අත්ලන්තික් සාගරය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

එක් පසෙකින් යුරෝපා සහ අප්‍රිකා මහාද්වීප ද අනෙක් පසින් ඇමෙරිකා මහාද්වීප ද අතර ඇති සාගරයයි. ඇට්ලස් කඳුවැටියෙන් ඔබ්බෙහි තිබෙන සාගරය නිසා දෝ ග්‍රීකයෝ මෙය මෙනමින් හැඳින්වූහ. අත්ලන්තිස් (බ.) නමැති අති පැරණි මහාද්වීපයක් කිඳා බැසීමෙන් මෙය හට ගැනුණු බව පවසන දේවකථාව ආශ්‍රයෙන් මෙය අත්ලන්තික් නම් වී යයි ද කියති. ඒ කෙසේ වෙතත් අත්ලන්තික් යන නාමය විශේෂයෙන් ම තහවුරු වූයේ 16 වැනි ශතවර්ෂයේදී පළවුණු ම'කේටර්ගේ සිතියමේත් 1650 දී පළවුණු වරේනියස්ගේ "ගෙයෝග්රැfපියා ගෙනෙරාලිස්" (Geographia Generalis) නමැති ග්‍රන්ථයේත් එය යොදන ලද බැවිනි.

ආක්ටික් ද්‍රෝණිය ද අත්ලන්තික් සාගරයට අයත් ප්‍රදේශයක් ලෙස අයෙක් සලකති. ඒ අනුව උතුරින් ආක්ටික් ද්‍රෝණියත් ඇතුළුව බෙරිං සමුද්‍ර සන්ධියේ සිට දකුණේ වෙඩෙල් මුහුද දක්වා වූ ජලස්කන්ධය අත්ලන්තික් සාගරයයි. අත්ලන්තික් සාගරයත් ශාන්තිකර සාගරයත් බටහිර දේශාංශ 700 දී ද අත්ලන්තික් සාගරයත් ඉන්දියානු සාගරයත් ශුභ ප්‍රාර්ථනා තුඩුව අසලින් පිහිටි නැගෙනහිර දේශාංශ 200 දී ද වෙන් වන බව පිළිගැනේ. විශාලත්වය අනුව එය ලෝකයේ දෙවැනි සාගරයයි. පෘථිවියේ ප්‍රමාණයෙන් සියයට විස්සක පමණ කොටසක් මේ සාගරයෙන් වැසී පවතී. කුඩා මුහුදු හැරුණු විට එහි ප්‍රමාණය වර්ග සැතැප්ම 3,18,15,000කි. සම්පූර්ණ ප්‍රමාණය වර්ග සැතැප්ම 4,10,81,000කි. සාමාන්‍ය දිග සැතැප්ම 11,500කි. සාමාන්‍ය පළල සැතැප්ම 3,000කි.

මේ සාගරයට මහා ගංගා බොහෝ ගණනක් ගලා බසී. එම නිසා, ලෝකයේ විශාල ම සාගරය නුවූව ද අවටින් මෙතරම් විශාල ජලවහන ප්‍රදේශයක් ඇති සාගරයක් තවත් නැත. ජලවහන ප්‍රදේශය වර්ග සැතැපුම් 1,34,32,000 පමණ විශාලය. මුළු යුරෝපය ද, දකුණු ඇමෙරිකාව, උතුරු ඇමෙරිකාව සහ අප්‍රිකාව යන මහාද්වීපවල වැඩි කොටස ද මෙයට ඇතුළත් වේ. ලුවාර්, රයින්, එල්බ්, කොංගෝ, නයිජර්, සාන්ත ලෝරන්ස්, මිසිසිපි, එරිනෝකෝ සහ ඇමසන් මේ සාගරයට ගලා බසින ප්‍රධාන නදීහුය.

විශේෂ ලක්ෂණ කිහිපයක් අනුව මේ සාගරය උතුරු අත්ලන්තික් සාගරය සහ දකුණු අත්ලන්තික් සාගරය යනුවෙන් දෙකොටසකට බෙදීමට පිළිවන. මේ බෙදීම සඳහා ගන්නා සීමාව උත්තර අක්ෂාංශ 50 රේඛාවයි. විශාල දිවයින්වලින් හා අතුරු මුහුදුවලින් යුක්තවීම, කඩතොලු සහිත වෙරළවල්, බොකු හා වරායවල් පිහිටීම ආදිය උතුරු අත්ලන්තික් සාගරයේ ඇති විශේෂ ලක්ෂණවලින් සමහරකි. එහි ශාඛා සහ කොටස් වශයෙන් ගිණිය හැකි මුහුදු රාශියක් වෙයි. යුරෝපයත් අප්‍රිකාවත් වෙන්කරන මධ්‍යධරණී මුහුද ද එහි කොටස් වන කළු මුහුද, අද්‍රියාතික් මුහුද සහ ඊජියන් මුහුද ද අත්ලන්තික් සාගරයේ ශාඛා වශයෙන් ගත හැකියි. එමෙන් ම යුරෝපයේ බටහිර වෙරළාශ්‍රිතව පිහිටි බෝල්ටික් මුහුද, උතුරු මුහුද හා බිස්කේ වරාය ද, අයිස්ලන්තයට උතුරින් පිහිටි "ආක්ටික් මධ්‍යධරණීයක්ය"යි කිව හැකි කොටසෙහි ඇති බැරෙන්ට්ස් මුහුද හා නෝර්වීජියානු මුහුද ද, උතුරු ඇමෙරිකාවට උතුරින් පිහිටි බැfපින් වරාය, සාන්ත ලෝරන්ස් බොක්ක සහ හඩ්සන් බොක්ක ද, ඊට දකුණෙන් පිහිටි "ඇමෙරිකානු මධ්‍යධරණිය"යි නම් කළ හැකි මුහුදුවලට අයිති කොටස්වන කැරීබියානු මුහුද සහ මෙක්සිකෝ බොක්ක ද උතුරු අත්ලන්තික් සාගරයේ ප්‍රධාන ශාඛා ලෙස ගැනේ.

දකුණු අත්ලන්තික් සාගරයේ මෙවැනි බොකු හා අතුරු මුහුදු ආදිය ඉතා අඩුය. අප්‍රිකානු මායිමේ පිහිටා ඇති ගිනිබොක්ක මේ සාගරයෙහි ප්‍රධාන ම ලක්ෂණයයි.

දිවයින් වැඩි ගණනක් පිහිටා ඇත්තේත් උතුරු අත්ලන්තික් සාගරයේය. එයින් සමහරක් අති විශාලය. නිර්මාණය සහ පිහිටීම අනුව අත්ලන්තික් සාගරයේ දිවයින් ප්‍රධාන කොටස් තුනකට බෙදිය හැකියි:

(1) යමහල් නිසා ඇති වූ දූපත්: අයිස්ලන්තය, ඉතා කුඩා දිවයින් වන fපර්නැන්ඩෝ ද නොරොඤ්ඤ, ඇසෙන්ෂන්, සාන්ත හෙලේනා, ටි්‍රස්ටන් ද කූන, බූවේ ආදිය.

(2) යමහල් ද්‍රව්‍යවලින් නිර්මාණය වූ දූපත්: මේ ගණයෙහි ඇත්තේ ද කුඩා දූපත්ය. ‍අසෝර්, කැනරි, මැඩෙයිරා සහ කේප් ව'ඩ් යන දූපත්.

(3) මහාද්වීපික දූපත්: ස්විට්න්බ'ගන්, බෙ‍යාර් දූපත්, බ්‍රිතාන්‍ය දූපත්, නිව්fපවුන්ඩ් ලන්තය, ග්‍රේට් ඇන්ටිලිස්, ‍fපොක්ලන්ඩ් දූපත්, දකුණු ජෝජියා සහ දකුණු ඕක්නි දූපත්.

සාගර පත්ලේ භූමිලක්ෂණ: මේවා පොළොව මතුපිට ලක්ෂණ මෙන් සවිස්තරව දැනගත හැකි වූයේ 19 වැනි ශතවර්ෂයේ සිට කර ගෙන එන ලද විශේෂ පර්යේෂණ කරණකොටගෙනය. මේ පර්යේෂණවලට බෙහෙවින් උපකාරි වූයේ සාගරයේ ගැඹුර මැනීම උදෙසා නිපදවන ලද නව්‍ය උපකරණයි. රේඩියෝ සොණ්ඩය, ප්‍රතිධ්වනි මානකය ආදිය පිරික්සුම්යොතට වඩා ප්‍රයෝජනවත් විය. දියුණු වූ මේ උපකරණ උපයෝගී කොටගෙන අත්ලන්තික් සාගරයේ පත්ල ගැන කරුණු බොහෝ දුරට සොයා ගෙන ඇති නමුත් දකුණු අත්ලන්තික් සාගරයේත් ආක්ටික් සාගරයේත් විශාල කොටස් තවම පරීක්ෂා කර නොමැත. හැම කොටසක ම වාගේ මහාද්වීපික තටකය පරීක්ෂා කර තිබේ.

අත්ලන්තික් සාගරයේ මධ්‍යයෙහි පිහිටා ඇති අත්ලන්තික් වැටිය එහි විශේෂ භූමිලක්ෂණයකි. මෙයින් මේ සාගරය නැගෙනහිර සහ බටහිර යනුවෙන් කොටස් දෙකකට බෙදිය හැකියි. අත්ලන්තික් වැටිය අයිස්ලන්තයේ සිට බූවේ දිවයින (දකුණු අක්ෂාංශ 550) දක්වා, සාගරය හරහා පැතිරී ඇත. වැටිය ඇති ‍කොටස්වල සාමාන්‍ය ගැඹුර බඹ 3,000ක් පමණ වුව ද සමහර තැන්වල ගැඹුර බඹ 500කට වැඩි නොවෙයි. තවත් සමහර තැන්වල අත්ලන්තික් වැටිය දූපත් වශයෙන් සාගරය මතුපිටට ද නෙරා ඇත. අසෝර් දූපත්, සාන්ත පාවුල්, ඇසෙන්ෂන්, ට්‍රිස්ටන් ද කූන සහ බූවේ යන දිවයින් මීට නිදසුන්ය.

අත්ලන්තික් සාගරයෙහි මැද පිහිටි වැටියෙන් ශාඛාවැටි දෙකක් නැගෙනහිරට සහ බස්නාහිරට විහිදී, මුළු වැටි පන්තිය නැංගුරමක හැඩයක් ගනී. මේ ශාඛා වැටි පිහිටා ඇත්තේ දකුණු අත්ලන්තික් සාගරයේය. අප්‍රිකාව දෙසට විහිදෙන වොල්fපිෂ් වැටිය ආරම්භ වන්නේ ට්‍රිස්ටන් ද කූන දිවයිනෙනි. බටහිරට විහිදී ඇති රියෝ ග්‍රාන්ඩේ වැටිය දකුණු අක්ෂාංශ 300ටත් අතර පිහිටා ඇත.

උතුරු අත්ලන්තික් සාගරයේ උතුරු අක්ෂාංශ 500 ඔස්සේ වූ කුඩා වැටියක් අත්ලන්තික් වැටිය හරහා පිහිටා තිබේ. මෙයින් උතුරට විහිදෙන කුඩා වැටි කීපයක් ඇත. එයින් එකක් රේක්යාන්ස් වැටියයි. අයිස්ලන්තය සහ fපොරෝ දිවයින් පිහිටා ඇත්තේ තවත් වැටියක් මතය. මෙහි ගැඹුරුතම ස්ථාන මීටර් 50කට වඩා ගැඹුර නැත.

දිය යට පිහිටි මේ කඳුවැටි නිසා අත්ලන්තික් සාගරයේ පත්ල සාගරික ද්‍රෝණි කීපයකට බෙදිය හැකියි. බටහිරින් පිහිටි උතුරු ඇමෙරිකා ද්‍රෝණිය සහ ගිනි ද්‍රෝණිය ද, නැගෙනහිරට ඇති කැනරි ද්‍රෝණිය සහ කේප් ව'ඩ් ද්‍රෝණිය ද උතුරු අත්ලන්තික් සාගරයේ පිහිටා ඇති විශාල ම ද්‍රෝණි කීපයකි. උතුරු අත්ලන්තික් සාගරයේ ගැඹුරුතම කොටස පෝටොරීකෝ දිවයිනට උතුරෙන් පිහිටි ඒ නම ම දරන ස්ථානයයි. එහි ගැඹුර බඹ 4,800කට වැඩි බව සොයාගෙන ඇත. දකුණු අත්ලන්තික් සාගරය ද ද්‍රෝණි හතරකට බෙදිය හැකියි. බටහිරින් තිබෙන්නේ බ්‍රසීල සහ ආජන්ටිනා ද්‍රෝණිය. නැගෙනහිරට ඇංගෝලා සහ කේප් ද්‍රෝණි පිහිටා තිබේ. දකුණු අත්ලන්තික් සාගරයේ ගැඹුරු ම ස්ථානය ඇත්තේ දකුණු සැන්ඩ්විච් දිවයිනට නුදුරුවය. එහි ගැඹුර බඹ 4,500ක් පමණ වේ. මුළු අත්ලන්තික් සාගරයේ ප්‍රමාණයෙන් සියයට 63ක ම ගැඹුර බඹ 1,500 සිට 3,000 ට අතර වේ. බඹ 100 ට අඩු මහාද්වීපික තටකය සාගරයේ ප්‍රමාණයෙන් සියයට 13.3ක් පමණි. බඹ 3,000 ට වඩා ගැඹුරු කොටස්වල ප්‍රමාණය ඉතා සුළුය.

සාගරය පත්ලේ භූවිෂමතා අතුරෙන් මිනිස් ජීවිතය කෙරෙහි විශේෂයෙන් බලපාන්නේ ගැඹුරෙන් බඹ 0-100 දක්වා වූ මහාද්වීපික තටකයයි. මහාද්වීපික තටකයෙන් වැඩි හරියක් අතුරු අත්ලන්තික් සාගරයේ පිහිටා ඇත. ආක්ටික් සාගරයට හා උතුරු ඇමෙරිකාවට උතුරින් පිහිටි මුහුදු දෙසට ද මෙම මහාද්වීපික තටකය විහිදී ඇත. ලෝකයේ විශාලතම මස් මරන පෙදෙස් පිහිටා තිබෙන්නේ උතුරු අත්ලන්තික් සාගරයේ මහාද්වීපික තටකයේය. මෙයින් විශේෂයෙන් ම ප්‍රසිද්ධ මස් මරන පෙදෙස් හැටියට හඳුන්වන්නේ නිව්fපවුන්ඩ්ලන්ත ග්‍රෑන්ඩ් බෑංක්ස් ස්කෝෂියා තටකය, ඩොගර් බෑංක්, බහාමා බෑංක් ආදිය හා උතුරු මුහුද, අයිරිෂ් මුහුද සහ අයිස්ලන්තය අවට මුහුදත්ය. මේ මස් මරන පෙදෙස් පිහිටීම නිසා යුරෝපයේ නැව් ගමනාගමනය දියුණු වී යයි ද එහෙයින්ම ආර්ථික දියුණුවත් ව්‍යාපාරික දියුණුවත් ඇති කර ගත් බොහෝ මුහුදුකර-යුරෝපීය රටවල් අධිරාජ්‍ය ගොඩනංවා ලෝකයේ බලගතු රාජ්‍ය බවට පත් වී යයි ද කියත්.

දකුණු අත්ලන්තික් සාගරයේ එපමණ මහාද්වීපික තටක පිහිටා නැත. විශාලතම මහාද්වීපික තටකය පිහිටා තිබෙන්නේ දකුණු ඇමෙරිකාවට දකුණින් පිහිටි fපෝක්ලන්ඩ් දූපත අවටය. දකුණු අත්ලන්තික් සාගරය වටා පිහිටි රටවල විශේෂ දියුණුවක් නොමැති වූයේ මහාද්වීපික තටකයන් නැති වීමත්, ඒ හේතුකොටගෙන වෙනත් ව්‍යාපාර ඇති නොවීමත් නිසා යැයි පවසන ඇතැම් ශාස්ත්‍රඥයෝ ඉහත සඳහන් කළ මතය මෙයින් තවදුරටත් සනාථ කරති.

B - 16.jpg
සාගර නිධි: සාගර පත්ලේ නිධි සාධනය පොළොව මතුපිට නිධි සාධනයට බෙහෙවින් වෙනස් වේ. අත්ලන්තික් සාගරයේ වැඩි කොටසකට අයිති නිධි සෑදී තිබෙන්නේ ග්ලොබිගෙරීන ගොහොරුවෙනි. මීටර් 5,000 වඩා ගැඹුරු ස්ථානවල මේ ගොහොරුවේ කැල්සියම් ප්‍රමාණය අඩුය. එහෙයින් ඉතා ගැඹුරු කොටස්වල නිධි රතු මඩවලින් සමන්විත වෙයි. මුහුදු වැටි මත පිහිටා ඇති නිධි වෙරොපොඩ ගොහොරුවෙන් යුක්තය.

දකුණු අත්ලන්තික් සාගරයේත් උතුරු අත්ලන්තික් සාගරයේත් ඇති නිධි අතර යම් යම් වෙනස්කම් ද පෙනේ. දකුණු අත්ලන්තික් සාගරයේ දකුණෙන් පිහිටි කොටස්වල වැඩි වශයෙන් ඇත්තේ ඩයටම් ගොහොරුවයි. මෙවැන්නක් උතුර අත්ලන්තික් සාගරයේ පිහිටා නැත.

අත්ලන්තික් සාගරයේ පත්ලෙන් සියයට 73ක පමණ ප්‍රමාණයක් ග්ලොබිගෙරීන සහ ටෙරොපොඩ ගොහොරුවලින් වැසී ඇත. සියයට 19ක පමණ ප්‍රමාණයක් රතු මඩෙන් වැසී ඇත. අනික් කොටස්වල වැඩි වශයෙන් භූජාත නිධි තිබේ. මේ භූජාත අවසාදිත ද්‍රව්‍ය මුහුදු පත්ලට ලැබෙන්නේ සුළ‍ඟෙන් හා අයිස් පරවලිනි.

ජලස්කන්ධ සහ සාගර ප්‍රවාහ: ජලස්කන්ධයක එක් තරමක උෂ්ණත්වයක් සහ ලවණත්වයක් ඇත. කාලගුණ විද්‍යාවෙහි දී ඉතා වැදගත් සාධකයක් වශයෙන් සඳහන් වන වාතස්කන්ධ මෙන් සාගර විද්‍යාවෙහි දී මේ ජලස්කන්ධ බලගතු සාධකයක් ව පවතී. ජලස්කන්ධ සාගර ප්‍රවාහයේ ප්‍රභවස්ථන සේ ගත හැකිය.

සාගර ප්‍රවාහ තත්කාලීන සුළං අනුගමනය කරයි. යම් යම් වෙනස්කම් ඇති වන්නේ ගොඩබිමේ පිහිටීමෙන් ඇතිවන අවහිරකම් නිසාය.

උතුරු අත්ලන්තික් සාගරයේ ප්‍රවාහ දක්ෂිණාවර්තය. උත්තර සමක ප්‍රවාහය ඊශාන වෙළඳ සුළං බලයෙන් බටහිරට ගලා යයි. මෙය ජල ගුල්ම ප්‍රවාහය වශයෙන් කැරිබියානු මුහුදත් යුකටන් සමුද්‍ර සන්ධියත් අතරින් මෙක්සිකෝ බොක්කට ගලයි. මේ උණුසුම් දියවැල f‍ප්ලොරීඩා සමුද්‍ර සන්ධිය හරහා උත්තර අක්ෂාං 400 තෙක් විහිදෙයි. මෙයට උතුරු අත්ලන්තික් ප්‍රවාහයයි ද ව්‍යවහාර කරනු ලැබේ. පසුව මේ දියවැල කොටස්වලට බෙදී යයි. එක කොටසක් සාරගෝසා මුහුදට ගලයි. තවෙකක් බටහිර යුරෝපය තෙක් ගලා ඒ ප්‍රදේශයේ දේශගුණය කෙරෙහි තදින් බලපායි. අ'මින්ගර් නම් තවත් ප්‍රවාහයක් අයිස්ලන්ත වෙරළේ සිට වයඹ දෙසට හැරී ග්‍රීන්ලන්තයේ දකුණු වෙරළ තෙක් ගලා යයි. බටහිර යුරෝපයට ගලා යන ප්‍රවාහය නෝර්වීජියානු ප්‍රවාහය වශයෙන් නෝර්වේහි වෙරළ අයිනෙන් ස්පිට්ස්බ'ගන් දක්වා ගලයි. මේ සියල්ල උණුසුම් ප්‍රවාහ වේ.

උතුරු අත්ලන්තික් සාගරය‍යේ ශීත ප්‍රවාහය උත්තර ධ්‍රැව මුහුදින් ආරම්භ වී නැගෙනහිර ග්‍රීන්ලන්ත ප්‍රවාහය, බටහිර ග්‍රීන්ලන්ත ප්‍රවාහය සහ ලැබ්‍රඩෝර් ප්‍රවාහය වශයෙන් ඒ ඒ වෙරළ ඔස්සේ දකුණ බලා විහිදේ. සහරා වෙරළ අසලින් කැනරි ප්‍රවාහය නම් ශීත ප්‍රවාහයක් ද ගලයි. එය ඇතිවී තිබෙන්නේ සාගරයේ නැගෙනහිර කොටසේ ශීත ජලය සාගරය මතුපිටට තෙරපීමෙනි.

දකුණු අත්ලන්තික් සාගරයේ ප්‍රවාහය වාමාවර්තය. දකුණු සමක ප්‍රවාහය බස්නාහිරට ගලා ඒමේ දී අතු දෙකකට බෙදෙයි. බ්‍රසීල වෙරළ ඔස්සේ ගලා යන අත්ත බ්‍රසීල් ප්‍රවාහය නමින් හැඳින්වේ. අනෙක් අන්ත උතුරේ කැරිබියානු මුහුදට ගලා යයි. බ්‍රසීල් ප්‍රවාහය දකුණු අත්ලන්තික් ප්‍රවාහය වශයෙන් දකුණු අක්ෂාංශ 500 දක්වා ගලයි. ශීත ප්‍රවාහය, බටහිර සුළං ප්‍රවාහය වශයෙන් දකුණු ඇමෙරිකාවේ හෝන් තුඩුවට දකුණෙන්, දකුණු අත්ලන්තික් සාගරයට ගලයි. එක් කොටසක් fපෝක්ලන්ඩ් ප්‍රවාහය නමින් fපෝක්ලන්ඩ් දිවයින දෙසටත් තවත් කොටසක් ආජන්ටිනා වෙරළ දිගටත් ගලායයි. බෙංගුවෙලා ප්‍රවාහය නමින් හැඳින්වෙන කොටසක් ද නිරිත දිග අප්‍රිකානු වෙරළ දිගේ ගලා ගොස් දකුණු සමක ප්‍රවාහයට එකතු වෙයි.

ජලයේ උෂ්ණත්වය, ලවණත්වය සහ දේශගුණික කරුණු: අත්ලන්තික් සාගරයේ මතුපිට ජලයේ සාමාන්‍ය උෂ්ණත්වය පැ. 62.50 බැවින් මෙය ශාන්තිකර සාගරයේ ජලයට වඩා සිසිල්ය. එහෙත් සාගරයේ නොයෙක් ස්ථානවල උෂ්ණත්වය දියවැල් අනුව වෙනස් වේ. බටහිර යුරෝපීය රටවල දේශගුණික වෙනස්කම් බෙහෙවින් ඇති වී තිබෙන්නේ ජල ගුල්ම ප්‍රවාහය නිසාය. ඒ කරණකොටගෙන ශීත කාලයේ තද ශීතල ද ගිම්හානයේ තද උෂ්ණය ද මැඩ පැවැත්වේ. මේ උෂ්ණ ප්‍රවාහය නිසා වායුගෝලීය අවපාත බටහිර යුරෝපයට පැතිරීම පහසු වේ. ලැබ්‍රඩෝර් ශීත ප්‍රවාහය නිසා අයිස් සහිත ශීතල ජලය උතුරු අක්ෂාංශ 400 දක්වා දකුණට බසී. මේ ශීතල ජලය ඇති කොටස්වල ධූමිකා ඇති වේ. බොහෝවිට ධූමිකා නිසා නැව් ගමනාගමනට ද අහස් ගමනාගමනයට ද බාධා ඇති වෙයි. මේ පිළිබඳව ලැබ්‍රඩෝර් වෙරළ ද නිරිත දිග අප්‍රිකානු වෙරළ ද ප්‍රසිද්ධියක් උසුලයි.

දකුණු අත්ලන්තික් සාගරයේ මෙවැනි උෂ්ණත්ව ලක්ෂණ නැතත් fපෝක්ලන්ඩ් ප්‍රවාහය සහ බ්‍රසීල් ප්‍රවාහය එකිනෙකට හමුවන ස්ථානයෙහි ද ජලගුල්ම ප්‍රවාහය සහ ලැබ්‍රඩෝර් ප්‍රවාහය එකිනෙකට හමුවන ස්ථානයේ මෙන් උෂ්ණත්වය වෙනස් වේ. සමුද්‍ර ප්‍රවාහය නිසා උතුරු අක්ෂාංශ 100 ටත් 300ටත් අතර නැගෙනහිර සාගරබඩ ජලය සාමාන්‍යයෙන් බටහිර වෙරළබඩ මුහුදු ජලයට වඩා සිසිල්ය. අක්ෂාංශ 300 සිට ධ්‍රැවය දක්වා වඩා සිසිල්ව පවතින්නේ බටහිර වෙරළබඩයි.

සාගරයේ අයිස්: ශිශිර සමයේ ආක්ටික් මුහුද සම්පූර්ණයෙන් ම වාගේ අයිස්වලින් වැසී යයි. එකල පවතින අධික ශීතල හේතුකොටගෙන අයිස් තට්ටුව යටින් තවත් අයිස් සෑදේ. සුළං නිසා මෙය මත කුඩා වැටි සහ ගොඩැලි හට ගනී. එයින් සමහරක් අඩි 16ක් පමණ උස්ව ද නඟී. මෙබඳු අයිස් තට්ටුවක ජල මට්ටමෙන් යට පවතින කොටස අඩි 65ක් පමණ ඝන විය හැකියි. ගිම්හානයේ දී මේ අයිස් තට්ටුව කැබැලි වශයෙන් කැඩී යයි. වඩා ඉහළ උෂ්ණත්වය නිසා එහි ගනකම ද අඩු වේ.

උතුරු අත්ලන්තික් සාගරයේ පාවෙන අයිස් කුට්ටි උතුරු අක්ෂාංශ 430 දී වුව ද දක්නට ලැබේ. මේ අයිස් කුට්ටි මුහුදට වැටෙන්නේ ග්‍රීන්ලන්තයේ ග්ලැසියරවලිනි. උත්තර ධ්‍රැව මුහුදේ මේවා ඇත්තේ ස්පිට්ස්බ'ගන් සහ ප්‍රාන්ස් ජොසfප්ලෑන්ඩ් යන දිවයින් අවට පමණි. ඒවා කුඩා ග්ලැසියරවලින් මුහුදට වැටේ. ග්‍රීන්ලන්තයෙන් නික්මෙන අයිස් කුට්ටි සාගර ප්‍රවාහ අනුව ලැබ්‍රඩෝර් හා නිවුfපවුන්ඩ්ලන්තය දෙසට පාවෙයි. එයින් නැව් ගමනාගමනයට තදබල අවහිරකම් ඇති වේ.

මුළු ඇන්ටාක්ටික් මහාද්වීපය වසා පවතින විශාල අයිස් තට්ටුව දකුණු අක්ෂාංශ 550 තෙක් පැතිරෙයි. මෙයින් ඇතිවන ග්ලැසියර නිසා උතුරටත් නැගෙනහිරටත් විශාල අයිස් කුට්ටි පාවෙයි. දකුණු අක්ෂාංශ 420 මේවා පාවීමේ උතුරු සීමාව හැටියට ගණන් ගත හැකියි.

අත්ලන්තික් සාගරයේ වැදගත්කම: අනික් සාගර මෙන් ම අත්ලන්තික් සාගරය ද මිනිසුන්ගේ ගමනාගමනයට බාධකයක් විය. එය එක් කාලසීමාවක් තුළ දී පමණක් බලපැවැත්වුණු භූගෝලීය සාධකයකි. දිවයින් බහුල නොවන හෙයින් ශාන්තිකර සාගරයේ මෙන් විශේෂ මනුෂ්‍ය සභ්‍යත්ව ඇති කරනසුලු පරිසරයක් මේ සාගරය නිසා ඇති නොවීය. ගමනාගමනය අතින් අත්ලන්තික් සාගරය අන් හැම සාගරයකට ම වඩා උසස් තැනක් දරයි. ඊට හේතුව ලෝකයේ කාර්මික අතින් දියුණු වූ රටවල් අතර පිහිටි සාගරය මෙය වීමය. එමෙන්ම වෙළඳාම් කිරීමේ දී ද ශාන්තිකරයට හෝ ඉන්දියානු සාගරයට හෝ යෑමේ දී ද අත්ලන්තික් සාගරය තරණය කිරීමට සිදුවී තිබේ. කලෙක දී රුවල් නැව් ගමනාගමනය සිදුවූයේ සාගර ප්‍රවාහ හා සුළං අනුවය. 1838න් පසු අත්ලන්තික් සාගරයේ දුම් නැව් ගමනාගමනය ආරම්භ විය.

සූවස් ඇළ (1869) සහ පැනමා ඇළ (1914) කැපීමෙන් පසු දකුණු අත්ලන්තික් සාගරයේ ගමනාගමනය අඩු වූ අතර කැරිබියානු සහ මධ්‍යධරණී මුහුදුවල වැදගත්කම වැඩි විය.

අත්ලන්තික් සාගරයෙහි දිවයින් අඩු නිසා එය හරහා ගුවන් මාර්ග ආරම්භ කිරීම මුල් අවධියේ දී අපහසු විය. බටහිර අප්‍රිකාවත් බ්‍රසීලයත් අතර ඇති කෙටි ම මාර්ගය හරහා ගුවන් නැව් සේවයක් 1936 දී ඇති විය. දැනට ම‍ේ සාගරය හරහා ඇති ප්‍රධාන ගුවන් මාර්ග හතරකි. එනම් : (1) බටහිර අප්‍රිකාව-කැනරි දූපත් හා බ්‍රසීලය (2) අසෝර්-බ'මියුඩා නොහොත් අසෝර්-නිවුfපවුන්ඩ්ලන්තය (3) අයර්ලන්තය-නිවුfපවුන්ඩ්ලන්තය නොහොත් ස්කොට්ලන්තය-ලැබ්‍රඩෝරය (4) අයිස්ලන්තය-නිවුfපවුන්ඩ්ලන්තය යන මේයි. අහස් ගමනාගමනය අතින් ද අත්ලන්තික් සාගරය අන් සයුරු පරයා සිටී.

කර්තෘ:පී. උඩගම

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අත්ලන්තික්_සාගරය&oldid=3174" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි