අඞ්ගහාර

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අඞ්ගහාර නම් කරණ පඞ්ක්තියකින් යුත් නෘත්තාඞ්ගයකි. කරණ යන්නට "අඩව්ව" කියා ද ව්‍යවහාර කරනු ලැබේ. "හස්තපාද සමායොගො නෘත්තස්‍ය කරණං භවෙත" යනු භරත මුනිවරයාගේ නිර්වචනයයි. මෙසේ නැටුමෙහි දී අත පය එකට යෙදීමට "කරණ" යයි කියනු ලැබේ. මෙසේ අත පය යොදන ක්‍රම කිපයක් ඇත. එහෙයින් භරත මුනිවරයා විසින් කරණ එක සිය අටක් දක්වා තිබේ. විස්තර 'නාට්‍ය ශාස්ත්‍රයේ' වතුර්ථ අධ්‍යායෙහි 34–55 ශ්ලෝකයන්ගේ දත හැකිය. එක අඞ්ගහාරයකට කරණ හයක්, හතක්, අටක් හෝ නවයක් තිබිය හැකි බව ද සඳහන් වේ. (එහි ම 30–34 ශ්ලෝක බලනු).

අඞ්ගහාර කවර කරණයන්ගේ කෙබඳු පිළිවෙළින් යුක්ත වේ ද යන්න අනුව අඞ්ගහාර තිස් දෙකක් දක්වා තිබේ. (එහි ම 171–245 ශ්ලෝක බලනු). නිදර්ශනයක් දක්වතොත්: සමපාද ස්ථානයෙහි (ස්ථාන බ.) සිටගෙන අනතුරුව ප්‍රත්‍යාලීඪ ස්ථානයට පැමිණ. ක්‍රමයෙන් ඌරූද්වෘත්ත, ආක්ෂිප්ත, ස්වස්තික, නිතම්බ කරිහස්ත හා කට්චිඡින්න යන කරණ පඞ්ක්තිය නැටු කළ ඊට කියන්නේ ස්ථිර හස්ත අඞ්ගහාරය යි කියාය. (කරණ බ.)

කර්තෘ:එදිරිවීර සරච්චන්ද්‍ර

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අඞ්ගහාර&oldid=2606" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි