අඤ්ජනම් එළි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඖෂධ වර්ග එකක් හෝ වැඩි ගණනක් අඹරා හෝ දවා අඳුන් බස්වා මන්ත්‍ර පිරවීමෙන් හෝ පිරිසිදු ජලය, තැඹිලිවතුර යන මෙයින් එක් වර්ගයක් පිරවූ කැටයම් රහිත වීදුරුවකට ජප කිරීමෙන් හෝ, සඳුන්තෙල් ආදි තෙලකට මතුරා නිය‍පොත්තේ ගෑමෙන් හෝ, යටපැත්තේ අඳුන් ගා ඊ මතුපිට සුදු නිලක් ඇල්ලූ මුදුවකින් නැතහොත් කිසි ම ඖෂධ සංයෝගයක් නොමැතිව හුදෙක් පහන් දැල්ලට ජප කිරීමෙන් හෝ හනුමා හා අඤ්ජන දේවී ප්‍රධාන ‍‍කොට ඇති දෙවි‍දේවතාදීන් මන්ත්‍ර බලයෙන් ගෙන්වා ඔවුන්ගේ සහායයෙන් අවශ්‍ය කරුණු දැන ගැනීමට ඉවහල්වෙතැයි සැලකෙන ශාස්ත්‍ර විශේෂය අඤ්ජනම් එළි ශාස්ත්‍රය නම් වේ.

අඤ්ජනම් එළි බැලීමේ දී පහන් ආලෝකය ‍හෝ සූර්‍ය්‍යාලෝකය යථාපරිදි ආධාර කරගත යුතුයි. විදුලි පන්දමකින් නිකුත්වන ‍ආලෝකයකට බඳු සියල්ල පැහැදිලි ලෙස දැකගැනීමට ආධාරවන එළියක් අඳුන මැදින් දර්ශනය වන්නේල. එය අඤ්ජනමට අයිති එළියයි. බලාගත යුතු ස්ථාන, වස්තු, සලකුණු හා දෙවි දේවතාදීන් දැක ගැනීමට මේ එළිය ඉවහල් වේ. අපේක්ෂිත කරුණු හෙළිකර දෙන්නේ අඤ්ජනම ක්‍රියා කරවන හනුමා ආදි කිසිවකු විසිනි.

අඤ්ජනම් එළි නානා ප්‍රභේද විෂය කොට පවත්නේ වෙයි. හැමදෙනාට ම බලාගත හැකි අඤ්ජනම්වලට සර්වාඤ්ජනම් යයි ද, වෛශ්‍රවණ දිව්‍යරාජයා ඇතුළු අනිකුත් දෙවිවරුන්ගේ සහාය ඇතිව අමනුෂ්‍ය උපද්‍රවාදිය දැනගැනීමට ඉවහල් වන අඳුන් විශේෂයට දිව්‍යාඤ්ජනම් යයි ද, භූත උපද්‍රවාදිය දැන ගැනීම සඳහා නියපොත්තේ හෝ අල්ලේ ගා බලන අඳුන් වි‍ශේෂයට භූතාඤ්ජනම් යයි ද, පොළොව යට ඇති රන් රිදී, මැණික්, නිදන් ආදිය බලාගත හැකි අඳුන් වර්ගයට පාතාල අඤ්ජනම් (නිධි දර්ශක අඤ්ජනම්) යයි ද, යකුන්ගේ මාර්ගයෙන් කරුණු දැනගැනීමට ඉවහල් වන අඳුන් වි‍ශේෂයට යක්ෂ අඤ්ජනම් යයි ද, ප්‍රේතයන්ගේ ආධාරයෙන් කරුණු දැනගතහැකි අඳුන්වලට ප්‍රේතාඤ්ජනම් යයි ද සූනියම් දේවතාදීන් ගෙන්වා අවශ්‍ය දේ දැනගැනීමට ඉවහල් වන අඳුන් වර්ගයට දේවතාඤ්ජනම් යයි ද, අංගම් පිල්ලි ආදිය දැන ගැනීමට උපකාර වන, අත්ලෙහි ඖෂධාදිය ආලේප කර බලන, අඳුන්වලට හස්තාඤ්ජනම් යයි ද , සඳුන් ආදි තෙල්වර්ගයකට මතුරා දකුණතේ මහපටඟිලි නියපොත්තේ ගා බලන අඳුන් වි‍ශේෂයට නඛාඤ්ජනම් යයි ද, නිදහන් වස්තු තිබෙන තැන් ආදිය දැනගැනීම සඳහා නෙත ගා බලන අඳුන්වලට නෙත්‍රාඤ්ජනම් යයි ද, සූර්‍ය්‍යාලෝකයෙන් බලන අඳුන් විශේෂයට සූර්‍ය්‍යාඤ්ජනම් යයි ද, විෂ්ණු දෙවියන් ප්‍රධාන කොට ඇති වෙනත් දෙවිවරුන් මගින් කරුණු දැනගත හැකි අඳුන් වර්ගයට විෂ්ණු අඤ්ජනම් යයි ද, දලු එකසිය අටවර්ගයකින් සාදන අඳුන් විශේෂයට ශ්‍රී පත්‍රකාලි අඤ්ජනම් යයි ද, මුද්දක ගල අල්ලන සිදුරු පත්ලට අඳුන් බහා ඊපිට ආරනූලක් හෝ සුදුනිලක් බැඳ සූර්‍ය්‍යාලෝකයට හෝ පහන්දැල්ලට අල්ලා බලන අඳුන් විශේෂයට මුද්‍රාඤ්ජනම් යයි ද, බුලතෙහි ඖෂධ ගල්වා බලන අඳුන්වලට තාම්බූලාඤ්ජනම් යයි ද, කපුරු දවා අඳුන් බස්වා පිළියෙල කරගන්නා අඳුන්වලට කර්පූරාඤ්ජනම් යයි ද, කිසිම ඖෂධ සංයෝගයක් නොමැතිව හුදෙක් පහන් දැල්ලට මතුරා බලන අඤ්ජනම් ක්‍රමයට දීපශිඛාඤ්ජනම් යයි ද, පෙරාගත් පිරිසිදු ජලය හෝ තැඹිලි වතුර කැටයම් නැති තඹලේරුවක පුරවා පිච්චමල් තුනක් දමා පහන් ආලෝකයෙන් බලන ක්‍රමයට කාචාඤ්ජනම් යයි ද ව්‍යවහාර කරති.

සර්වාඤ්ජනම් යන නමින් හැඳින්වෙන අඳුන් විශේෂය හැර අනිකුත් අඤ්ජනම් එළි හැම දෙනකුට ම ‍නොපෙනෙන බැවින් ඊට සුදුසු අය ‍තෝරා ඒ සඳහා යෙදිය යුතුයි. සර්පයන් හෝ සුනඛයන් විසින් දෂ්ට කරනු ලැබූවන්ට ද ගින්නෙන් දැවුණවුන්ට ද කිඹුලන් ස්පර්ශ කළවුන්ට ද අඤ්ජනම් එළි නොපෙනන බවත්, රෙහෙණ, පුනාවස, පුවසළ, උතුරුසළ, සුවණ, උතුරුපල්, උතුරුපුටුප ආදි නැකත්වල එක්තරා පාද භේදයකට අනුව උපනුන්ට පෙනෙන බවත් පොතෙපතෙහි සඳහන් වේ.

අඤ්ජනම් එළියක් බැලීමට අදහස් කරන ස්ථානය හා අඳුන බලන අය ද පවිත්‍රභාවයෙන් යුක්ත විය යුතුයි. පීරිසියක හෝ හෙප්පුවක හෝ බුලත් කොළයක අඳුන් ගල්වා නියමිත පුද සහිත මල් බුලත් තටුවක් තනා පහනක් දල්වා දෘෂ්ටිමන්ත්‍රාදිය ජපකර අඳුනට දුම් අල්ලා එය බලන අය අතට දී අඤ්ජනමට අයිති එළිය පෙනේවායි ද සිතීමට නියම කරනු ලැබේ. එකල නිල්පැහැයෙන් යුත් එළියක් පෙනේල. එය විශාල වේවායි ද ඒ අඤ්ජනම් එළියට අයිති දෙවිවරු පැමිණෙත්වායි ද සිතූ විට එළිය විශාල වී එය දෙපළුකර ගෙන දෙවිවරු පැමිණෙත්ල. ඉන්පසු හනුමා සහ අඤ්ජන දේවි ගෙන්වන මන්ත්‍ර මතුරා එළිය උවමනා ස්ථානය කරා පිටත් කර අවශ්‍ය කරුණු දැනගත හැකි යයි කියත්. එළිය බලා අවසන් වූවාට පසු දෙවියන්ට පින් දී ස්වකීය විමන් කරා යාමට ආරාධනා කිරීම සිරිති. අඤ්ජනම් එළි ශාස්ත්‍රයේ ප්‍රභවය කවර කලෙක වී දැයි නිගමනයකට බැස ගැනීම දුෂ්කර කරුණකි. තන්ත්‍රශාස්ත්‍ර ප්‍රභවය සමඟ ම එය ද ඇති වී යයි විශ්වාස කළ හැකිය.

සංස්කෘත භාෂාවෙන් ලියැවුණු කාමරත්නාදී පැරණි ග්‍රන්ථවල ද අඤ්ජනම් පිළිබඳ කරුණු ඇතුළත් වේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අඤ්ජනම්_එළි&oldid=1362" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි