අගදතන්ත්‍රය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සුශ්‍රැත සංහිතාවේ දැක්වෙන පරිදි ආයුර්වේදයෙහි අංග අට අතුරෙන් සවැනි අංගයයි. මනුෂ්‍ය ශරීරයට හානිකර වූ විෂවර්ග හා විෂ වැදීමෙන් උපදනා උපද්‍රව සමූහය ද ඒ සියල්ලට පිළියම් ද අගදතන්ත්‍රයෙන් ප්‍රකාශ වන්නේය. එහි දැක්වෙන නියායෙන් ස්ථාවර ජඞ්ගම යයි විෂයෝ දෙවැදෑරුම් වෙත්. ගස්, මුල්, වැල්, පොතු, ගෙඩි, මද ආදී උද්භිද වර්ගවලින් ලැබෙන විෂයට ස්ථාවර යයි ද දිවිමකුළු නුහුසු මැඩි සිකලන් ආදි සතුන් හා නා ‍පොළොං කරවැල් මාපිල් ආදි විෂඝෝර සර්පයන් විසින් දෂ්ට කරනු ලැබීමෙන් ද බලු සිවල් මී වානර වග වලස් ආදී සිව්පාවුන් විසින් සපා කනු ලැබීමෙන් ද ඔවුන්ගේ ශුක්‍ර මලමූත්‍ර තැවරීමෙන් ද උපදනා විෂයට ජඞ්ගම යයි ද කියනු ලැබේ. මේ හැර වනෞෂධාදිය විපරීතව යෙදීමෙන් උපදනා සංයෝග විෂය ස්ථාවර විෂ ගණයට ඇතුළත් වේ. තවද විෂ සහිත සතුන්ගේ මසෙහි තෙල් ආදිය හා මිනිසුන්ගේ කෙස් නිය ආදිය යොදා විරුද්ධකාරයන්ගේ විනාශය පිණිස සාදන විෂ සංයෝගයට ගරවිෂ යයි කියනු ලැබේ. ආහාරපාන ඖෂධයන්ගේ අපථ්‍ය සේවනයෙන් ශරීරයට වැදගන්නා විෂයට දූෂීවිෂ යයි කියති. මේ හැම විෂ වර්ගයක් ගැන ම විස්තර කොට ඇත්තේය. විශේෂයෙන් මූෂික විෂ ගැන සුශ්‍රැත සංහිතාවෙහි සහ චරක සංහිතාවෙහි ද සවිස්තර විවරණයක් ඇත්තේය. සුශ්‍රැතයේ මූෂික කල්ප නම් පද්ධතියෙහි සවිෂ මූෂිකයන් දස අටදෙනකු ගැන සඳහන් වන්නේය. චරක සංහිතාවෙහි ද ත්‍රිදෝෂාත්මක මූෂිකයන් නම්වලින් වෙසෙසා දක්වා ඇත්තේය. අෂ්ටාංග හෘදය සංහිතාවෙහි ද අගදතන්ත්‍රයට අයත් පරිච්ඡේදයන්හි ස්ථාවර ජංගම විවිධ විෂයන් ගැන විස්තර සඳහන් වේ. වර්ග සයක ගෝනුස්සන් ගැන අෂ්ටාංගහෘදය සංහිතාවෙහි සඳහන්ව ඇත්තේය.

දේශීය වෛද්‍ය ශාස්ත්‍රයට අයත් විෂ වෙදකම ද අයත් වන්නේ අගදතන්ත්‍රයටයි. (විෂ චිකිත්සාව දේශීය බ.)

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අගදතන්ත්‍රය&oldid=2446" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි