අත්ථසාලිනී

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අභිධර්මපිටකයෙහි මුල් ප්‍රකරණය වන ධම්මසංගණියට බුද්ධඝෝෂාචාර්‍ය්‍යයන් කළ අටුවාවයි.

මේ අටුවාව බුද්ධඝෝෂ නම් භික්ෂූන්වහන්සේ නමකගේ ආරාධනාවෙන් කරන ලදැයි බුද්ධඝෝෂ මාහිමියෝ ම පවසති. සම්මෝහවිනෝදනී නම් විභංග අටුවාව කිරීමට ආරාධනා කළ බුද්ධඝෝෂ භික්ෂූන් වහන්සේත් මේ ආරාධකයා ම යයි සිතිය හැකිය.

අත්ථසාලිනිය පාලි අටුවාචාරීන් අතර අතිප්‍රකට බුද්ධඝෝෂ මහාස්වාමිපාදයන්ගේ ම කෘතියක් බව පිළිගනු ලැබේ. මුන්වහන්සේ ලංකාවට පැමිණියේ ලංකාවේ මහාවිහාරවාසී ආචාර්‍ය්‍යවරයන් වෙතින් ගුරූපදේශ නොලැබ පාලි අටුවා කළ නොහැකි බව ස්වකීය ආචාර්‍ය්‍ය රේවත මහාස්ථවිරයන්වහන්සේ පළ කළ හෙයිනි. ලංකාවට එන්නට පෙර මුන්වහන්සේ ධම්මසංගණියට අත්ථසාලිනී නම් වර්ණනාවක් හෝ කාණ්ඩයක් කළ බව මහාවංශයෙහි (37 වැනි පරිච්ඡේදය 175 ගා.) සඳහන් වේ. එහෙත් ලක්දිවට පැමිණ මහාවිහාරීයයන්ගෙන් හෙළටුවාව ඉගෙන ‍එය ඇසුරු කොට පාලි භාෂාවෙන් අත්ථසාලිනීය ලියද්දී මුල දී ලියූ වර්ණනාව ගැන සඳහන් නොකරන්නට හේතුවක් නැත. එබැවින් මහාවංශයෙහි එන පුවත තව දුරටත් විමැසිය යුතු වේ.

ධම්මසංගණියෙහි එන චිත්තවිභක්ති, රූප විභක්ති, නික්ඛෙපරාසි, අත්ථුද්ධාර යන විභක්ති සතර අනුව ම අත්ථසාලිනියෙහි ද අටුවා කර තිබේ. එහෙත් චිත්තවිභක්ති හෙවත් චිත්තුප්පාද කාණ්ඩය දීර්ඝ විස්තර වර්ණනාවකි. එහි නිදාන කථාව පිටු 61කි. මුලට යොදා ඇත්තේ ත්‍රිපිටක ග්‍රන්ථාවලිය පිළිබඳ විස්තරයකි. එය ත්‍රිපිටකයට ලියූ ප්‍රස්තාවනාවක් වැන්න. විශේෂයෙන් අභිධර්මප්‍රකරණ ගැන මෙහි එන සාකච්ඡාව ත්‍රිපිටක ග්‍රන්ථ ගැන ශාසනිකාචාර්‍ය්‍ය මතය හෙවත් මහාවිහාර මතය දැනගැනීමට ආධාර වේ. අභිධර්මය බුද්ධ භාෂිතයක් නොවේය යන විතණ්ඩවාදී මතය ගෙන හැර පා එය බුද්ධ වචනයක් ම යයි ථෙරවාදී මතය අනුව ඔප්පු කරමින් ඒ සාකච්ඡාව නිමවා තිබේ.

එසේ ම අභිධර්මප්‍රකරණ සයක් ද සතක් ද යන මත දෙක ගෙන ඒ සාකච්ඡාවේ ප්‍රශ්න මතු කොට එය හතක් බව ම පෙන්නා බුද්ධපරිනිර්වාණයෙන් අවුරුදු 218ක් ගෙවුණු කල මොග්ගලීපුත්තතිස්ස ‍මහරහතන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දේශනායෙහි පිහිටා කථාවත්ථුප්පකරණය පවසන බව දැන වදාළේ යයි සඳහන් කොට ඇත. අභිධර්මවාවනාමාර්ගය සැරියුත් මහ රහතන්වහන්සේගෙන් පහළ වූ බවත් එහි පළ වේ. සූවිසි විවරණ විස්තර ද මේ නිදාන කථාවේ එයි.

චිත්තුප්පාද කාණ්ඩයෙහි මාතිකාවර්ණනා හා ද්වාරාදි කථා අභිධර්මඥානය වැඩිදියුණු කරගැන්මට ඉවහල් වන අයුරින් විස්තර වේ. යම් යම් කරුණු ගැන ආචාර්‍ය්‍යවරයන් අතර පැවති මත ගැන ද සාකච්ඡා ඇතුළත්ය. රූපවිභක්තියෙහි හෙවත් රූපකාණ්ඩයෙහි අරමුණ හමුවීම ගැන එන විස්තරය ද ඉතා ප්‍රයෝජනවත්ය. රූපස්කන්ධයට අයත් රූපසංඛ්‍යාව ගැන ද එහි කරුණු පළවේ. නික්ඛෙපරාසි හෙවත් නික්ඛෙපකාණ්ඩයෙහි ආර්‍ය්‍ය පුද්ගලයා රහත් මගින් ප්‍රහීණ කළ කෙලෙස් නැවත පෙරළා ඊමක් නැත යනුවෙන් කරන විවරණය රහතුන් තමන් ලත් මගපල නුවණින් පිරිහෙතියි සර්වාස්තිවාදීන් ආදි සෙසු බෞද්ධ සම්ප්‍රදායිකයන් පළ කරන මතයට පිළිතුරක් වැන්න.

අත්ථුද්ධාර හෙවත් අට්ඨකථා කාණ්ඩය ත්‍රිපිටකයෙහි අර්ථය උපුටා දක්වා පහදා කළ හෙයින් එනම් වූ බව සඳහන් වේ. සැරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රකාශයක් වශයෙන් සලකන මේ කොටසින් කවර ධර්මයක් ගැන වුව ද කරුණු සලකා ගන්නට හැකි වෙතැයි මෙහි පළ වේ.

ධර්ම විස්තර අර්ථ විවරණ ආචාර්‍ය්‍යවාද මිස සම්මෝහවිනෝදනියෙහි මෙන් අත්ථසාලිනියෙහි කථාවස්තු ආදිය සුලභ නැත. එහෙත් මෙහි පංචවිධ නියාම ගැන එන ධර්ම විස්තරයට නිදර්ශන වශයෙන් කථාවස්තු කීපයක් දක්වා තිබේ. ඒවා සම්මෝහවිනෝදනියෙහි එන කථා මෙන් ඉතිහාසය අතින් ප්‍රයෝජනවත් කථා නොවේ. සාමාන්‍ය බෞද්ධයකුට පවා කුසල් අකුසල් වැවෙන වැඩෙන හැටි, දානාදී පින්සිදු කළ යුතු හැටි, දැනගැනීමට පහසු වන සරල විස්තර අත්ථසාලිනියෙහි සඳහන්ව තිබේ. මෙහි එන එබඳු විස්තර ඒ තරමට පැහැදිලිව සුවසේ වැටහෙන ලෙස වෙන අටුවාවකින් පළ නොවේ.

අත්ථසාලිනිය බුද්ධඝෝෂාචාර්‍ය්‍යයන් සම්පාදනය කෙළේ පෙර ලක්දිව තුබූ හෙළඅටුවා පාලිභාෂාවට පරිවර්තනය කිරීම් වශයෙනි. කරුණු පැහැදිලි කිරීමට අවශ්‍ය දේ එක්කරමින් දීර්ඝ තැන් ලුහුඬුකොට ගැටලු තැන් ලිහිල් කොට මේ අටුවාව ධර්මාර්ථීන්ට ඉතා ප්‍රයෝජනවත් වන ලෙස සපයන ලද බව පෙනේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අත්ථසාලිනී&oldid=1508" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි