අත්තන
නිවර්තන ප්‍රදේශවල මේ ශාකය බහුලය. ලංකාවේ මේ ශාකය වඩා වැවෙන්නේ පාළු ඉඩම්වලය. කළු අත්තන පැළෑටියේ මල් තද දම් පාටය. ඵල අත්තන පැළෑටියේ මල් සුදු පාට ය.
මේ පැළෑටියේ කොළ හා ඇට ඖෂධ මෙන් පාවිච්චි කරති. මල් ඇති අත්තන පැළෑටියක, ළා කොළවල හා ඇටවල ඇට්‍රොපීන් (atropine), හයොසයමින් (hyoscymine) හා හයොසින් (hyoscine) නම් වූ ඇල්කලොයිඩ (බ.) තිබේ.
ආයුර්වේද මතය: ලංකාවේ අත්තන තුන් වර්ගයක් තිබේ. ඒවා ඵළ අත්තන, කළු අත්තන, තුන්බෝ අත්තන යන නම්වලින් හැඳින්වේ. අත්තන විෂ සහිතය; තික්තය; උග්‍රය; සිහි මුළා කරයි.
ආමයික ප්‍රයෝග: උකුණන්, ලේඬීන් යන කෘමීන් ද, ජ්වර, කුෂ්ඨ, ව්‍රණ, කණ්ඩු, සෙම්, විෂ සහ වේදනා ද නසයි. ඇස වටේ කොළ යුෂ ආලේප කළ කල්හි චකුෂුතාරාව විස්තාරණය වේ. අත්තන කොළ දුම් බීමෙන් ශ්වාසය සන්සිඳේ. දේශීය පිස්සු බලු වෙදකම හෙවත් අලර්ක විෂ චිකිත්සාවෙහි අත්තන ප්‍රශස්ත ඖෂධයකි. පිස්සු බල්ලන්ගේ විෂ ශරීරගත වූ කල පිස්සු ගැන්වීමට කළු අත්තන කොළ යුෂ මිශ්‍ර කරන ලද රොටී සාදා දෙනු ලැබේ. අත්තන ගසේ පංචාංගය ම බෙහෙතට ගනිති.
ගණ්ඩවලට ද වාත රෝගයෙන් ඇති කරන හන්දි ඉදිමුම්වලට ද අත්තන කොළවලින් සාදා ගන්නා බෙහෙත් පාප්ප සුදුසු පිළියමක්ය. අත්තන ඇට නිද්‍රාජනක ද්‍රව්‍යයකි. ඒවා වස ද්‍රව්‍යයක් මෙන් ද මර්දන කාරක ඖෂධයක් මෙන් ද බොහෝ විට පාවිච්චි කරති.
(සංස්කරණය:1963)