අඩන්සෝනියා (අඩන්සෝනියා ඩිගිටාටා -Adansonia digitata L.)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
1-3.jpg
බොම්බකායේ (Bombacaceae)කුලයට අයත් මේ ශාකයේ කඳ ඉතා විශාලය. එහි විෂ්කම්භය සමහර විට අඩි 30කට වඩා අධික වන්නට පුළුවන. එහෙත් කඳ වඩා උස නැත. තද පලාවන් කොළ පාණිවත් (palmate) ය. සුදු පෙති ඇති මලේ රේණු දම්පාටය. ඵලය ලබු ගෙඩියක් වැනිය. එහි මැද ඇති මොළොක් කොටස සමහරු කෑමට ගනිති. රෙදි සහ කඹ සෑදීමට සුදුසු කෙඳි මේ ගසේ පොත්තෙන් ලැබේ. ලීය සැහැල්ලුය. එහි ජලය ගබඩා වී තිබේ.

බොහෝ ආයුෂ ඇති මේ ගසේ ජන්ම භුමිය නිවර්තන අප්‍රිකාවය. ස්වභාවධර්ම විද්‍යාඥයකු වූ ඇඩන්සන්ගේ නාමය සිහි කිරීම් වශයෙන් මේ ශාකයට ඔහුගේ නම යොදන ලදි. අරාබි වෙළෙන්දන් විසින් පළමුවරට ලංකාවට ගෙනෙන ලද අඩන්සෝනියා ශාකය මන්නාරම සහ යාපනය වැනි ලංකාවේ උතුරු වියළි ප්‍රදේශවල දැන් හමුවේ. ගස මෝරන විට ක‍‍ඳේ මැද වතුර ගැලුම් 250ක් පමණ ගබඩා කර ගත හැකි විශාල කුහරයක් සෑදේ. ඕස්ට්‍රේලියාවේ තිබෙන විශේෂය අඩන්සෝනියා ග්‍රෙගරි නමින් හැඳින්වේ.

අඩන්සෝනියා ශාකය ලංකාවේ සත්ව සහ ශාක ආරක්ෂා කිරීමේ පනත යටතෙහි ආරක්ෂිතය. මෙය සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ බෙඔබැබ් නමිනි.

(සංස්කරණය:1963)