අග්‍රාණ්ඩුකාරයා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඩොමිනියන් රාජ්‍යයක ප්‍රධානයා හැටියට බ්‍රිතාන්‍යයේ මහරජුගෙන් (හෝ මහරැජිනගෙන්) රාජ්‍යයක් පිළිබඳව ඉටුවිය යුතු කාර්යයන් කරවීම පිණිස අධිකාරදාන පත්‍රයකින් (Letters Patent) එතුමා හෝ එතුමිය විසින් තමා වෙනුවෙන් පත් කරනු ලබන නියෝජියා අග්‍රාණ්ඩුකාරයායි. එංගලන්තයේ වෙසෙමින් ඒ ඒ ඩොමිනියන් රටවලට අයත් රාජ්‍ය කාර්‍ය්‍යයන් ඉටු කිරීම මහරජුට සුකර නොවේ. එබැවින් එතුමා වෙනුවෙන් කටයුතු කිරීමට අග්‍රාණ්ඩුකාරයෙක් පත්කරනු ලැබෙයි. මහරජු විසින් අග්‍රාණ්ඩුකාරයා පත්කරනු ලබන්නේ ඩොමිනියන් රාජ්‍යයේ අමාත්‍ය මණ්ඩලයේ හෝ අග්‍රාමාත්‍යවරයාගේ හෝ උපදෙස් සහ අනුමැතිය ඇතිවය. වර්ෂ 1930ට පෙර පත් කරනු ලැබු ආණ්ඩුකාරයා ඩොමිනියන් අග්‍රාමාත්‍යවරයාගේ මෙන් ම බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ද නියෝජිතයා විය. මෙය ඩොමිනියන් රාජ්‍යයන්ගේ ස්වාධීනත්වයට නොගැලපෙන්නක් වූ බැවින් 1930 දී මෙම ප්‍රතිපත්තිය අත්හැර දමන ලදී. වර්තමාන ඩොමිනියන් අග්‍රාණ්ඩුකාරයා කෙළින් ම මහරජුගේ නියෝජිතයා වේ.

ප්‍රදේශභාර ආණෟඩුකාරවරුන් කිහිපදෙනෙකුගේ තමා යටතේ ඇතිව විශාල විජිතයක් භාරව කටයුතු කරන නිලධරයා ද "අග්‍රාණ්ඩුකාරයා" යනු වෙන් අතීතයෙහි හඳුන්වනු ලැබීය.පෙරදිග ඕලන්ද (විජිත) අධිරාජ්‍යෙයහි මුළු පාලන බලය ම දැරුවේ අග්‍රාණ්ඩුකාරයෙකි. නිදහස ලැබීමට ප්‍රථම පිලිපීන් දූපත් පාලනය කළ ඇමෙරිකානු නිලධාරියා ද හඳුන්වනු ලැබුයේ "අග්‍රාණ්ඩුකාරයා" නමිනි. 1773 සිට බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව වෙත පවරනු ලැබූ දිනය තෙක්, බෙංගාලයේ ආණ්ඩුකාරයා මදුරාසිය හා බොම්බාය යන සෙසු පෙදෙස්හි ආණෟඩුකාරවරුන් කෙරෙහි පාලන බලයක් ඇති "අග්‍රාණ්ඩුකාරයා නමින් හැඳින්වුන නිලධාරියෙක් විය. පෙරදිග පෘතුගීසි අධිරාජ්‍යයේ ප්‍රා‍දේශීය ආණ්ඩුකාරයන්ගේ නායකත්වය ඉසුදු නිලධාරියා පමණක් හැඳින්වුණේ "ප්‍රතිරාජයා" නමින් ය.

විජිත යුගයෙහි සිටි ඉහත කී අග්‍රාණ්ඩුකාරවරුන් හා වර්තමාන ඩොමිනියන් අග්‍රාණ්ඩුකාරවරුන් අතර විශාල වෙනසක් ඇති බව විශේෂයෙන් ස‍ඳහන් කළ යුතුය. බලතල අතින් නම්, මේ දෙකොටස කිසිසේත් සම කළ නොහැක. කූන් මාර්ට්සූකර්, වොරන් හේස්ටිංස් ආදි විජිත යුගයට අයත් ඕලන්ද හා ඉංග්‍රීසි අග්‍රාණ්ඩුකාරවරු සෛවරි රජකු සතු බලතල දැරූහ. එහෙත් ඩොමිනියන් අග්‍රාණ්ඩුකාරයාට නම් නියම ආණ්ඩු බලවක් නොමැත. ඔහුට ඇත්තේ නාමමාත්‍ර බලතල පමණකි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය අනුව එංගලන්තයේ මෙන් ම ඩොමිනියන් රාජ්‍යයන් ගේ ද ව්‍යවස්ථාදායක හා විධායක බලතල එම රාජ්‍යයන්හි ප්‍රධානියා වශයෙන් මහරජු සතු වන නමුත්, ඒ එක ද රටකවත් නියම පාලනය කරනු ලබන්නේ ඔහු විසින් හෝ ඔහුගේ නියෝජිතයා වන අග්‍රාණ්ඩුකාරයා විසින් හෝ නොවේ. ඩොමිනියන් රාජ්‍යයක නියම පාලනය එම රටේ පාර්ලිමේන්තුව කැබිනට් මණ්ඩලය හා අග්‍රාමාත්‍ය වරයා සතුයි.

ඩොමිනියන් රාජ්‍යයක් වූ ලංකාවේ ආණ්ඩුක්‍රම පනතින් අග්‍රාණ්ඩුකාරයා වෙත පැවරෙන බලතල විමසීමෙන් ඔහුගේ තත්වය මැනවින් පැහැදිලි කරගත හැකිය.

ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත අනුව මහරජුගේ ප්‍රසාදය ඇති තෙක් අග්‍රාණ්ඩුකාරයාට තම පදවියෙහි කටයුතු කල හැකිය. අග්‍රාණ්ඩුකාරයා වෙත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පනතින් පවරන ලද බලතල අනුව ඔහුගෙන් ඉටුවිය යුතු රාජ්‍ය කාර්යයන් කාර්‍ය්‍යක්ෂම සේත් මහජන ගෞරවයට ලක් වන සේත් ඉටුනොවේ නම් මහරජුට ඔහු එම පදවියෙන් අස්කළ හැකිය යනු මින් අභිප්‍රේතයි. ලංකාණ්ඩුක්‍රම පනතේ 7 වැනි වගන්තිය අනුව ලංකා පාර්ලිමේන්තු හෙවත් ව්‍යවස්දායක මන්ත්‍රණ සභාව මහරජුගෙන් ද උත්තර මන්ත්‍රී මණ්ඩලයෙන් (සැනට් සභාවෙන්) සහ නියෝජිත මන්ත්‍රි මණ්ඩලයෙන් ද සමන්තිව වේ. පාර්ලිමේන්තුව කැදවීම, එහි කටයුතු තාවකාලිකව නතර කිරීම (වාර අවසන් කිරීම) සහ එය විසුරුවා හැරිම අග්‍රාමාත්‍යයා පත් කිරීම පාර්ලිමෙන්තුවෙන් සම්මත වන අණපනත් අනුමත කිරීම. රාජාසනයේ කථාව පැවැත්වීම යනාදිය මහරජු සතු කාර්යයෝය. මෙම කාර්යයන් ඉටුකිරීමේ බලතල ඔහු විසින් අග්‍රාණ්ඩුකාරයා වෙත පැවරේ.

කැබිනට් මණ්ඩලයට අගමැති හැර සෙසු ඇමතිවරුන් පත්කිරීම කැබිනට් මණ්ඩලයේ ලේකම් සහ නිත්‍ය කැබිනට් මණ්ඩලයේ ලේකම් සහ නිත්‍ය ලේකම්වරුන් පත්කිරීම, ඔඩිටර් ජනරාල් තැන සහ ඇටෝර්නි ජනරාල් තැන පත්කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයට අග්‍රවිනිශ්චයාකාර සහ කනිෂ්ඨ විනිශ්චයකාරයන් පත්කිරීම මහජන නියෝජිත මන්ත්‍රි මණ්ඩලයට සදෙනෙකුට වැඩිනොවන ගණනක් මන්ත්‍රීන් ද උත්තර මන්ත්‍රීන් මණ්ඩලයට හෙවත් සෙනට් සභාවට නියෝජිතයන් පසළොස් දෙනෙකුන් පත්කිරීම සෑම ජන ලේඛන සැපයීමකින් ම පසුව අවුරුද්දක් ඇතුළත දී ඡන්දදායකු කොට්ඨාස වෙන් කිරීමේ කොමිෂන් සභාවක් පත්කිරීම, වෙනත් කොමිෂන් සභා පත්කිරීම යනාදිය ලංකාණ්ඩු ව්‍යවස්ථා පනත අනුව අග්‍රාණ්ඩුකාරයා විසින් ඉටුකළ යුතු ව්‍යවස්ථාදායක වුත් විධායක වුත් අන්‍ය කර්තව‍යෝ වෙති.

අග්‍රාමාත්‍ය පත්කිරීම හැර මෙකී අන් සැම කටයුත්තක් ම අග්‍රමාත්‍යයාගේ උපදෙස් අනුව සිදු කෙරේ. අග්‍රාමාත්‍යයකු පත්කිරීම කළ යුත්තේ පක්ෂග්‍රාහී නොවී මහා මැතිවරණයකින් පිළිබිඹු වන රටේ දේශපාලන තත්වය නුවණින් විමසා බැලීමෙනි. පක්ෂ ක්‍රමය දියුණු රටක අග්‍රාමාත්‍ය තේරිමේ දී නම් බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත් පක්ෂයේ නායකයා කැඳවීම සාමාන්‍ය සිරිතයි. යම් හෙයකින් කවර දේශපාලන පක්ෂයකටවත් ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ආසන සංඛ්‍යාව නොලැබුණි නම්, අන්‍ය පක්ෂයක හෝ මන්ත්‍රින් වැඩිදෙනෙකුගේ සහාය ලැබගත හැකි, මහජන විශ්වාසය ඇති නායකයකු කැදවීමට සිදුවේ. මෙය අග්‍රාණ්ඩුකාරයා විසින් මහත් වීම සියල්ලෙන් කලයුතු බාරදුර කර්තව්‍යයකි. සමහර විට පාර්ලිමේන්තුවේ නියම කාලය නිමවන්නට පෙර අග්‍රාමාත්‍යයාගේ අභාවය හෝ අස්වීම හෝ හේත්‍රෙකාටගෙන ඇතිවන පුරප්පාඩුවක දී මැතිවරණයක් නොමැතිව ද අලුත් අග්‍රාමාත්‍යවරයකු පත්කිරීමටය සිදුවිය හැකිය. එබදු අවස්ථාවක දී ද ස්වබුද්ධිය සහ ස්වාභිමානය අනුව කටයුතු කිරීමට සිදුවන බැවින්, අග්‍රාණ්ඩුකාරයා සැලකිලි මත් විය යුතුය.

තවද, නියමිත කාලට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට අගමැතිගෙන් උපදෙස් ලදහොත් විරුද්ධ පක්ෂයේ නායකයා හෝ වෙනත් පක්ෂ නායකයකු හෝ අග්‍රමාත්‍යවරයා වශයෙන් කැදවීමෙන් ආණ්ඩුවක් පිහිටුවීමට පුළුවන් තත්වයක් තිබේ නම් අගමැතිවරයාගෙන් පුර්‍වෝක්ත උපදේශ ප්‍රතික්ෂේප කිරීමට බලය අග්‍රාණ්ඩුකාරයාට ඇත.

ස්ව බුද්ධිය මෙහෙයා ඉටු කළයුතු මෙකී කර්තව්‍ය යන ඔහු විසින් යුත්තේ ඒ කටයුතු සම්බන්ධයෙන් මහරජු විසින් අනුගමනය කෙරෙන සම්ප්‍රදායයන් හැකිතාක් දුරට පිළිපදිමිනි. ලංකාණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පනතේ සිවුවැනි ඡේදයෙහි දෙවැනි අතුරු ඡේදයේ මේ කාරණය සඳහන් වේ. පාර්ලිමේන්තු සභාවේ බහුතර පක්ෂයේ සහයෝගය ලැබෙන ආණ්ඩුවක් මගින් රටෙහි පාලන කාර්‍ය්‍යයන් කැරෙන බවට ඔහු විසින් පළමු කොට වග බලාගත යුතුවේ. දෙවනුව ඔහු දේශපාලන වාදභේදවලට සහභාගි නොවි , ආරවුල්වල නොගැටී සිටිය යුතුය. ඔහු ස්වකීය තත්වයට අවශ්‍ය දේශපාලන මධ්‍යස්ථතාව හා අපක්ෂ තත්වයට අවශ්‍ය දේශපාලන මධ්‍යස්ථාව හා අපක්ෂ පාත භවය රැකගත යුතුය. මහරජු විවේචනයට භාජනය නොවිය යුතු යයි බ්‍රිතාන්‍ය ආණ්ඩු ව්‍යවස්ථා සම්ප්‍රදායයක් ඇත්තේ ය. අග්‍රාණ්ඩුකාර වරයා ද විවේචනයට භාංන විය හැකි විධියේ පක්ෂග්‍රාහි කටයුතු ආදිය නොකළ යුතුය. එවැන්නක් කරන බවට මහජනයා තුළ සැකයක් හටගැනීමට ඉඩ නොතැබීමට ද අග්‍රාණ්ඩුකාරයා පරිස්සම් විය යුතුයි.

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අගමැති දෙන උපදෙස් අනුව ක්‍රියා කිරීමට හෝ ඒ උපදෙස් ප්‍රතික්ෂේප කිරීමට හා මහරජුට ශේෂ බලයක් තිබේය යන්න ජෙනිංස් ඇස්ක්වින්, ‍‍පෝර්සි හුඩ් එවට්, පිලිප්ස් ආදි ප්‍රවීණ විශේඥයන්ගේ මත යයි. එපමණක් නොව, 1926 දි මැකෙන්සි කිං නම් අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු සභාව විසුරුවා හරින ලෙස කරන ලද ඉල්ලීමක් කැනඩාවේ බිංසාමි නම් අග්‍රාණ්ඩුකාරවරයා ප්‍රතික්ෂේප කෙළේය.

1939 වර්ෂයේ දී දක්‍රණු අප්‍රිකාවේ අග්‍රාණ්ඩුකාර තැන්පත් හර්ට්සෝග් විසින් ද අගමරති පැට්‍රික් ඩන්කන් එවැනි ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරනු ලැබිණ. එංගලන්තයේ මහරජු ඒ බලය පාවිච්චි කිරීමේ දි ඇති කෙරෙන සම්ප්‍රදායන් අග්‍රාණ්ඩු කාරයා ද අනුගමනය කළ යුතුය යි ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි නියමිතය. කැනඩාවේ හා දකුණු අප්‍රිකාවේ ඉහත කී අග්‍රාණ්ඩුකාරවරුන් දෙදෙනා ම තමන් එංගලන්තයෙන් ලත් පූර්වාදර්ශ අනුගමනය කරන බව එකහෙලා විශ්වාස කළහ. මේ පිළිබඳව මහරජු සතුව ඇති ශේෂ බලය හිතුනමනාපය අනුව චපල අන්දමට පාව්චිචි නොකළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්බන්ධ විශේෂඥයන්ගේ මතයයි.

අග්‍රාණ්ඩුකාරයා ලංකාවේ ප්‍රධාන සේනාධිනායකයා ද වේ. අග්‍රාණ්ඩුකාරයා රටෙහි සේවා හමුදාවල නාමමාත්‍ර සේනාධිනායකයයා වනුයේ ඔහු ව්‍යවස්ථානුකූල ප්‍රධානයා (Constitutional head) නිසාය. සේනාධිනායක වශයෙන් ඔහු විසින් කළ යුත්තේ යුද හමුදා පරීක්ෂා කිරීම හා යුද හමුදාවලට නිවේදන සහ ප්‍රකාශන නිකුත් කිරීම ආදි චාරිත්‍රනුකූල කටයුතුය. හදිසි අවස්ථාවක් පැනනැගුණු විට සේවා හමුදාවල කටයුතු තීරණය කිරීමේ බලය ඇත්තේ අමාත්‍ය මණෟඩලයට හෝ අග්‍රමාත්‍ය වරයාටයි. එංගලන්තයේ ව්‍යවස්ථානුකූල මුලධර්ම හා සම්ප්‍රදායයන් අග්‍රාණ්ඩුකාරයා විසින් අනුගමනය කළ යුතු බව ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියා ඇත. ව්‍යවස්ථානුකූලව ඔහු ගෙන් ඉටුවිය යුතු මෙම කාර්‍ය්‍යයන් හැර ජාතිකාහි වෘද්ධියට අදාළ වන් අන් වැඩවල සහ සමාජ කටයුතුවල ද නිරත වීමට ඔහුට අවසර ඇත. මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීම, වප් මඟුල් ආදි උත්සවවලට සහභාගිවීම ආදිය නිදසුන් වශයෙන් දැක්විය හැකියි. ලංකාවේ උසස් ම අධ්‍යාපන ආයතන වන විශ්වවිද්‍යාලයන්හි චාන්සලර් හෙවත් කුලපති පදවිය දරන්නේ ද අග්‍රාණ්ඩුකාරයායි. ඔහු කිසි ම දේශපාලන පක්ෂයකට අයත් නොවේ. පක්ෂග්‍රාහී භාවයෙන් තොර වි සිටිය යුතු ඔහු ජාතියේ ප්‍රතිමූර්තිය විය යුතුය.

1948 දි ඩොමිනියන් තත්වය ලැබු ලංකාවේ අග්‍රාණ්ඩුකාර පදවිය මේතාක් දරුවෝ සර් හෙන්රි මන්ක්මේසන් මුවර් සෝලබරි සාමි සර් ඔලිවර් ගුණතිලක හා විලියම් ගොපල්ලව (1962 - ) යන ශ්‍රීමත්හුය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අග්‍රාණ්ඩුකාරයා&oldid=2511" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි