අත්තිවාරම

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ගොඩනැඟිලි හෝ පාලම් වැනි නිර්මාණයක බර එය පිහිටුවන භූමිය මත රැඳවීම සඳහා එම නිර්මාණයේ පත්ලෙහි කැරෙන යම්බදු සකස් කිරීම්, ඉදිකිරීම් ආදියක් වේ ද එය අත්තිවරම නමින් හැඳින්වේ.

අත්තිවාරමේ වර්ග අඩියකින් ගොඩනැඟිල්ලක පත්ලේ භූමිය කෙරෙහි පැවැරෙන පීඩනය අත්තිවාරම ගොඩනැ‍‍ඟෙන භූමියේ වර්ග අඩියකට සුරක්ෂිතව ඉසිලිය හැකි පීඩනයට වඩා අධික නොවිය යුතු ම ය. මක්නිසාද යත්, අත්තිවාරමක් ශක්තිමත් ලෙස පිහිටන්නේ එවිට බැවිනි. අත්තිවාරම කෙරෙහි ‍පැවරෙන පීඩනය සෑම ලක්ෂ්‍යයක දී ම සම නුවුවහොත්, අත්තිවාරම කිඳාබැසීම තැනින් තැන අසමාන වේ. එහෙයින් විශේෂයෙන් ම බුරුල් පොළොවේ නිර්මාණයක් ගොඩනඟන විට නොසම ලෙස කිඳාබැසීම වැළැක්වීම පිණිස, ඉසුලුම් පීඩනය සෑම ලක්ෂ්‍යයෙක්හි ම සම ලෙස විසුරුවා හැරීම සඳහා නිර්මාණයේ පදනමෙහි ක්ෂේත්‍ර ඵලය උසුලන බරට සමානුපාත වන සේ පීඩනය සකස් කරගත යුතු වේ.

අත්තිවාරමේ පතුල නිර්මාණයේ පීඩනය බලපාන දිශාවට හැකි තරම් ලම්බකවන ලෙස (හෙවත් ලඹයට හැකි තරම් මූලමට්ටම් වන සේ) සකස් කිරීම ඉතා යෝග්‍ය වේ.

අත්තිවාරමේ පත්ල පොළෝ මට්ටමෙන් යටට බැස්සීම ද අවශ්‍යය. එසේ නොකළහොත් පත්ල යට පස කැඩීයාම නිසා අත්තිවාරම දුර්වල වීමට ඉඩ තිබේ.

තෙතමනය නිසා ද පසේ ඉසුලුම් ශක්තිය අඩු වේ. එහෙයින් විශේෂයෙන් ම මැටි සහිත පොළොවෙහි පස පෙඟී යෑමෙන් වැළැක්වීම පිණිස මතුපිට දිය ඉවතට බැස යන අයුරු කානු කැපීම ආදි උපක්‍රම යොදාගත යුතු වේ.

සුරක්ෂිත ඉසුලුම් පීඩනය: පහත සඳහන් ලේඛනයෙහි විවිධ වර්ගයේ බිම්වල ඉසුලුම් පීඩනය දැක්වේ:-

බිම වර්ග අඩියකට ටොන් තද ගල (ග්රැනිට්) … 25-30 මොළොක් ගල (කබොක්) … 6-8 බොරළු (අ) තද, ඝන … 6-8 (ආ) සාමාන්‍යයෙන් ඝන … 3-4 වැලි (අ) අවට හිරවූ වියළි වැලි 2-3 (ආ) බුරුල් හෝ තෙත් … 1 මැටි (අ) සාමාන්‍ය තෙත් … 2 (ආ) මොළොක්, තෙත් … 1 පස් …. … ½-1 රොන්මඩ …. … 0-½

පුරවාපු පස හා රොන්මඩ සහිත පොළොව අත්තිවාරම් දැමීම පිණිස එතරම් විශ්වාසදායක නොවේ. එබඳු තන්හි අත්තිවාරම් ඉදිකරන විට ජම්බාර බැස්සීම වැනි විශේෂ උපක්‍රම යෙදිය යුතු වේ.

භූමිභාගය සෝදිසි කිරීම හා පරීක්ෂණ: නිර්මාණයක් ඉදිකරන භූමි භාගය පරීක්ෂා කිරීමෙන්, එහි මතුපිට තත්ත්වය පිළිබඳ අවබෝධයක් ඇතිකර ගත හැකිය. පස් තට්ටු සෝදිසි කිරීම පිණිස වළවල් කැපීමෙන් ද බෝර වළවල් හෑරිමෙන් ද ජම්බාර බැස්සීමෙන් ද යටි පොළොවෙහි ස්වභාව විනිශ්චය කරගැනීමට පුළුවන. ඉහත කී සෝදිසි වළවල් කණිනු ලබන්නේ අඩි 8කට වැඩි නොවන ගැඹුරක් පරීක්ෂා කිරීම සඳහාය. ඊට වැඩි ගැඹුරක් පරීක්ෂා කිරීම පිණිස බෝර වළවල් හෑරීම වියදම් අඩු ක්‍රමයයි.

මොළොක් පස් තට්ටුවක් උඩින් තද තට්ටුවක් පිහිටා ඇති විට ඒ තද තට්ටුව පසාරු නොවන තරමට පමණක් යටට හාරා පීඩනය දරා ගැනීමට වුවමනා ඉඩ ප්‍රමාණය ලබාගැනීම වඩා යෝග්‍යය. තද ස්තරයක් මතුපිට මොළොක් පස්තට්ටුවක් පිහිටා ඇති විට, මොළොක් පස පසාරු කරගෙන තද පොළෝ තට්ටුව දක්වා ම හාරා ඒ මතුපිට අත්තිවාරම් දැමීම යෝග්‍යය. එහෙත් මොළොක් පස් තට්ටුව පසාරු කළ නොහැකි තරම් ගැඹුරට පිහිටා ඇත්නම්, අත්තිවාරම් දැමීමට විශේෂ උපක්‍රම යෙදිය යුතු වේ.

ඉසුලුම් පීඩනය දැන ගැනීමට කරන පරීක්ෂණ: තනිමාලේ ගොඩනැඟිලි හැර අන් සියලු ම ගොඩනැඟිලි ඉදිකරන විට ඒ ගොඩනැඟිලි ඉදිකිරීමට යන භූමියේ සුරක්ෂිත ඉසුලුම් පීඩනය (හෙවත් පසෙහි බර ඉසිලීමේ ශක්ති ප්‍රමාණය) නිශ්චය වශයෙන් දැනගැනීම අත්‍යවශ්‍ය වේ. අත්තිවාරමේ ගැඹුර අධික නොවන අවස්ථාවන්හි දී මෙය සොයා ගත හැක්කේ එහි පත්ල මත කෙළින් ම බර යෙදීමෙන් කරන පරීක්ෂණවලිනි. මේ පරීක්ෂණ කරනු ලබන්නේ අවශ්‍ය ගැඹුරට වළක් හාරා එහි පත්ලේ නියමිත ප්‍රමාණයක පැතලි තහඩුවක් බහා තහඩුව මතුපිට බර පැටවීමෙනි. මේ හැර ගොඩනැඟිල්ලක් තනන භූමියේ කැමති ගැඹුරකට හාරනු ලැබූ සෝදිසි වළකින් හෝ බෝර වළකින් ලබාගත් නෑවිස්සුණු පස් කුට්ටි ගෙන විද්‍යාගාරයක දී කරන පරීක්ෂණ මගින් ද ඉසුලුම් පීඩනය නිශ්චය කළ හැකිය.

අත්තිවාරම් වර්ග

B - 7.jpg
B - 8.jpg
(අ) තනි පාදමේ අත්තිවාරම්: කුලුනක් හෝ කණුවක් හෝ ඉදිකිරීම සඳහා යෙදිය හැකි ඉතාමත් සරල අත්තිවාරම් වර්ගය තනි පාදමේ අත්තිවාරම්ය. ඉදිකරන බැම්මේ බර අඩු නිසා හෝ භූමියේ සුරක්ෂිත ඉසුලුම් ශක්තිය වැඩි නිසා හෝ බැම්මේ පාදම විශාල නොවිය යුතු අවස්ථාවල දී මෙවැනි තනි පාදමේ අත්තිවාරමක් දමනු ලැබේ. පාදම විශාල නොවන විට ඝන වූ තනි කොන්ක්‍රීට් පමණක් යෙදීම වියදම් අඩුය. නමුත් විශාල පාදමක් අවශ්‍ය වන විට, නිතර ම යකඩ කැවූ කොන්ක්‍රීට් දමනු ලැබේ. (ආ) රිනෙස් (සිනෙස්) අත්තිවාරම් හෙවත් පඩි පදනම්: ගඩොලින් හෝ ගලෙන් ඉදිකරන නිර්මාණයක බිත්තිවල පහළ ‍කොටසෙහි සිනෙස් පන්නා පළල් කිරීමෙන් එහි පදනමෙහි ක්ෂේත්‍ර ඵලය විශාල කරනු ලැබේ. (1 චිත්‍රය). බිත්තියෙන් පිටට නෙරා සිටින සේ ඉදිකරන කවර සිනෙස් එකක වුව ද පළල ගඩොලක හෝ ගලක දිගින් ¼ කට වැඩි නොවිය යුතු වේ. සාමාන්‍යයෙන් පහළම ගල්වරිය බිත්තියේ පළලමෙන් දෙගුණයකි. මෙහි පදනම වශයෙන් අඟල් 12ක් පමණ ඝන වූ තනි කොන්ක්‍රීට්වලින් සාදන පාදයක් සාමාන්‍යයෙන් දමනු ලැබේ.
B - 9.jpg

(ඇ) යකඩ කැවූ කොන්ක්‍රීට් තීරු පදනම්: පොළොවේ සුරක්ෂිත ඉසුලුම් ශක්තිය දුර්වල නම් සිනෙස් අත්තිවාරම් යොදා පදනමට අවශ්‍ය පළල ලබාගත නොහැකිය. එවැනි අවස්ථාවල දී යකඩ කැවූ කොන්ක්‍රීට් තීරු පදනම් යොදනු ලැබේ (2 චිත්‍රය). මේ හැර එක අතට ම ළඟ ළඟ කණු කීපයක් ගොඩනැඟීමෙන් අත්තිවරම් තැනිය යුතු අවස්ථාවල දී ද තීරු පදනම යොදනු ලැබේ.

(ඈ) පහුරු පාදම්: කණු හෝ එසේ නැතහොත් නිර්මාණයක වෙනත් ආධාරක එකිනෙකට නුදුරුව දෑතට ම ගොඩනඟන විට හෝ භූමියේ ඉසුලුම් ශක්තිය දුර්වල හෙයින් විශාල පදනමක් දැමීමට අවශ්‍ය වූ විට ආධාරකයන්ගේ
B - 10.jpg
අඩිතාලම් එකිනෙකට ‍සම්බන්ධ කර පහුරු පදනමක් දමනු ලැබේ. ඒ පහුරු" පදනම යකඩ කැවූ ඝන කොන්ක්‍රීට් තට්ටුවක් විය හැකිය (3 චිත්‍රය). එසේ නැත්නම් බාල්ක මත වද්දවන ලද කොන්ක්‍රීට් තට්ටුවක් විය හැක (4 චිත්‍රය). එසේත් නැත්නම් කූඩු වැනි කුහර සහිත, කොන්ක්‍රීට් තට්ටුවලින් නිමවූවක් විය හැක (5 චිත්‍රය).
B - 11.jpg

(ඉ) ජම්බාර අත්තිවාරම්: යටින් පිහිටි තද පොළෝ ස්තරය දක්වා හෑරීම අධික වියදමකින් කළ යුතු වන අයුරු එය මොළොක් ස්තරවලින් ගැඹුරට ම වැසී තිබේ නම්, පසට දැරිය හැකි ප්‍රමාණයේ සුරක්ෂිත පීඩනය නොඉක්මවා ඒ මොළොක් පසෙහි අත්තිවාරමක් දැමීමට නුපුළුවන් ද වේ නම්, යට පිහිටි වඩා සවි ඇති ස්තරවලට මේ බර පවරනු සඳහා ජම්බාර බස්සනු ලැබේ. ජම්බාර දෙවර්ගයකි. එනම් ගැටුම් ජම්බාර හා ඉසුලුම් ජම්බාරය.

B - 12.jpg
B - 13.jpg
ගැටුම් ජම්බාර: මේ වර්ගයේ ජම්බාර යෙදූ විට ජම්බාරයේ හා භූමියේ ගැටීම නිසා නිර්මාණයේ බර යටින් පිහිටි පසට පැවරේ.

ඉසුලුම් ජම්බාර: මතුපිට පස් තට්ටුවට යටින් ගල් තට්ටුවක් ඇත්නම්, නිර්මාණයේ බර ඒ දක්වා එක එල්ලේ ම ගෙනයෑම සඳහා ඉසුලුම් ජම්බාර බස්සනු ලැබේ. දැව, වානේ, යකඩ කැවූ කොන්ක්‍රීට් යන මේවායින් අභිමත එකකින් ජම්බාර සාදාගත හැකිය.

කොන්ක්‍රීට් ජම්බාර කලින් සාදා භූමියට බස්සනු ලැබේ. නොඑසේ නම් වුවමනා කරන ස්ථානයේ ම, පිහිටුවිය යුතු ලෙස ම, ජම්බාරය සාදා ගනු ලැබේ. එය වත්කරන ක්‍රමයේ එකක් නම්, වාත්තු යකඩ (චීනච්චට්ටි) පතුලක් සමඟ බටයක් පොළවට ගිල්වා, එය කොන්ක්‍රීට්වලින් පුරවන අතර ම ඒ බටය ක්‍රමයෙනේ ඉහළට ඇදගනු ලැබේ. එසේ නැතහොත් පතුලක් නොමැති බටයක් පොළොව තුළට වද්දා එයට මැදි වූ පස ඉවත් කොට, එය කොන්ක්‍රීට්වලින් පුරවන අතරම ඒ බටය ක්‍රමයෙන් ඉහළට ඇද ගනු ලැබේ. (6 චිත්‍රය)

විශේෂ අත්තිවාරම්: පාලම්, නැව්-තටාක, පවුරු හා වරාය වැඩ ආශ්‍රිත නිර්මාණයන් ඉදිකරන විට විශේෂ අත්තිවාරම් දැමිය යුතු වේ. බොහෝ විට මේ නිර්මාණවල රාශීභූත වන අතිවිශාල බර මහත් ගැඹුරේ පිහිටි පොළෝ ස්තරවලට යොමු කළ යුතුය. පස දිය කෑමෙන් වන හානි වැළැක්වීමට ද අවශ්‍ය උපක්‍රම යෙදිය යුතු වේ.

භූමිය මතුපිටට නුදුරුව ගල් තට්ටුවක් හෝ තද බොරළු තට්ටුවක් නැති තන්හි දී ගැඹුරු අත්තිවාරම්, ජම්බාර අත්තිවාරම් හෝ සිලින්ඩර හෝ යෙදිය යුතු වේ.

ගොඩබිමෙහි හෝ දියෙහි ගැඹුරු අත්තිවාරම් සඳහා පොළොව හාරන විට එකිනෙකට පූට්ටු කළ වානේ තහඩුවලින් සාදන ලද කොන්ක්‍රීට් කොටු වේලි (coffer dams) හෝ විවෘත කැසොන් හෝ ඇතුළෙහි වායුපීඩනය ඇති කළ හැකි කැසොන් (pneumatic caissons) හෝ ආධාර කොට ගත යුතුය. අධික ගැඹුරට ‍පොළොව කැණීමක් නුවමනා විට ලෑලිවලින් ද කොටු වේලි සාදාගනු ලැබේ.

කොටු වේලි (coffer dams): දියේ හෝ වගුරු බිමෙහි අත්තිවාරමක් දැමීම සඳහා බිම කණින විට වැඩට බාධාවන වතුර ඉවත් කොට පස් හාරා දැමිය හැකිවන අයුරු වතුර නොඋනන කොටුවක් සාදා ගත යුතු වේ.

ගැඹුරට පොළොව කැණීමක් අවශ්‍ය නොවන ඉතා කුඩා වැඩවල දී හැර, අන් සෑම අවස්ථාවල දී ම කොටු වේලි සෑදීම සඳහා එකිනෙකට පූට්ටු කළ වානේ පීලි තහඩු භාවිත කරනු ලැබේ. වානේ පීලි තහඩු භූමියට වද්දනු ලබන්නේ උභය ක්‍රියාකාරී වාෂ්පමය හෝ වායව මිටියකිනි. පිටස්තර භූමියෙන් හා දියෙන් වන පීඩනයට ඔරොත්තු දීම පිණිස කොටු වේලි හරහට කලම්ප ආදිය සවිකර වේල්ල ශක්තිමත් කරනු ලැබේ (7 චිත්‍රය). වානේ පීලි තහඩු වෙනුවට ලෑලි යොදනු ලබන කල්හි කොටු වේල්ලෙහි බිත්ති අඩි 2-4 දක්වා පරතරයක් ඇති ලෑලි පේළි දෙකකින් සාදා, එම පරතරය පෑගූ මැටිවලින් පුරවනු ලැබේ. මෙයින් කොටුව තුළට දිය කාන්දු වීම වළකී.

කැසොන් අත්තිවාරම් පෙට්ටි: මේවා කලින් සාදා සවිකොට ගත් කොටු වේලි (prefabricated coffer dams) වැනි වේ. විශේෂයෙන් දියෙහි අත්තිවාරම් දමන විට අත්තිවාරම් පෙට්ටි පාවිච්චි කරනු ලැබේ. ඒ එක එකක් බිත්ති දෙකකින් යුත් වූ ද කලම්ප ආදිය යොදා නිසි පරිදි ශක්තිමත් කර ගන්නා ලද්දා වූ ද පෙට්ටියකි. එහි දෙබිත්තිය අතර කුහරයක් වෙයි. සාමාන්‍යයෙන් අවශ්‍ය ස්ථානය කරා පා කරගෙන ගොස් බිත්ති අතර වූ පරතරය තුළට දිය ඇතුළු කරවීමෙන් ඇති වන බර ම ආධෘර කොට ගෙන මේ කැසොන් ගිල්වනු ලැබේ. භූමි තට්ටුව මැටියෙන් හෝ බොරළු වැනි ද්‍රව්‍යයකින් සෑදී ඇත්නම්, කැසොනයෙන් ජලය ඉවත් කර පස හාරා ඉවතට දමා වුවමනා ගැඹුරකට කැසොනය කිඳුවා එහි තුළ පාලම් කණු (piers) ගොඩනඟනු ලැබේ. ඉන්පසු අත්තිවාරම් පෙට්ටිය නැවත මතුකොට ගෙන ඊළඟ කුලුන ගොඩනැඟීමට යොදනු ලැබේ. මෙලෙසින් එළිමහනේ පොළොව කැණීමට යොදන කැසොන් විවෘත කැසොන් නමින් හැඳින්වේ. (8 චිත්‍රය).
B - 14.jpg
කැසොන් තුළ ජලය ඉවත් කිරීමට නොහැකි තැන්හි දී, සම්පීඩිත වායුව යොදන කැසොන් පාවිච්චි කරනු ලැබේ. මෙහි මුදුනේ කලම්ප වද්දා ශක්තිමත් කළ වැස්මක් වෙයි. මිනිසුන්ට ඇතුළු වීමට හා පිටවීමට ද උපකරණ ඇතුළට හා පිටතට ගැනීමට ද හෑරූ පස් පිට දැමීමට ද උඩත් යටත් දොර දෙකක් ඇති කූඩුවක් තිබේ. පොළොව හෑරීමට හැකිවන අයුරු සම්පීඩිත වායුවෙන් කැසොනය තුළ ජලය ඉවත් කරනු ලැබේ. හාරනු ලැබූ ද්‍රව්‍ය ඉහත කී කූඩුව මගින් ඉවතට ගනු ලැබේ.
B - 15.jpg

ජම්බාර අත්තිවාරමක් මත පාලම් කණු ඉදිකරන කල, පොළොව ගැඹුරට හෑරීම අවශ්‍ය නොවේ. දියෙහි ඉදිකරන පාලම් කණු සඳහා ජම්බාර දැමිය යුත්තේ කොන්ක්‍රීට් කොටු වේලි ඇතුළෙහිය. ජම්බාර බැස්සවීම කරනු ලබන්නේ අට්ටාලයක් හෝ පාරුවක් ආධාර කොටගෙනය. සමහර විට මෙම ජම්බාර, පාලම් තට්ටුව දැරීමට හැකි වන සේ එය කරා ම යවනු ලැබේ. එවිට පාලම් කණු වුවමනා නොවේ. මෙසේ ජම්බාර යොදන කල සිරස් බාල්කයකින් ජම්බාර මුදුන් සම්බන්ධ කොට ඒ මත පාලම් තට්ටුව ඉදිකරනු ලැබේ.

වාත්තු යකඩ (චීනච්චට්ටි) හෝ වානේ හෝ කොන්ක්‍රීට් යන මේවායින් සිලින්ඩර සාදාගත හැකිය. ඒවායේ පෘෂ්ඨය සහ පස අතර ඇති ඝර්ෂණයෙන් බර දරන නිසා හෝ ගල් තට්ටුවක් නොහොත් වෙනත් ශක්තිමත් ප්‍රස්තරයක් මත කෙළින් ම බර යොමුකරන නිසා හෝ ඇතැම් විට මේ කරුණු දෙක මනිසා ‍ොහ් සිලින්ඩර ද ජම්බාරවලට සමාන වේ.

සිලින්ඩර බැස්සීමේ දී මුවාත සහිත පතුල් වළල්ල පළමුව බිමට වද්දනු ලැබේ. ඉක්බිති අතින් හෝ යාන්ත්‍රික අහුරෙන් හෝ මෙහි පස් හාරා ඉවත දමා ඉන් පසු දෙවැනි වළල්ල බිමට වද්දා පළමු සේ ම පස් ඉවත් කර සිලින්ඩරය ගිල්වනු ලැබේ (9 චිත්‍රය).

කර්තෘ:ඇම්. චන්ද්‍රසේන.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අත්තිවාරම&oldid=3171" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි