අතිරික්ත වටිනාකම

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

යම් භාණ්ඩයක් හෝ ද්‍රව්‍යක් නිපදවීමෙන් ලැබෙන ආදායම එය නිෂ්පාදනය කිරීම සඳහා වැය වුණ වියදම් ප්‍රමාණයට වැඩිවේ නම් එවිට අතිරික්ත වටිනාකම ඇති වේ.

අතිරික්ත පලදාව:

කුඹුරක බිත්තර වී බුසලක් වෑපූරූ මිනිසාට යටත් පිරිසෙයින් බුසල් දසයක වත් අස්වනු ලැබෙයි. ඇතැම්විට ඔහුගේ යැපීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා අධික අස්වැන්නක් හෝ ඔහුට ලැබෙයි. ඒ අතිරික්තය ස්වභාවධර්‍මය විසින් මිනිසාට දෙන ලද තෑග්ගක් හැටියට ගිණිය හැක. එවැනි අතිරික්තයක් මිනිසාට නොලැබිණි නම් ලෝකයේ කිසි ආර්ථික දියුණුවකට අවකාශයක් නැත. අතිරික්තයක් නැතිනම් මිනිසාට ඉඩ ලැබෙනුයේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය ද්‍රව්‍ය හා භාණ්ඩ සපයා ගැනීමට පමණි.

අතිරික්ත වටිනාකම් සිද්ධාන්ත:

යම් භාණ්ඩයක වටිනාකම නිශ්චය වන්නේ එය නිපදවීමේ දී යොදවන ලද ශ්‍රමය අනුවය යනු ශ්‍රම වටිනාකම් සිද්ධාන්තයයි. අතිරික්ත වටිනාකම් සිද්ධාන්තයන්ගේ පදනම මෙයයි. ස්වකීය ශ්‍රමශක්තිය යෙදීමෙන් මිනිසා තමාගේ යැපීමට වුවමනා ප්‍රමාණයට වඩා නිපදවයි. එහෙයින් ශ්‍රමය හා නිෂ්පාදනය සසඳා බලන විට, ඔහුගේ නිෂ්පාදන ප්‍රමාණය ශ්‍රමයට වඩා වටිනාකමින් වැඩි බව පෙන්. මෙම වටිනාකම වැඩිවන්නේ කෙසේද යන්න තෝරා දීම, ඊට හේතු දැක්වීම ආදිය අතිරික්ත වටිනාකම් සිද්ධාන්තයන්ගෙන් සිදු කෙරෙයි.

අතිරික්ත වටිනාකම් සිද්ධාන්ත සියල්ල ම ධනවාදී ආර්ථික ක්‍රමය පසුබිම් කොට ඇත. රිකාඩෝ, ඇඩම් ස්මිත් වැනි අර්ථශාස්ත්‍රඥයෝ ඔවුන්ගේ සිද්ධාන්තවලින් ධනවාදී ක්‍රමයට පක්ෂපාත බවක් දැක්වූහ. එහෙත් කාල් මාක්ස් ඒ සිද්ධාන්ත ධනවාදී ක්‍රමයට විරෝධය පළකරනු වස් ප්‍රයෝජන කොට ගෙන ඇති බව පෙනේ.

17 වන සියවසේ දී පවා අතිරික්ත වටිනාකම ගැන ලේඛකයන් බොහෝදෙනකුගේ ම කෘතීන්හි සඳහන් වේ. 1660 දී අයබදු සම්බන්ධයෙන් ලන්ඩන්හි රචනයක් පළකළ විලියම් පෙට් නමැත්තා ඉඩමකට ගෙවන බදු කුලිය අතිරික්ත වටිනාකම බව පැවසීය. ඉඩමක් වගා කිරීමෙන් ගොවියාට ඔහුගේ යැපීමට සෑහෙන ධාන්‍ය ප්‍රමාණයක් ද ඊට අතිරේක වශයෙන් තවත් ධාන්‍ය ප්‍රමාණය අතිරික්ත වටිනාකම යැයි පෙට් කියයි. ඒ අතිරික්ත වටිනාකම වූ කලි වගා කරන ලද ඉඩම අයිති ඉඩම් හිමියාට ඇත්ත වශයෙන් ම හා නියම වශයෙන් ලැබිය යුතු ගාස්තුවකැයි කී විලියම් පෙට් ඉඩම් කුලී ක්‍රමය කෙරෙහි තම පක්ෂපාතිත්වය දැක්වූ බව පැහැදිලිය.

16 වන 17 වන සියවස්හි විසූ වාණිජවාදීන් (Mercantilists) නමින් හැඳින්වුණු ලේඛකයෝ අතිරික්ත වටිනාකම උපදින්නේ ජාත්‍යන්තර භාණ්ඩ හුවමාරුවේ දී බව කීහ. යම් රටක් ඇතුළත දී භාණ්ඩ හුවමාරුව ඇති වූ විට විකුණන්නාට ලැබෙන්නේ ගැනුම්කරුවාට නැතිවුණු මුදලයි. මේ අනුව රටක අභ්‍යන්තර වෙළෙඳ්‍රමෙන් නියම වශයෙන් අතිරික්ත වටිනාකමක් ඇති නොවේ. එක් රටකින් අන් රටකට අතිරික්ත වටිනාකමක් හිමිවනුයේ විදේශ වෙළෙඳාමෙන් ලැබෙන ලාභයෙනි. අන් රටවල් සමඟ පවත්නා වාණිජ සබඳකම්වලින් එංගලන්තයට අතිරික්ත වටිනාකම ලබාගැනීමට ඉවහල්විය හැකි කරුණු පෙන්වා දෙමින් 1669 දී පළ කළ රචනාවක චාල්ස් ඩැවෙනන්ට් නමැත්තා අතිරික්ත වටිනාකම සම්බන්ධයෙන් එසේ පැවසිය. ඔහුගේ මතය වාණිජවාදීන්ගේ අදහස් හා සමානය. ඉඩම් හා ප්‍රාග්ධනය නිෂ්පාදන සාධක බැවින් ද අතිරික්ත වටිනාකම ඇතිවන්නේ නිෂ්පාදන කටයුතු සංවිධාන කිරීමෙන් බැවින් ද එය අයිතිකරගත හැක්කේ ඉඩම් හා ප්‍රාග්ධනය හිමි අයට පමණක් බව 1691 දී ලියූ රචනයක ජෝන් ලොක් කීය. අතිරික්ත වටිනාකම නිෂ්පාදනයෙන් ඇතිවන දෙයක් හෙයින් ප්‍රාග්ධනය හා ඉඩම් හිමිව සිටීම ද ඉඩම් කුලිය හා පොලිය භුක්ති විඳීමට ද අයුක්තියක් නොවන බව හෙතෙම කීවේය.

fපිසියොක්රැට් පරපුරට අයත් මීරාබෝ (ජ්‍යෙෂ්ඨ) කෙනේ, ටුර්ගෝ යන ප්‍රංස ජාතික අර්ථශාස්ත්‍රඥයන් අතිරික්ත වටිනාකම සම්බන්ධයෙන් ඇති කරගත් මතය වාණිජවාදී මතයට බෙහෙවින් වෙනස්වූවකි. භාණ්ඩ හුවමාරුවේදී නොව භාණ්ඩ නිෂ්පාදනයේදී අතිරික්ත වටිනාකම බිහිවන බව ද නිෂ්පාදනයේ යෙදෙන වැඩකරුවාට අතිරික්ක වටිනාකම ඇති කළ හැක්කේ පොළොවේ සශ්‍රීකත්වය නිසා යයි ද එහෙයින් අතිරික්ත වටිනාකම ස්වභාවධර්‍මය විසින් මිනිසාට දෙන ලද ද්‍රයාදයකැයි ද ඔව්හු කීහ. අතිරික්ත වටිනාකම ඇතිවන්නේ කෘෂි කාර්මික අංශයේය යන්න ඔවුන්ගේ තද විශ්වාසය විය. ඒ අතිරික්ත වටිනාකම ආර්ථික ක්‍රමයේ වැදගත් ම අංගය යයි සැලකූ ඔව්හු මුළු කාර්මික ලොව ම යැපෙන්නේ කෘෂිකාර්මික අංශයේ වැඩකරුවන් විසින් ඇතිකරන මේ අතිරික්ත වටිනාකමින් යැයි තර්ක කළහ. බුකනන් නමැත්තා කාර්මික දියුණුව ඇතිවීමට පෙර කෘෂිකාර්මික සංවර්ධනය ඇති වූ බව පවා කීය. ඔවුන් මේ පිළිවෙළට කල්පනා කරන්නට වූයේ ඔවුන්ගේ රට බෙහෙවින් ම කෘෂිකාර්මික රටක් වූ බැවින් වෙන්ට පුළුවන. කෙසේ නමුත් අතිරික්ත වටිනාකම හා එය සපයා ගැනීමට ඉඩ සලසා දෙන ඉඩම් ක්‍රමය කෙරෙහි ඔව්හු දැඩි සැලකිල්ලක් දැක්වූහ.

සුප්‍රකට අර්ථශාස්ත්‍රඥයකු වූ ඇඩම් ස්මිත් කම්කරුවන් විසින් ඇතිකරන මේ අතිරික්ත වටිනාකම අවදානම් සහිත නිෂ්පාදන කටයුතුවල සිය අරමුදල් යොදවන ව්‍යවසායකයාට හිමිවිය යුත්තක් බව ප්‍රකාශ කළේය. එය කම්කරුවන්ගේ වැටුප් ගෙවීමෙන් පසු, ධනපති පෙළට අයත් වූවන්ගේ ජීවනෝපාය සඳහා ඉතිරිවන ආදායම යයි ද හෙතෙම කීය.

19 වන ශතවර්ෂයේ විසූ ඉතා උසස් අර්ථශාස්ත්‍රඥයකු වශයෙන් සැලකෙන ඩේවිඩ් රිකාඩෝ භාණ්ඩවල වටිනාකම සෑදී ඇත්තේ ඒවා තැනීමට ගිය ශ්‍රම ප්‍රමාණය අනුව යයි කීය. එහෙත් භාණ්ඩවල ශ්‍රම වටිනාකමත් මුදල් වටිනාකමත් අතර ඇති වෙනස ඔහු පැහැදිලි කොට පෙන්වා නුදුන්නේය. භාණ්ඩයක් නිපදවීමට යොදන මූල ධනය වැටුප් ගෙවීමට පමණක් යොදන බව ඔහු හැඟෙව්වේය. එය ම ද්‍රව්‍යයක නිෂ්පාදන වියදම හැටියට ද එහි වටිනාකම හැටියට ද ඔහු සැලකීය. යන්ත්‍රෝපකරණ, අමුද්‍රව්‍ය යනාදිය සඳහා යටකී මූල ධනයෙන් පංගුවක් යොදන බවට කිසිවක් ඔහු කීවේ නැත. එහෙයින් රිකාඩෝගේ අදහස් අනුව අතිරික්ත වටිනාකම යනු භාණ්ඩ විකිණීමෙන් ලැබෙන ආදායමින් වැටුප් සඳහා යෙදූ වියහියදම් (ඔහු සිතන පරිදි වටිනාකම) අඩු කළ විට ඉතිරිවන මුදල් ප්‍රමාණයයි.

ඉහත කී සිද්ධාන්තවලට බෙහෙවින් ම වෙනස් වූ අතිරික්ත සිද්ධාන්තයක් ඉදිරිපත්කළ කාල්මාක්ස් අන් සෑම නිෂ්පාදන සාධකයක් මෙන්ම ශ්‍රමශක්තිය ද වෙළෙඳ පොළෙහි විශේෂ මිලක් දරනු හුවමාරු භාණ්ඩයකැයි ප්‍රකාශ කළේය.

ධනවාදී ක්‍රමය තහවුරු වීමට පෙර සමයෙහි දී, සරල නිෂ්පාදන ක්‍රමය (simple commodity production) යටතෙහි, නිෂ්පාදනකයා තමා සාදන ද්‍රව්‍යයන් කොටසක් මුදල්වලට විකුණා ඒ මුදලින් තමාට අවශ්‍ය වෙනත් ද්‍රව්‍යයන් ගැනීම සිරිත විය. ඔහුගේ මේ ක්‍රියාව පටන්ගන්නේත් අවසාන වන්නේත් යම් කිසි බඩු ගනුදෙනුවකින් බව පැහැදිලිය. ඔහුගේ අරමුණ වනුයේ පරිභෝජනය සඳහා ද්‍රව්‍ය නිපදවීමයි.

ධනවාදී ක්‍රමය යටතෙහි ධනපතියා වෙළඳ පොළට පිවිසෙන්නේ මුදල් රැගෙනය. ඒ මුදල් දී නිෂ්පාදනයට අවශ්‍ය ශ්‍රමශක්තිය, අමුද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ ආදී භාණ්ඩ ගනියි. මේ සියල්ලක් සංයෝග කරගෙන හෙතෙම තම වැඩපොළෙහි ඇතැම් භාණ්ඩ සාදයි. මේ භාණ්ඩ රැගෙන නැවත වෙළඳපොළට විත් විකුණා මුදල් ලබයි. මේ ක්‍රියා පිළිවෙළෙහි ආරම්භයත් අවසානයක් මුදල් ගනුදෙනුවක් බව පැහැදිලිය. සරල නිෂ්පාදන ක්‍රමයේ දී, නිෂ්පාදකයා ස්වකීය පරිභෝජනය පිණිස භාණ්ඩ නිපදවීමෙන් තෘප්තියක් ලබයි. ධනවාදී ක්‍රමයේ නිෂ්පාදකයා භාණ්ඩ නිපදවන්නේ තමා හිර කළ මුදලට වඩා වැඩිමනත් මුදලක් ඉපයීමේ අදහසිනි. මේ අදහස මුදුන්පත් කරගන්ට නම් ඔහු වැය කරන මුදල හා පසුව භාණ්ඩ විකිණීමේන ලබන මුදල අතර තරමක වෘද්ධියක් තිබිය යුතුයි. එය නැත්නම් ධනවාදී නිෂ්පාදනය ඇති නොවෙයි. පළමුවෙනි මුදලට වඩා දෙවන මුදලෙහි තිබෙන වෘද්ධියය කාල් මාක්ස් විසින් අතිරික්ත වටිනාකම යයි නම් කරනු ලැබුවේ. එම මුදල් වෘද්ධිය හෝ අතිරික්ත වටිනාකම ධනවාදී නිෂ්පාදනය ඇතිකිරීමට තුඩු දෙන එක ම සාධකය ද වේ. මේ අතිරික්ත වටිනාකම ඇතිවන අයුරු ඊළඟට විස්ර කරන මාක්ස් ශ්‍රමශක්තිය නමැති භාණ්ඩයෙහි වටිනාකම (value of labour power) කුමක් දැයි විමසයි. ශ්‍රමශක්තිය ද භාණ්ඩයක්ය යනු කාල් මාක්ස්ගේ මතය වේ. සෑම භාණ්ඩයක ම වටිනාකම රඳා පවත්නේ එය නිපදවීමට යෙදූ ශ්‍රමකාලය අනුව හෙයින් ශ්‍රමශක්තිය නමැති භාණ්ඩයට ද මේ න්‍යාය ම යෙදෙයි. එනම් ශ්‍රමශක්තිය යන භාණ්ඩයෙහි වටිනාකම නිශ්චය වන්නේ එය නිපදවීමට ගතවන ශ්‍රමකාලය අනුවය. කොටින් කියතොත් එය වූකලී වැඩකරුවාට අවශ්‍ය කෑම් බීම්, ඇදුම්, පැලඳුම්, ඉඳුම් හිටුම් සපයා ගැනීමට වැය කළ යුතු ශ්‍රමකාලයයි. මේ අවශ්‍ය භාණ්ඩවල මූල්‍යය රු.5ක් යයි සිතමු. දවසකට පැය අටක් වැඩකරන කම්කරුවා, පැය දෙකින් එය උපයා නම්, ඉතිරි පැය 6දී ඔහු උපයන මූල්‍ය සියල්ල ම ලැබෙන්නේ ඔහුගේ හාම්පුතා වූ ධනපතියාටය. තම ශ්‍රමශක්තිය යෙදීමෙන් ඉතිරි පෑය 6 දී කම්කරුවා උපදවන අතිරික්ත වටිනාකම ධනපතියා විසින් අත්පත්කර ගැනීම මිනිස් ශ්‍රමය සූරාකෑමක් හෙවත් ගසාකෑමක්ය යනු කාල් මාක්ස්ගේ මතය විය. ලාභ ලැබීම, බදුකුලී සහ පොලී අය කිරීම යන සියල්ල ම විවිධාකර යයි හේ කීය. කාල් මාක්ස්ගේ මේ සිද්ධාන්තයෙන් දේශපාලන දර්ශනයක් ද මතු විය. සමස්ත මානව ශිෂ්ටාචාරය ම මිනිස් ශ්‍රමයේ ප්‍රතිඵලයකි. එහි ඉෂ්ට ඵල කම්කරු පංතිය විසින් භූක්ති විඳිය යුතුය යන්න මාක්ස්ගේ දර්ශනය විය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අතිරික්ත_වටිනාකම&oldid=2938" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි