අජිත් සිං (ක්‍රි.ව.1679-?)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මර්වාර්හි රාජ්‍යය කළ මොහු අභීත රාජ්පුත් රජ කෙනෙකි. රාජ්පුත්වරුන්ගේ ජන්ම දායාදය වූ වීරෝදාර බව මොහු කෙරෙහි ද පිහිටා තිබිණ. රාඨෝර්වරුන් දැක්වූ පක්ෂපාතීත්වයත්, කුඩා කල සිට ම මොහුගේ ආරක්ෂාකයා සහ උපදේශකයා වශයෙන් කටයුතු කළ වීර දුර්ගාදාස් දුන් සහායත් නිසා අජිත් සිංහට මර්වාර් දේශයේ රජු වීමේ භාග්‍යය ලැබිණ.

අජිත් සිං උපන්නේ ලාහෝර්හිය. මොහුගේ පියා වූ ජස්වන්ත් සිං රජ පේශාවර් දිස්ත්‍රික්කයේ ‍මෝගල් දේශසීමා මුරපොළවල් බාරව සිටිය දී මරණයට පත්විය (1678). මර්වාර් දේශය ඈඳා ගැනීමට මාන බලමින් සිටි අවුරංසෙබ් අධිරාජයාහට මෙය කදිම අවස්ථාවක් වූයෙන් හේ එයින් ප්‍රයෝජන ගති. තමා උපදින්නට පෙර පියා මරණයට පත්වූ නමුදු අජිත් සිං කුමරා යහතින් හැදීවැඩී රාජ්පුත් ඉතිහාසයේ වැදගත් තැනක් ගැනීමේ භාග්‍යය ලදුයේය. කුඩා අජිත් සිං ස්වකීය රක්ෂාවරණය යටතේ තබා ගැනීමට අදහස් කළ අවුරංසෙබ් ඔහු දිල්ලියට ගෙන යාමට සේනාවක් එවූ විට රාඨෝර්වරු පහර දුන්හ. මේ අතර දුර්ගාදාස් ළදරු කුමරා රැගෙන පැන ගියේය. එතැන් සිට කුඩා අජිත් සිං රහසිගතව වැඩුණු අතර මර්වාර්දේශය මෝගල්වරුන්ගේ දරුණු ප්‍රහාරයන්ට ලක්විය. වැඩිවිය පැමිණි අජිත් සිං කල්යත් ම ස්වකීය රාජ්‍යයේ විමුක්තිය පතා මෝගල්වරුන්ට විරුද්ධව හමුදා මෙහෙයවූයේ ය. අවුරංසෙබ්ගේ ඇවෑමෙන් මෝගල් අධිරාජයා වශයෙන් පත් වූ පළමු වැනි බහාදූර් ෂා විසින් ක්‍රි.ව. 1709දී අජිත් සිං මර්වාර්හි රජු වශයෙන් පිළිගනු ලැබීය. බහාදූර් ෂා රජුගේ මරණයෙන් පසු මෝගල් රාජ්‍යය ආක්‍රමණය කළ මොහු 1714දී මෝගල් අධිරාජ්‍යයා සමඟ සමගි සන්ධානයක් කොට සිය දූ කුමරියක පවා මෝගල් රජුට පාවා දුන්නේය. එවක් පටන් අජිත් සිං මෝගල් පාලන කටයුතුවල වැදගත් තැනක් ඉසිලීමට පටන් ගත්තේය. 1721 තෙක් ඔහු අජ්මීර් සහ ගුජ්රාත් දේශයන්හි පාලක තැන වශයෙන් ද කටයුතු කළේය. ‍මෝගල්වරුන්ට විරුද්ධව මරාඨීන්ට උදව් දුන් හෙයින් මොහු ගුජරාත් දේශයේ පාලක තනතුරින් පහකරනු ලැබීය.

ටික කලකට වුව ද මර්වාර් දේශයේ ජාතික ප්‍රබෝධයක් ඇතිකළ අජිත් සිං අන්තිමේ දී සැහැසි මරණයකට ගොදුරු විය. සිය පුත් වූ භක්ත් සිං අතින් මොහු මැරුම් කෑවේය. මෙය රාජස්ථානයේ ඉතිහාස ග්‍රන්ථ‍යන්හි දරුණු අපරාධයක් ලෙස සලකනු ලැබෙයි.

(සංස්කරණය:1963)