙහි පිළිබිඹු වී තිබුණි. මුල් ජන ලේඛන ප්‍රශ්න මාලාවේ අඩංගු වූ "ඔබට කියවීම හා ලිවීම පුළුවන්ද?" යන ප්‍රශ්නය වෙනුවට තිබුණේ පාසලේ ඉගෙනීම ලැබූ ඉහළ ම පන්තිය කුමක් ද යන්න දැන ගැනීම සඳහා සම්පාදිත ප්‍රශ්නයකි. මෙම ජනලේඛනයට අනුව, වයස 14 හා ඊට වැඩි අය අතුරින් 7,500,00ක් පමණ අවුරුදු 4කට අඩු ප්‍රමාණයක් පාසල් ගිය අය වූහ. ප්‍රායෝගික අකුරු නූගත්කම පිළිබඳ මිම්ම අනුව, දෙවන ලෝක සංග්‍රාම සමයේ දී ලක්ෂ ගණන් හේවායන්ගේ සේවය තහනම් කොට ඔවුන්ට වහා ඉගැන්වීම සඳහා විශේෂ ආයතන පිහිටුවන ලදි. මෙම ආයතනවල යොදා ගන්නා ලද ඉගැන්වීමේ ක්‍රමය පසුකාලයේ දී සාමාන්‍ය මහජනයාට ඉගැන්වීම සඳහා ද භාවිත කරන ලදි.

අකුරු නූගත්කම මැඩලීම අරමුණු කොටගත් ජාතික හා අන්තර්ජාතික ව්‍යාපාර දැනට පවත්වාගෙන යනු ලැබේ. උගත්කම පිළිබඳ ලෝක සංවිධානයක් පිහිටුවා ඇත. නොදියුණු මිනිසුන්ට මසකින් පමණ අකුරු ඉගැන්වීමේ ක්‍රමයක් fප්රැන්ක් සී. ලෝබෙක් පියතුමා විසින් නිපදවා තිබේ. අකුරු නූගත්කම මැඩීමේ ක්‍රම ප්‍රචාරය කිරීමෙන් ද, අලුතින් අකුරු උගන්නවුන් සඳහා සුදුසු පොත් පත් ලිවීමට ධෛර්‍ය්‍ය දීමෙන් ද එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය ලෝක ව්‍යාප්ත ව්‍යාපාරයක යෙදී සිටී. සුළු ආසියාවේ අරාබි රාජ්‍යයන් ද ලතින් ඇමෙරිකාවේ රාජ්‍යයන් ද සඳහා විශේෂ ආයතන දෙකක් එම සංවිධානය මගින් පිහිටුවා තිබේ.

ලංකාවේ අකුරු නූගත්කම: පුරාණ ලංකාවේ අකුරු උගත්කම පිළිබඳ වූ ස්ථිර නිගමනයකට බැසීමට තරම් සාධක දක්නට නොලැබේ. සීගිරි කැටපත් පවුරු ගී පොදු ජනයා විසින් ලියන ලදැයි සාමාන්‍යයෙන් විශ්වාස කෙරෙන නමුත්, එය එකල උසස් අධ්‍යාපන තත්ත්වයක් තිබූ බව නිශ්චය වශයෙන් කීමට තරම් සෑහෙන සාධකයක් කොට ගැනීම දුෂ්කරය. දඹදෙණි සමයෙහි පමණ සිට සිංහල ගද්‍ය ග්‍රන්ථ ස්වරූපයකින් හැඩගස්වන ලද්දේ එකල පොදු ජනයාට ඒ පොත් පත් කියැවීමට හෝ කියවනු අසා ආස්වාදයක් ලබා ගැනීමට ‍හෝ සමත්කමක් තිබුණු නිසා විය යුතුය. රටේ අධ්‍යාපන තත්ත්වය නඟාලීම වස් පැරැණි පිරිවෙන් ආදි විද්‍යාපීඨයන්ගෙන් සිදුවූ සේවය අධ්‍යාපන ඉතිහාසය (ලංකාවේ) යටතෙහි විස්තර වේ.

යුරෝපීයයන් පැමිණීමෙන් පසු ඉගෙනීම තරමක් දුරට පැතිර යෑමට හේතු වූයේ මිෂනාරීන් විසින් තම ලබ්ධීන් පැතිරවීම සඳහා පාසල් පටන් ගැනීම ය. පසුව ක්‍රමයෙන් රාජ්‍ය පාඨශාලා පිහිටුවන ලද්දෙන්, දුර බැහැර පළාත්වල පවා පාසල් සුලභ විය. 1944 දී මධ්‍යම පාඨශාලා ක්‍රමය ආරම්භ කිරීම හේතුකොටගෙන අධ්‍යාපනය තව තවත් ව්‍යාප්ත විය. එසේ වුව ද, කර්මාන්ත අතින් නොදියුණු අන් බොහෝ රටවල මෙන්, ලංකාවේ ද අකුරු නූගතුන්ගේ ගණන තවමත් අධිකය.

1953 ජනලේඛනයට අනුව, එකල මෙරට විසූ වයස අවුරුදු 5 සහ ඉන් වැඩි අය 68,89,006 දෙනා අතුරෙන් "අකුරු නූගත්" ගණයට අයත් වූවන් ගේ ගණන 23,80,269ක් විය. එනම් 34.6%කි. 1946 දී මෙම ප්‍රමාණය 57.8%ක් වූ හෙයින්, අකුරු නූගත්කම අඩු වී ඇති බව පෙනේ.

1881-1946 කාලයේ පස් අවුරුදු වයසට වැඩි අයගෙන් අකුරු දත්තවුන්ගේ සියයට ගණන

අවුරුද්ද පුරුෂ ස්ත්‍රී

1881 29.8 3.1

1891 36.1 5.3

1901 42.0 8.5

1911 47.2 12.5

1921 56.4 21.2

1946 70.1 43.8

1946 ජනලේඛනයට අනුව අකුරු උගත්කම ඉතාමත් ම වැඩිව තිබුණේ හලාවත දිස්ත්‍රික්කයේය. එහි අකුරු උගත් අයගේ ගණන 73.5%ක් විය. පිරිමි 80.1%ක් ද ගැහැනු 66%ක් ද අකුරු උගත් ගණයට අයත් වූහ. දෙවැනි තැන ගත්තේ කොළඹ දිස්ත්‍රික්කය ය. පිරිමි අතුරින් 80.0%ක් ද ගැහැනු අතුරින් 63.7%ක් ද වශයෙන් එහි වූ අකුරු උගතුන්ගේ ප්‍රමාණය මුළු ජනගහනයෙන් 72.8%ක් විය. 1953 දී ද මේ තත්ත්වය එලෙස ම පැවතුණි. එම වර්ෂයේ හලාවත දිස්ත්‍රික්කයේ 80.4%ක් ද කොළඹ දිස්ත්‍රික්කයේ 77.2%ක් ද, යාපනේ දිස්ත්‍රික්කයේ 76.9%ක් ද අකුරු උගත් අය වූහ. අකුරු නූගත්කම ඉතා ම වැඩි වූයේ බුදුලු දිස්ත්‍රික්කයේය. 1946 දී එහි උගත් අයගේ ප්‍රමාණය 36.5%ක් පමණක් වූ අතර 1953 දී 45.15% ක් විය. (සංඛ්‍යා ලේඛනය බලන්න.)

මෙරට නාගරික හා පළාත් ආණ්ඩු සභා ඇතුළු දිස්ත්‍රික්කවල අකුරු නූගත් අයගේ සියයට ගණන

පුරුෂ

1946 1921 ස්ත්‍රී

1946 1921 කොළඹ 20.2 34.0 36.3 60.7

කළුතර 26.3 39.9 46.6 70.1

මහනුවර 37.8 51.8 68.3 86.7

මාතලේ 33.8 50.7 68.4 92.2

නුවරඑළිය 42.6 60.6 78.6 90.8

ගාල්ල 28.4 40.6 50.9 73.4

මාතර 33.2 44.1 57.3 81.7

හම්බන්තොට 41.3 47.4 75.1 92.4

යාපනය 20.3 37.0 38.4 75.5

මන්නාරම 23.4 42.9 53.2 81.1

වවුනියා 19.9 40.0 46.1 84.2

මඩකලපුව 37.5 56.2 76.3 92.9

ත්‍රිකුණාමලය 24.0 45.2 65.3 82.3

කුරුණෑගල 27.5 39.7 60.1 88.0

පුත්තලම 26.2 44.8 63.7 86.9

හලාවත 19.9 30.1 34.0 58.1

අනුරාධපුරය 31.6 44.8 73.6 95.5

බදුල්ල 46.9 62.7 82.4 93.2

රත්නපුරය 39.0 51.2 71.3 89.1

කෑගල්ල 33.6 47.8 64.0 89.6

1953 වර්ෂයේ දී ලංකාවේ ප්‍රධාන දිස්ත්‍රික්ක කීපයක වැසියන්ගේ අකුරු නූගත්කම පිළිබඳ සියේට ගණන්

දිස්ත්‍රික්කය පුරුෂ ස්ත්‍රී

මාතලේ 28.4 59.03

නුවරඑළිය 36.1 72.04

මන්නාරම 25.2 47.9

යාපනය 16.3 29.9

හම්බන්තොට 27.3 59.5

මාතර 29.1 48.4

ගාල්ල 23.2 38.3

මහනුවර 29.3 57.5

කළුතර 20.3 36.0

කොළඹ 17.1 29.6

පොදුවේ මුළු රටේ ම අකුරු නූගත්කම වර්ග කළ විට පිරිමින්ගෙන් 24.1%ක් ද ස්ත්‍රීන්ගන් 46.4%ක් ද අකුරු නූගතුන් බව පෙනේ.

නිදහස් අධ්‍යාපනය උදාවීමත්, ගතානුගතික ඇදහිලි බොහෝ දුරට මඟහැරී යාමත්, ජාත්‍යන්තර සම්බන්ධතා දියුනුවීම සමඟ ඒ ඒ සංවිධානයන් මඟින් යොදන උපක්‍රමත් නිසා මෙරට අකුරු නූගත්කම ශීඝ්‍රව අඩුවේගෙන යන බැව් පැහැදිලි වශයෙන් පෙනෙන්නට තිබේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අකුරු_නූගත්කම&oldid=1700" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි