අටාහුඅල්පා (ආටාවාල්පා) (?-1533)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මොහු වනාහි පේරුහි අන්තිම ඉන්කා හෙවත් අධිරාජයාය. වයිනා කාපාක් නම් අධිරාජයාගේත් ක්විටෝහි පාලකයාගේ දුහිතෘ පාච්චාස්ගේත් ප්‍රියතම පුත්‍රවූ මෙතෙමේ ක්විටෝහි දී උපන්නේය. උභය පාර්ශ්වයෙන් ම ඉන්කා පෙළපතින් පැවැත නොආ බැවින්, පේරුවියානු නීතියට අනුව අටාහුඅල්පාට රාජ්‍යය අහිමි විය. වයිනා කාපාක්ගෙන් පසු රාජ්‍යයට පැමිණියේ ඉන්කා පෙළපතෙහි බිසවක කුස උපන් වාස්කාර්ය. එහෙත් මව්පසින් ආ ක්විටෝ රාජ්‍යය අටාහුඅල්පාට උරුම විය. 1530 දී මේ රාජ්‍යද්වය අතර පිහිටි පළාතක් සම්බන්ධයෙන් දෙරජුන් අතර අරගලයක් හටගත්තේය. 1532 දී ඇති වූ සිවිල් යුද්ධයේ දී අටාහුඅල්පා, වාස්කාර් පරදවා පේරුවියානු අධිරාජ්‍යය දිනාගත්තේය. වාස්කාර් සිර අඩස්සියේ තබනු ලැබීය.

ස්පාඤ්ඤ දේශගවේෂක ප්රාන්සිස්කෝ පිසාරෝ විශාල ස්පාඤ්ඤ සේනාවක් සමග රට අභ්‍යන්තරයට එමින් සිටියේ යටකී සිවිල් යුද්ධ සමයේ දී ය. 1532 නොවැම්බර් 15 වැනිදා කාහාමාර්කා ප්‍රදේශයට ඇතුළු වූ හේ පර්නාන්ඩෝ ඩි සෝටෝ සහ තම සහෝදරයා වූ පර්නාන්ඩෝ ද නියෝජිතයන් වශයෙන් යවා අටාහුඅල්පා බැහැදැකීමට අවසර ලබාගත්තේ ය. අටාහුඅල්පා අධිරාජයා පසුදින සන්ධ්‍යාවෙහි කාහාමාර්කාවේ මමා චතුරස්‍රයට පැමිණ, සන්නද්ධ නොවූ සාරදහසක් පමණ ජනයා පිරිවරාගෙන සිටියේය. පිසාරෝ සිය සේනාව අටාහුඅල්පාට හදිසියේ පහර දෙන්ට හැකි වන පරිදි චතුරස්‍රාභිමුඛ වීදිවල ඒ ඒ තන්හි සිටුවා තිබිණ.

සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන ලද්දේ පූජකවරයකු විසිනි. ක්‍රිස්තු භක්තියත් රෝමානු කතෝලික ප්‍රතිපත්තියත් විස්තර කළ එතුමා (ස්පාඤ්ඤයේ) පස්වැනි චාල්ස් අධිරාජයා තම ස්වාමියා වශයෙන් පිළිගන්නා ලෙසත් ක්‍රිස්තු භක්තිය වැලඳ ගන්නා ලෙසත්, අටාහුඅල්පාගෙන් ඉල්ලා සිටියේය. මේ අද්භූත අනුශාසනය අසා සිටි අටාහුඅල්පා ක්‍රිස්තු භක්තිකයකු වීමත් ස්පාඤ්ඤ ආධිපත්‍යය පිළිගැනීමත් කිසිසේත් කළ නොහැකි බව එකහෙළා පළ කෙළේය. ඉවසුම් නොදෙන තරම් කෝපයට පත් හේ පූජකතුමාගේ අතින් බයිබලය ගෙන වීසි කළේය. සාකච්ඡාවේ ප්‍රතිඵලය ඇසූ පිසාරෝ කලින් සූදානම් කරගෙන තිබුණු පරිදි ක්ෂණික ප්‍රහාරය සඳහා සංඥාව දුන්නේය. හැම පසෙකින් ම කඩා පැන්න ස්පාඤ්ඤ භටයෝ ආරක්ෂා විරහිත වැසියන්ට පහර දෙන්නට වන්හ. අටාහුඅල්පා පිසාරෝ විසින් ම අල්ලා සිර කරනු ලැබීය. ව්‍යාජ නඩු විභාගයක් පවත්වා තම සිර කාමරය රනින් හා රිදීයෙන් පුරවා ලූ විට ඔහු නිදහස් කරන බවට පොරොන්දු වූ නමුත් එසේ කළ කල්හි ද කුමන්ත්‍රණ කිරීම් ආදි වෙනත් චෝදනා ඉදිරිපත් කර 1533 අගෝස්තු 29 වැනි දා කාහාමාර්කා චතුරස්‍රයේ දි හේ මරුමුවට පත් කරනු ලැබීය. අටාහුඅල්පාගේ මරණයත් සමඟ පේරුවියානු අධිරාජ්‍ය ද බිඳ වැටුණේය.

(සංස්කරණය:1963)