අඬනහිරිය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
1-21.jpg
1-22.jpg
ලංකාව, ඉන්දියාව, මලයාව, උතුරු ඕස්ට්‍රෙලියාව හා නිවර්තන අප්‍රිකාව යනාදී ප්‍රදේශවල මේ ශාකය වැවේ. මෙය ලංකාවේ පාතරට වියළි ප්‍රදේශවල ඉතා බහුලය.

කහ අඬනහිරිය (ක්‍රොටලාරියා රෙටුසා-Crota-laria retusa L.) වනාහි දිග, සෘජු ශාඛා ස්වල්පයකින් යුක්ත ස්ථූල පැළෑටියකි. කොළය අඟල් 2ක් පමණ දිගය. යට පැත්තේ සිහින් බූවක් ඇත. අඟල් 6 සිට 12 දක්වා දික් වූ සෘජු අග්‍රස්ථ ඒකාක්ෂ පුෂ්පමංජරිවල (racames) අඟල් 1¼ක් පමණ දිග කහපාට මල් බොහෝ තිබේ. මලේ මුකුටය ඝණ්ටාකාර (campanulate) ය. අඟල් 1½ක් පමණ දික් වූ දම්පාටට හුරු කොළපාට කරල සිලින්ඩරාකාරය. කරලේ කෙළවර ස්වල්පයක් නැමී තිබේ. එක කරලකට ඇට 15 සිට 20 දක්වා වෙයි. දැඩි කෙදි වර්ගයක් ලබා ගැනීමට මේ ශාකය ඉන්දියාවේ වවනු ලැබේ.

ක්‍රොටලාරියා රෙටුසා වල තවත් ප්‍රභේදයක් (ප්‍ර. මරිටිමා) ලංකාවේ මුහුදු වෙරළබද ප්‍රදේශවල වැවේ. මේ ශාකයේ කඳ බිම වැතිර සිටී. එය අතිශයින් බූ සහිත ය. මල් කොට වූ ඒකාක්ෂවල රාශීභූත වී තිබේ.

ක්‍රොටලාරියා මූක්‍රොනාටා (Crotalaria mucronata Desv) තවත් කහ අඞනහිරිය විශේෂයකි. මේ ශාකයේ කොළ ත්‍රිපත්‍රීය (trifoliate). පත්‍රිකාවල යට පැත්තේ ඉතා සිහින් බූවක් වෙයි.

නිල් අඬනහිරිය (ක්‍රොටලාරියා වෙරුකොසා-Crotalaria verrucosa L.) අඩි 2ක් හෝ 3ක් පමණ උසය. තරමක් ලොකු උපපත්‍ර (stipules) වෙයි. ස්වල්පයක් නැමුණු ඒකාක්ෂ අඟල් 6 සිට 12 දක්වා දිගය. මල් ඝණ්ටාකාරය; දම්පාටට හුරුය; කලාතුරකින් සුදුපාටය. අඟල් 1½ පමණ දිග ඇති කළුපාට කරලේ එක කොනක් පළල්ය. කරල් බූසහිතය. මෙය ලංකාවේ පාතරට ප්‍රදේශවල බහුලව වැවෙන වල් පැළෑටියකි.

අඬනහිරිය, ලෙගුමිනාසේ (බ.) කුලයෙහි පපිලි ‍යොනාසේ උපකුලයට අයත් ශාකයකි. පොල්, රබර් හා තේ වතුවල අමු‍කොළ පෝර (green manure) වශයෙන් අඩනහිරිය විශේෂයෙන් වවනු ලැබේ.

ආයුර්වේද මතය: නිල් අඬනහිරිය කොළ උෂ්ණ ගුණ ඇත්තේය. තිත්තය, තීක්ෂණය, කඵෝත් සාරකය, වමනෝත්පාදකය, පිත්, සෙම්, අජීර්ණ, ජ්වර, රක්ත දෝෂ, චර්ම රෝග හා හෘදය, මුඛ කණ්ඨ ආශ්‍රිත රෝග ද නසයි. කහ අඬනහිරිය ග්‍රහණි, කුෂ්ඨ හා වර්ම රෝගයන්ට ද පිස්සුබලු විෂට ද යොදනු ලැබේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අඬනහිරිය&oldid=2899" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි