අත්තරගම රාජගුරු බණ්ඩාර (1700-1782)
මහනුවර සාහිත්‍ය යුගයේ කරතොට පරම්පරාව නමින් සඳහන් ආචාර්‍ය්‍ය පරම්පරායෙහි ආදිමයාය. තත්කාලීන ශ්‍රේෂ්ඨතම ප්‍රාචීන ගිහි පඬිවරයා ද විය. විස්තර විසින් හඳුන්වා ලීමට තරම් වන වගතුග නොලැබෙතත් එතුමා මහනුවරට නුදුරු අත්තරගම උප්නනකු බවත් රාජගුරු තුමකු වූ බවත් බණ්ඩාර පෙළපතකින් පැවත ආවකු බවත් ව්‍යවහාර නාමයෙන් හෙළි වෙයි.
අත්තරගම විසූ බණ්ඩාර පෙළපතකට අයත් දුග්ගන්නා උන්නාන්සේ කෙනකුන්ට රජුගේ සහෝදරයකු නිසා ලැබුණු අත්තරගම රාජගුරු බණ්ඩාර රාජගුරුන්නාන්සේ නම් පුතෙක් ආණ්ඩුවේ උසස් තනතුරු දැරී යයි ද ඔහුට කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙන් අම්පිටියෙන් ඉඩකඩම් ලැබුණේ යයි ද ලෝරි මහතා පවසයි. ඔහුට අත්තරගම හා ගුන්නෑපාණෙහි පිය උරුමයෙන් ලත් ගම්බිම් තිබුණු බව ද ගණේගොඩ කුමාරිහාමි කෙනකුන් විවාකරගත් ඔහු පුතුන් දෙදෙනකු හා දුවක ද ලබා 1782 දී මිය ගිය බව ද හේ වැඩිදුරටත් කියයි.
අකුරු කරන වියෙහි සිටි බණඩාරට මහනුවර පෝයමළු විහාරයෙහි වැඩ සිටි කොබ්බෑකඩුවේ සිරිනිවාස හිමියන් ලිවීම කියැවීම හුරුපුරුදු කරවූහයි ද වැලිවිට සරණංකර හිමියන් ප්‍රාචීන භාෂාඥානය ලබා දුන්හයි ද කියති. මෙසේ ඉගෙනීම ලබත් ම ඔහුගේ සිතට රිසි වූයේ පැවිදි ජීවිතයක් ගත කරමින් එදා පිරිහීමට පත්ව තුබුණු ශාසනයේත් ජාතියේත් උන්නතිය පිණිස හැකි තරම් සේවයක් කිරීමය. ඒ රිසිය ඉටු කර ගැනීමේ මඟ පෑදිණ. දෙමාපියන්ගේ අනුදැනුම ඇතිව අත්තරගම බණ්ඩාර පැවිදි කරවනු ලැබීය.
එතැන් පටන් හදාළ ධර්ම විනය ඇතුළු පාලි සංස්කෘත ව්‍යාකරණ ඡන්දෝලංකාර ග්‍රන්ථයන්හි ප්‍රවීණත්වයට පැමිණි උන්වහන්සේ වෙත ඉගෙන ගන්නා රිසියෙන් නානා දිශායෙන් එන ගිහි පැවිදි සිසුන්ගේ ගණන ක්‍රමයෙන් නැඟෙන්නට වන. ඔවුන්ගේ මනදොළ සපුරාලමින් ආචාර්‍ය්‍යවරයකු බවට පත් එහිමියන් 1753 දී ලක්දිව උපසම්පදාව පුනරුත්ථාපනයට පත් කර වදාළ උපාලි මහතෙරුන් උපාධ්‍යාය කොට සියම් මහා සංඝයාගෙන් උපසපන් වූහයි ද පැවැසේ. එහෙත් පැවිදි නාමය හෝ පැවිදිව සිටිය දී කළ ග්‍රන්ථනාමයක් හෝ නොසඳහන් නමුදු එතුමා පැවිදි කල මහනුවර උපෝෂථාරාම විහාරයෙහි නිවාසීව සිටි බවද වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශ්‍රේෂ්ඨ ශිෂ්‍යවරයකු වී සිටි බව ද තමාගේ අග්‍ර ශිෂ්‍ය හීනටි කුඹුරේ සුමංගල හිමි ඉතා ගැඹුරු දහම් කොටසක් ඇතුළත් මිළින්දපඤ්හ නම් පාලි ග්‍රන්ථය එහි දහම් කොටස් සුගම වන සේ මිලන්ද ප්‍රශ්න නමින් සිංහලයට පෙරළීමට සමත්වූයෙන් ධර්ම ශාස්ත්‍ර විෂයෙහි විශාරදව එහි චිරස්ථිතියට හේතුවන ශිෂ්‍ය පරපුරක් හදා වඩා ලූ බව ද නිසැකය. ශ්‍රද්ධාවෙන් ම සසුන්ගතව තෙර පදවියට ද විශාරද භාවයට ද පැමිණි හිමි නමක්ව සිටි නමුදු අත්තරගම හිමියනට මහණකමෙහි ම සිටින්නට ඉඩ නොලැබිණි. සිවුරු හළ මැනැවැ" යි රජතුමා කළ ආරාධනය පරිදි මේ යතිවරයා ගිහි විය. ඉක්බිති රජතුමා ඔහු රාජගුරු" පදවියෙන් පිදීය. ඉන් පසු සිය පදවියට හිමි යුතුකම් ඉටුකරමින් ම ඉගැන්වීම ද ග්‍රන්ථ සංස්කරණය සහ නිෂ්පාදනය ද නොහළ ඒ පඬිවරයා අත්තරගම රාජගුරු බණ්ඩාර නමින් හැඳින්වෙන්නට වන්නේය. මොහු රාජාධිරාජසිංහ රජුගේත් ඔහුට පෙර දෙරජුන්ගේත් ගුරුහු වූහයි මොඩර් මහතා කියයි. රජුන් තිදෙනකුට ගුරු වූ හෙයින් මෙතුමා "තිකරජගුරු" නමින් ද හැඳින්‍විණ.
පාලි, සංස්කෘත, ව්‍යාකරණ, ඡන්දස් සහ වෛද්‍ය ග්‍රන්ථයන්ගෙන් මෙරට ආධුනිකයනට ප්‍රයෝජනවත් කොටස් සිංහලයෙන් විස්තර කරලීම් වශයෙන් ද අනුවාද කිරීම් වශයෙන් ද ස්වකීය නිෂ්පාදන වශයෙන් ද අත්තරගම රාජගුරු බණ්ඩාර මහතා අතින් ලියැවුණු පොත් ගණන්ක වෙයි. කාරක පුෂ්පමංජරී, ශබ්දමාලාව, සුධීර මුඛමණ්ඩනය හෙවත් සමාසචක්‍රය යන ව්‍යාකරණ ග්‍රන්ථ තුන ද වෘත්තාවතාරය යන ඡන්දස් ග්‍රන්ථය ද සාරසංක‍්ෂේපය නම් වෛද්‍ය ග්‍රන්ථයට කළ සිංහල ව්‍යාඛ්‍යානය ද එහි ඇතුළති. වදන්කවි පොත ද එතුමන්ගේ කෘතියක් සේ ඇතැම්හු සලකත්. සිංහල සාහිත්‍යයේ පෝෂණය පතා කරන ලද මේ පොත් එතුමාගේ පාණ්ඩිත්‍යයත් උදාර අධ්‍යාසයත් එදා භාෂා තත්ත්වයත් මැන ගැනීමට ඉවහල් වැදගත් කෘතීන් බව කිවමනාය.
සිංහල මිලින්ද ප්‍රශ්නය කළ හීනටිකුඹුරේ සුමංගල හිමියෝත් රාජාධිරාජසිංහ රාජයාගෙන් ගම් වරක් පුද ලද බාරස කාව්‍යය කළ කරතොට ධර්මාරාම හිමියෝත් යන වියත් පැවිදි හිමිවරු දෙනම මේ රාජගුරු තුමාගෙන් සිප්සතර උගත් පැවිදි ශිෂ්‍යයෝය. එතුමාගේ ගිහි ශිෂ්‍යයන් අතුරෙන් වීරඟුලේ ගුරුතුමා මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ පඬිවරයෙකි.
පහතරට දැනට උද්දීපත්ව පවත්නා ධර්ම ශාස්ත්‍රා ලෝකයට මුල්වූයේ මෙකී කරතොට හිමියන් ආදි කොට එහිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍යයන් විසින් පහතරට නොයෙක් තැන දැල්වුණු ශාස්ත්‍ර ප්‍රදීපයන්ය. කරතොට හිමියන්ගේ ගුරු වූ බැවින් ඒ පරපුරේ ආදි ම පඬිවරයා වන අත්තරගම රාජගුරු බණ්ඩාර වැලිවිට සරණංකර හිමියන්ගේ අග්‍ර ශිෂ්‍යයකු ලෙසින් ද සැලැකේ.
(සංස්කරණය:1963)