අචිරවතී

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

හිමාලයෙහි අනවතප්ත (බ.) විලෙන් පටන් ගෙන නැගෙනහිර දෙසට ගලා බසිතැයි හින්දු දේවකථාවන්හි සඳහන්ව ඇති මේ ගංගාව දඹදිව පංච මහා නදීන්ගෙන් එකකි. අනෙක් සතර නම් ගංගා, යමුනා, සරභූ සහ මහී ය. අවුද් පෙදෙස හරහා ගලායන මෙකල රජ්තී (බ.) යන නමින් දන්නා ගඟ අවිරවතී නදිය යයි ඉතිහාසඥයෝ කල්පනා කරති. හිමවතින් පටන්ගනිතැයි සැලකෙන නදීන් පන්සියයක් ගැන මිලින්ද ප්‍රශ්නයෙහි සඳහන් වේ. අවිරවතී නදිය ලෝක සම්මත ගංගා දශයෙන් එකකැයි ද එහි කියා ඇත. මේ ගඟ අජිරවතී යනුවෙන් ද ඓරාවතී යනුවෙන් ද හැඳින්වේ. හියුං සාං එය හැඳින්වූයේ අ-චි-ලො නමිනි. ඊට අජිරවතී යන නම ලැබුණේ "මකරාගේ ගංගාව" යන අර්ථයෙන් බව ඉත්සිං පවසයි.

පැරණි සැවැත් නුවර (පා. සාවත්ථි; වර්තමාන සහෙත් මහෙත්) පිහිටා තිබුණේ මේ ගඟ අසබඩය. හියුං සාං එය සැවැත්නුවරට ගිනිකොන දෙසින් ගලා යන ගඟක් බැව් පවසයි. සැවැත් නුවර අසල පිහිටි පණ්ඩු පුරයෙහි විසූ කෙවුළකු පණ්ඩු පුරයෙහි සිට සැවැත්නුවරට යන අතර මගදී අවිරවතී ගං ඉවුරෙහි කැසුබු බිජුවට රැසක් තිබෙනු දුටු බව ධම්මපදට්ඨ කථාවෙහි දැක්වේ. අවිරවතී ගංගාව කොසොල් රට මැදින් ගලා ගිය බව ද පසේනදී කොසොල් රජතුමාගේ මාලිගයේ සඳලු තලයට එය පෙනුණු බව ද කියති. කස්සප බුදුරදුන්ගේ සමයේ දී අචිරවතී නදිය සැවැත්නුවර වටා ගැලූ බව පපංචසූදනයෙහි එන පුවතකින් පෙනේ. පසේනදි කොසොල් රජතුමාගේ පුත් විඩූඩභ කුමරු ශාක්‍යයන් මුළුමනින් ම නසාලූයේ අචිරවතී ගං ඉවුරේ ය. අවිරවතී හෙවත් ඓරාවතී ගඟබඩ දී අනඳ මහතෙරුන් විසින් කොසොල් රජහට බාහිතික නම් සූත්‍ර‍ දේශනාව කරන ලද බව ද පැවසේ.

අචිරවතී නදියේ නාන තොටුපළවල් බොහෝ ගණනක් තුබුණු බවත් ඉන් සමහරක ගිහිපැවිදි දෙපිරිස් ම ස්නානය කළ බවත් බුදුරජාණන් වහන්සේ භික්ෂුණින්වහන්සේලාට එබදු තැන්හි නෑම තහනම් කොට ශික්ෂාපද පැනවූ බවත් විනය පිටකයෙහි සඳහන් වෙයි.

මහ පැරකුම්බා රජතුමා විසින් කරවන ලද ඇළවල් එකුන්තිසෙන් එකක් ද අචිරවතී නම් වූ බව චූලවංසයහි හා පූජාවලියෙහි සඳහන් වේ. එය මහවැලි ග‍ඟෙන් පටන් ගෙන බටහිර දෙසට ගලා ගිය බව කියැවේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අචිරවතී&oldid=2649" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි