අග්වාන් ලොබ්සාන් දර්ෂීයෙෆ්
1853 දී හෝ 1854 දී නූතන බුර්යාතියා ජනරජයේ පරිපාලන මූලස්ථානය වන උලන්-උදේ අගනුවරින් ඊසාන දෙසට වන්නට පිහිටි හරා-ශිබීර් ගම්මානයෙහි බුර්යාත් ජාතික එඬේර පවුලක මෙතුමා උපත ලැබී ය. වයස අවුරුදු 14 දී උබාශි නමින් හැඳින්වෙන ගිහි ශීලය මෙතුමා සමාදම් වූයේ උර්ගාහි (වත්මන් මොංගෝලියාවේ අගනුවර වන උලන්-බාතර්හි) විශාලතම සංඝාරාමයේ අධිපතීන් වහන්සේ වෙතිනි. වයස අවුරුදු 18 දී විවාහපත් වූ මෙතුමා කුටුම්භාශ්‍රිත ව්‍යවසායක නිරත විය. එහෙත් ඉන් වසරකට පසු ගිහි ජීවිතය හැරපියා ගොස්, සිය ආධ්‍යාත්මික ගුරුවරයා කෙරෙන් පැවිද්ද ලබාගෙන එතුමන් ද සමඟින් තිබ්බතය බලා පිටත්ව ගියේ ය.
සිය ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය වත්කමක් නොවූයෙන් ආපසු බුර්යාතියාව බලා පැමිණීමට දර්ෂීයෙෆ් හිමියන්ට සිදුවිය. යළිත් තිබ්බතය බලා ගොස් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට එතුමන්ට හැකි වූයේ 1878 දී ය. හෝමාන් ආරාමයෙහි බෞද්ධ සන්නිද් නිකායික දර්ශනය පිළිබඳ මුන් වහන්සේ පූර්ණ පාඨමාලාවක් හැදෑරූහ. එය තිබ්බත ඩ්‍රෙපංග් මහා ආරාමයේ එක් ප්‍රධාන අනුනිකායයක් විය. 1888 දී 'ගේශේ-ළාරම්භා' නමැති, ගෙලූග් සම්ප්‍රදායයේ උසස්ම උපාධිය ලද මෙතුමා එවකට තරුණ වියෙහි පසුවූ 13 වන දලයි-ලාමා තුමාගේ ගුරු හිමිවරුන් සත් දෙනාගෙන් කෙනෙක් විය. කාලය ගතවීමත් හා සමඟ දලයි-ලාමා තුමා කෙරෙහි විශාල බලපෑමක් කළ හැකි භික්ෂූන් වහන්සේ නමක බවට පත් මුන්වහන්සේ දලයි-ලාමා තුමාගේ විශ්වාසය දිනාගත් සමීපතම තැනැත්තෙක් (එතුමා නියෝජනය කිරීමේ බලය හිමි) ද මිතුරෙක් ද වූහ.
තිබ්බත විදේශ ප්‍රතිපත්තියේ ස්වභාවය දීර්ඝ කාලයකට නිර්ණය කළ, තිබ්බතයේ උත්තරීතර පාලකතුමන්ගේ මන්දිරයෙහි රුසියානු ලැදි දේශපාලන කණ්ඩායමක් මුන් වහන්සේ නිර්මාණය කළ සේක. තිබ්බතයේ ජාත්‍යන්තර කීර්තිය ඉහළ නැංවීම පිණිසත් බ්‍රිතාන්‍ය ඉන්දියාවේ වේශයෙන් පැමිණි මහා බ්‍රිතාන්‍යයේ තර්ජනයෙන් තිබ්බතය ආරක්ෂා කිරීමත් පිණිස රුසියානු අධිරාජ්‍යය සමඟ දේශපාලන සංධානයක් ගොඩනඟා ගත යුතු බවට දලයි-ලාමා තුමාට ඒත්තු ගැන්වීමට රුසියානු යටත් වැසියකු වශයෙන් මෙතුමා සමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස දලයි-ලාමා තුමා විසින් සිදු කරන ලද පැවරුමකට අනුව, මුන් වහන්සේ 1898, 1900 සහ 1901 දී දෙවෙනි නිකොලායි අධිරාජයා සහ ඔහුගේ අමාත්‍යවරුන් සමඟ ශාන්ත පීටර්ස්බර්ග් නුවරට පැමිණ සාකච්ඡා පැවැත්වී ය. එවැනි එක් සංචාරයක දී මුන් වහන්සේ ලංකාවට ද පැමිණි අතර ලංකාවේ බෞද්ධාරාමවලට ගියහ. එසේම ශුද්ධ වස්තූන් වැඳපුදා ගත්හ. එසේ පැවති සාකච්ඡාවන්හි ප්‍රතිඵල වශයෙන් රුසියාව සහ තිබ්බතය අතර මිත්‍රශීලී සම්බන්ධතා ගොඩනඟා ගැනීම පිළිබඳ ගිවිසුමකට 1901 දී අත්සන් තබනු ලැබිණි. එහෙත් රුසියානු ආණ්ඩුව විසින් තිබ්බතය සම්බන්ධයෙන් කිසිදු ආකාරයක වගකීමක් භාර ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබිණි. මහා බ්‍රිතාන්‍යය සහ චීන චිං අධිරාජ්‍යය සමඟ ඍජු ඝට්ටනයකට ඈඳීමට සිදු වේ යැයි බිය පළ වූ හෙයිනි. එකල තිබ්බත රාජ්‍යය වනාහි නිල වශයෙන් මධ්‍යකාලීන යුගයේ චීන චිං අධිරාජ්‍යයේ යටත් රාජ්‍යයක් වූ හෙයිනි.
1903-04 දී බ්‍රිතාන්‍යය විසින් තිබ්බතය ආක්‍රමණය කරනු ලැබීමෙන් පසු දලයි-ලාමා තුමා ළාසා නුවරින් පළාගිය පසු ශාන්ත පීටර්ස්බර්ග් නුවර සිටි තිබ්බත උත්තරීතර නායකතුමන්ගේ නිල නියෝජිතයා වශයෙන් කටයුතු කළාහු අග්වාන් දර්ෂීයෙෆ් හිමියෝ ය. එතැන් සිට මුන් වහන්සේ තමන් දැරූ උසස් තත්ත්වය රුසියාව තුළ බුද්ධ දේශනාව ව්‍යාප්ත කරනු පිණිස උපයෝගී කර ගත්තේ ය. දර්ෂීයෙෆ් හිමියෝ රුසියාවේ සාම්ප්‍රදායික බෞද්ධ රටවල් වන බුර්යාතියාවේ සහ කල්මිකියාවේ දීර්ඝ සංචාරයන්හි නිතර නිරත වූහ. එහිදී බෞද්ධ ධර්ම දේශනා පැවැත්වූ උන්වහන්සේ, නව බෞද්ධ පාඨශාලා ද ආරාම ද වෛද්‍ය මධ්‍යස්ථාන ද ආරම්භ කළහ.
එසේම, බුර්යාත් ජනයාගේ ජාතිකවාදී ව්‍යාපාරයේ නායකයකු බවට පත් මුන්වහන්සේ, ඉර්කුත්ස්ක් ගුබේර්නියා පළාතේ වෙර්හලියෙන්ස්ක් දිස්ත්‍රික්කයේ වාසය කරන යකැදුරු කර්මය හා බද්ධ (ආථර්වන) ලබ්ධීන් අදහමින් සිටි ජනයා අතර බුදු දහම ව්‍යාප්ත කළහ. වගින්ද්‍රා නමින් හැඳින්වෙන නව බුර්යාත් හෝඩිය නිර්මාණය කළ මුන්වහන්සේ, ශාන්ත පීටර්ස්බර්ග් නුවර මුද්‍රණාලයක් ස්ථාපිත කළහ. මුන් වහන්සේගේ ප්‍රයත්නයෙන්, රුසියානු අධිරාජ්‍යයේ අගනුවර බෞද්ධාරාමයක් ඉදිකෙරුණු (1909-1915) අතර එය යුරෝපයේ ඉදිකෙරුණු පළමු බෞද්ධ විහාරය විය.
ජාත්‍යන්තර දේශපාලනය කෙරේ සඵලදායී බලපෑමක් ඇති කළ හැකි වීමටත් ගෝලීය බලවේග සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධතා පවත්වා ගැනීමේදී සිය අවශ්‍යතා ඉටුකරවා ගැනීමටත් බෞද්ධයින්ට හැකි වනු පිණිස රුසියාවේ, මොංගෝලියාවේ සහ තිබ්බතයේ බෞද්ධයින් අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමට දර්ෂීයෙෆ් හිමියෝ වෙහෙස ගත්හ. ඒ අනුව, 1913 ජනවාරි 11 වන දා දලයි-ලාමා වෙනුවෙන් දර්ෂීයෙෆ් හිමියෝ තිබ්බත-මොංගෝලියානු ගිවිසුමට අත්සන් තැබූහ. එම ගිවිසුමට අනුව, තිබ්බතය සහ මොංගෝලියාව අන්‍යෝන්‍ය වශයෙන් ඔවුනොවුන්ගේ ස්වාධීනත්වය පිළිගත්තේ ය.
ඔක්තෝබර් විප්ලවයෙන් පසු 1920 ගණන්වල දී සෝවියට් සමාජවාදී ආණ්ඩුව සමඟ මුන්වහන්සේ ක්‍රියාකාරී සහයෝගීතාවක් පවත්වාගත්හ. ඒ, බොල්ෂෙවික්වරුන් සහ තිබ්බත පාලකයින් අතර දේශපාලන සම්බන්ධතාවක් ගොඩනඟාලීමට ප්‍රයත්න දරමිනි.
නිල ලියකියවිලිවල මෙන්ම, පුවත්පත්හි ද මුන්වහන්සේ හඳුන්වනු ලැබුවාහු 'සෝවියට් සංගමයේ සිටින තිබ්බතයේ පූර්ණ බලධාරී නියෝජිතයා' ලෙසිනි. පීතරබුර්ගයේ පිහිටි බෞද්ධාරාමය 'තිබ්බත-මොංගෝලියානු බෞද්ධ දූත මෙහෙය' වශයෙන් හඳෞන්වනු ලැබිණි (1922).
සෝවියට් පාලනය විසින් දැක්වූ සුහද, හිතපක්ෂපාතී ආකල්පය ප්‍රයෝජනයට ගෙන දර්ෂීයෙෆ් හිමියෝ තරුණ බුර්යාත් සහ කල්මිකියානු ජාතිකයින් අධ්‍යාපනය ලබනු පිණිස තිබ්බතයට පිටත් කර හැරියහ. අදේවවාදී රාජ්‍යයක් තුළ බෞද්ධ ජන ඝංඝය රැක ගැනීමට උත්සාහ දැරූ දර්ෂීයෙෆ් හිමියෝ, රුසියාවේ බෞද්ධ භික්ෂූන් කෙරෙන් පැනනැඟුණු 'ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ' එක් ආරම්භකයෙක් වූහ. එම ව්‍යාපාරයේ නියෝජිතයින් විසින් උත්සාහ දරන ලද්දේ බෞද්ධාගම නවීකරණය කිරීමටත් එය සෝවියට් ඉගැන්වීම් සමඟ සමීප කරවීමටත්, ඒ හා සමඟ ම බුදුන් වහන්සේගේ ඉගැන්වීම්හි අක්මුල් කරා ආපසු ගමන් කිරීමටත් පශ්චාත් කාලීන එකතුවීම් පිසදා හැර බුදුසමය පිරිසිදු කිරීමටත් ය.
එහෙත් 1930 දශකාරම්භයේ දී සෝවියට් සංගමයේ අභ්‍යන්තර දේශපාලන ප්‍රතිපත්තිය වෙනස් විය. බුද්ධාගම වනාහි තවත් එක් ආගමික විශ්වාසයක් යැයි සලකා එය මුලිනුපුටා දැමීමට සටනක් ආරම්භ කෙරිණි. බෞද්ධාරාම වසා දැමුණු අතර බෞද්ධාගමික පූජ්‍ය වස්තු විනාශ කෙරිණි. බෞද්ධයෝ දැඩි මර්දනයට ලක්වූහ.
1936 දී තිබ්බත-මොංගෝලියානු බෞද්ධ දූත මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් තමා සතු වූ බලතල ස්වේච්ඡාවෙන් අත්හළ දර්ෂීයෙෆ් හිමිපාණෝ ලෙනින්ග්‍රාදයේ සිට තමන් උපන් බුර්යාත් ප්‍රදේශය බලා පිටත්ව ගියහ. ඉන් වසරකට පසු අග්වාන් දර්ෂීයෙෆ් හිමියෝ රාජ ද්‍රෝහී චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබූහ. උලන්-උදේ නගරයේ බන්ධනාගාර රෝහලේ දී උන් වහන්සේ 1938 පෙබරවාරි 2 දා අපවත් වූහ.
වත්මන් රුසියාවේ බුදුසමය ශීඝ්‍රයෙන් පුනර්ජීවනය ලබමින් තිබේ. ඒ හා සමඟින් අග්වාන් දර්ෂීයෙෆ් හිමියන්‍ගේ ආධ්‍යාත්මික උරුමය ද පුනර්ජීවයක් ලබමින් සිටී. 1990 දශකාරම්භයේ සිට උන් වහන්සේගේ චරිතය හා ක්‍රියාකාරකම් කෙරේ ඇදහිලිකාර බෞද්ධයෝ මෙන්ම ශාස්ත්‍රීය බෞද්ධ පර්යේෂකයෝ ද අවධානය යොමුකරමින් සිටිති. 2004 සිට ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ සහ බුර්යාත් ජනරජයේ 'දර්ෂීයෙෆ් කියැවීම්' නමින් ශාස්ත්‍රීය සම්මන්ත්‍රණයක් පවත්වනු ලැබේ. දර්ෂීයෙෆ් හිමියන් සිහිපත් කිරීමත් අන්තර් සංස්කෘතික සන්නිවේදනය සහ බෞද්ධ සංස්කෘතියේ වත්මන් ගැටලු සාකච්ඡා කිරීමත් මෙම සම්මන්ත්‍රණයේ අරමුණු වේ.
ශාන්ත පීටර්ස්බර්ග් බෞද්ධාරාමයෙහි මෙම ශ්‍රේෂ්ඨ බුරියාතියානු ලාමා භික්ෂූන් වහන්සේ සිහිපත් කරනු පිණිස ස්මරණ ඵලකයක් ස්ථාපිත කොට තිබෙන අතර පිළිම මන්දිරයේ මෙතුමන්ගේ පිළිරුවක් පිහිටුවා තිබේ. දර්ෂීයෙෆ් හිමියන් සිහිපත් කරනු පිණිස බුර්යාතියාවේ කෞතුකාර දෙකක් පිහිටුවා තිබේ. හරා-ශිබීර් නම් ගමෙහි මුන් වහන්සේ ස්මරණය කරනු පිණිස මීටර් දහයක් උස ස්ථූපයක් ගොඩනංවා තිබේ. ඊට අමතරව, බුර්යාතියානු ජනරජයේ එක් රාජ්‍ය සම්මානයක් හඳුන්වනු ලබන්නේ 'අග්වාන් දර්ෂීයෙෆ් පදක්කම' නමිනි. සාමය සහ ජනතාවන් අතර මිත්‍රශීලී සම්බන්ධතා තහවුරු කිරීමත් සමාජ කටයුතු සහ පුණ්‍ය කටයුතුවල ක්‍රියාකාරීව නියැලීමත් අරභයා සිදු කරන ලද සුවිශිෂ්ට සේවාවන් වෙනුවෙන් එම පදක්කම පිරිනමනු ලැබේ.
ආශ්‍රිත ග්‍රන්ථ
ඉංග්‍රීසි
1. Alexandre I. Andreyev, “Dorzhiev, Agvan Lobsan”. The Supplement to Modern Encyclopedia of Russian, Soviet and Eurasian History, vol. 8. Academic International Publishers (USA), 2007. pp. 130-131
2. Alexandre I. Andreyev, “Agvan Dorzhiev and His Contribution to the Modernization of Tibet”, The Tibet Journal, Vol. 43, No. 2 (Autumn/Winter 2018), pp. 3-20
3. John Snelling, “Buddhism in Russia: The Story of Agvan Dorjiev, Lhasa’s Emissary to the Tsar” (Shaftsbury, Dorset, 1993)
4. Nikolay Tsyrempilov, “The Open and Secret Diplomacy of Tsarist and Soviet Russia in Tibet: The Role of Agvan Dorzhiev (1912–1925)”. In Asiatic Russia: Imperial Power in Regional and International Contexts, ed. by Tomohiko Uyama. 2011. pp. 216-234
5. Thubten J. Norbu, “Doejiev: Memoirs of a Tibetan Diplomat”. Hokke Bunka Kenkyu (Japan), No. 17 (March 1991). pp. 1–105.
රුසියානු
1. Ангаева С. П. Буддизм в Бурятии и Агван Доржиев. Улан-Удэ: Бурятское книжное издательство, 1999. 138 с.
2. Андреев А.И. Агван Доржиев и судьба буддийской религии в СССР // Реверс. Философско-религиозный альманах. СПб., 1992.
3. Андреев А.И. Тибет в политике царской, советской и постсоветской России. СПб., 2006, электронное издание, 2020.
4. Андреев А.И. Буддийский Храм в Санкт-Петербурге. С.-Петербург, Изд-е А. Терентьева, 2020.
5. Андреев А.И. Тибето-Монгольский проект Агвана Доржиева / Монголия – Россия. Век независимости – Век сотрудничества. Сост. и отв. ред. И.В. Кульганек, Т.И. Юсупова. ИВР РАН, С.-Петербург, 2021.
6. Буддийская традиция: история и современность. Юбилейные чтения, посвящённые 150-летию со дня рождения Агвана Лобсана Доржиева. Материалы конференции, 25-27 ноября 2004 г. СПб., Изд-во «ЭГО», 2005.
7. Дагбаев Э. Д. Агван Доржиев в истории Российского государства: учебное пособие для вузов. Улан-Удэ: Бэлиг, 2005. 47 с.
8. Дамдинов А.В. Агван Доржиев: Дипломат, политический, общественный и религиозный деятель. Улан-Удэ, Издат-во Бурятского госуниверситета, 1999.
9. [Доржиев, Агван]. «Предание о кругосветном путешествии» или повествование о жизни Агвана Доржиева. Улан-Удэ, 1994.
10. Доржиев Агван. Занимательные заметки. Описание путешествия вокруг света. (Автобиография). М., 2003.
11. Заятуев, Гомбо-Намжил. Цанид-хамбо Агван Доржиев (1853-1938 гг.). Улан-Удэ, 1991.
(කර්තෘ: අලෙක්සාන්දර් ඉවානවිච් අන්ද්‍රේයෙෆ්, දනීල් සෙර්ගියේව්ච් මකාරෙන්කො: 2024)
(සංස්කරණය නොකළ)