අගලකඩ ධම්මරක්ඛිත නාහිමි (- 1803)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අටළොස් වැනි සියවසේ අවසාන භාගයෙහි දක්ෂිණ ලංකාවේ ශාසනවර්ධනයට උපස්තම්භක වූ මහා ස්ථවිරයාණ කෙනෙකි. මොරවක්කෝරළයේ අලපළාදෙණියෙහි අතුකෝරාළ දශනායක පෙළපතෙහි උපන් මෙතුමා මාතර ගඟබඩපත්තුවේ අගලකඩ නම් පියසෙහි සිය මෑණියන්ගේ ඥාති පක්ෂයෙහි පවුලක වැඩුණේ විය. සියම් රටින් භික්ෂූන් වැඩමවා මහනුවර උපසම්පදාව ආරම්භ කළ පසු ලක්දිව බුදුසසුන බැබළෙත් ම යථෝක්ත කුල පුත්‍රයා වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන් වෙත පැමිණ පැවිද්ද හා උපසපුව ලැබ උගත යුතු ධර්ම විනය හා ශබ්ද ශාස්ත්‍රාදි‍ය මැනැවින් උගත්තේය. අගලකඩ ධම්මරක්ඛිත යන නාමයෙන් ප්‍රකට වූ ඒ හිමියෝ ගුරූපාධ්‍යායයන් වෙත කලක් වැස ජාතභූමි ප්‍රදේශයට පැමිණ වැලිගම පුරාණ අග්‍රබෝධි විහාරය තුබුණ ස්ථානය වල්බිහිව පැවති හෙයින් එතැන ශුද්ධ කරවා කුටියක් සාදවා ගෙන නැවතී එය දියුණු කළහ.

අගලකඩ ධම්මරක්ඛිත තෙරණුවෝ, පෘතුගීසීන් විසින් නසන ලදු වැ වල්බිහි ව තුබුණු අග‍්‍රබෝධි විහාරස්ථානය දියුණු කරමින් ම ශාසනෝපකාරී වූ පැවිදි ශිෂ්‍ය පිරිසක් ද ඇති කළහ. ප්‍රකට කවීන්ද්‍රයකු ව විසූ කිරම ධම්මානන්ද තෙරණුවෝ ඒ ශිෂ්‍යයන් අතුරෙහි කෙනෙකි. අගලකඩ තෙරණුවන් පිළිබඳ තොරතුරු දැනගත් මහනුවර රජතුමා විසින් වේහැල්ලේ ධම්මදින්න නාහිමියන්ගේ අභාවයෙන් සිස්ව ගිය පහතරට නායක පදවිය මේ තෙරණුවන්ට පවරන ලද්දේය. රාජාධිරාජසිංහ රජතුමා විසින් අගලකඩ නාහිමියන්ට රන් පිළිමයක්, කරඬුවක්, විසිතුරු වටාපතක්, වල්විදුනා දෙකක් හා ඇත්දත් ආදි අනගි භාණ්ඩ ද පුදන ලදි. එයින් සමහරක් මේ තාක් අග්‍රබෝධි විහාරයෙහි ඇතැයි කියනු ලැබේ.

මේ නාහිමියන් විසින් ම එකල ජරාවාස ව පැවැති වැලිගම්ගණේ රාජකුලවඩන විහාරය ද කටුකොහොල් හරවා වැඩි දියුණු කරවන ලද්දේය.

ක්‍රි.ව.1803 දී අගලකඩ ධම්මරක්ඛිත නාහිමියෝ අපවත් වූහ. (අග්‍රබෝධි විහාරය ද බ.)

(සංස්කරණය:1963)