අට්ඨධම්ම සමෝධානය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අෂ්ට ධර්මයකින් හෙවත් කරුණු අටකින් යුක්තවීම අට්ඨධම්ම සමෝධාන නම් වේ. එනම් බුද්ධත්වය අපේක්ෂා කරන උත්තම පුද්ගලයකු විසින් බුදුබවට පළමුවන විවරණය ලබන දවසෙහි මනුෂ්‍යාත්මභාවය ලබා සිටීම, පුරුෂාත්මභාවය ලබා සිටීම, රහත්වීමට හේතුව ඇතිබව හෙවත් ඒ ජාතියේ විදසුන් වඩා රහත්වීමට වුව ද සමර්ථවීම, ශාස්තෘ දර්ශනය හෙවත් බුදුකෙනෙකුන්වහන්සේ දැකීම, පැවිදිව සිටීම, ගුණසම්පත්තිය ලදබව හෙවත් ධ්‍යානාදි ගුණධර්ම ලබා සිටීම, අධිකාරය හෙවත් අධික වූ පරිත්‍යාගය, ඡන්දතාව හෙවත් බුදුවීමේ බලවත් කැමැත්ත යන මේ කරුණුයි. මෙහි මනුෂ්‍යාත්මභාවය නම් බුදුවීමට පළමුවන විවරණය ලබා ගන්නට ප්‍රාර්ථනා කරන බෝධිසත්වයන් මිනිසත් බව ම ලැබ සිටිය යුතු බවයි. දිව්‍ය හෝ අන්‍ය ආත්මභාවයක් හෝ ලැබ මුල් විවරණය නොලද හැකියි. මිනිසත්බව ලදුවත් ස්ත්‍රීව බුදුබවට විවරණ ලද නොහැකි බැවින් අවශ්‍යයෙන් ම පිරිමිබව ලදමනායි. බුදුබවට පළමුවන විවරණ ලබන්නා ඒ අත්බැව්හි ම රහත්විය හැකි තරමට පිනින් මෝරා ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ලැබ සිටියකු විය යුතුයි. බුසුකෙනෙකුන්වහන්සේ දැක සතුටුවිය හැකි පරිදි හෙවත් උන්වහන්සේ වෙනුවෙන් දිවි පවා පිදිය හැකි තරම් ශ්‍රද්ධාගෞරවයෙන් සම්පූර්ණ විය යුතුයි. බුදුසසුනෙහි හෝ කර්මවාදී සමයක හෝ පැවිද්ද ද ලදමනායි. පංච අභිඥා, අෂ්ට සමාපත්ති වැනි ගුණධර්ම පැවිදිගුණ වශයෙන් ලැබ ගැනීම ද අවශ්‍යය. බුදුවිය හැක්කෙ ජීවිත පරිත්‍යාගය කරන තරමට අධික පරිත්‍යාගශක්තිය ඇති කෙනකුට හෙයින් එබඳු ජීවිතපරිත්‍යාග ශක්තියක් ඇතිවිය යුතුයි. බුදුවන්නට වීර්‍ය්‍ය වඩන උතුමා කෙරෙහි බුදු වෙමි යන තියුණු අදහස හෙවත් බලවත් කැමැත්ත ද අවශ්‍යයෙන් ම තිබිය යුතුයි.

බුද්ධත්වය ලබන්නට ප්‍රාර්ථනා කරන උතුමාට පළමුවන විවරණ ලබන දින මෙකී කරුණු අට සම්පූර්ණ විය යුතු මය. පසේබුදුබව පතන බෝසත්හට පළමු විවරණ ලබන විට මෙයින් කරුණු පහකින් යුක්තවීම අවශ්‍යය. එනම් : මිනිස්බව ලැබීම, පිරිමිබව ලැබීම, බුදු පසේබුදු රහත් යන යම්කිසි කෙලෙස් නැති උතුමකු දැක්ම, අධිකාරය, බුදුබවෙහි බලවත් අදහස යන පසයි. මෙහි ඇති වෙනසක් නම් බුදුබව පතන්නකු බුදුවරයකු ම දැක්ක යුතු වීමයි. පසේබුදුබව පතන්නාට රහත් උතුමකු දැකීම ද ප්‍රමාණ වේ. රහත් වන්නට ප්‍රාර්ථනා කරන උතුමා පළමුවන විවරණ ලබන දවසෙහි මෙකී ධර්ම අටින් දෙකකින් සම්පූර්ණ විය යුතුය. එනම් අධිකාරය හෙවත් රහත් බව වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ හැකි බව හා ඒ පිළිබඳ බලවත් අදහසයි. බුද්ධවංසට්ඨකථා, පූජාවලි, සර්වඥගුණාලංකාර ආදි පොත්වල මේ පිළිබඳ විස්තර පළ වේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අට්ඨධම්ම_සමෝධානය&oldid=1413" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි