අතුර

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
1-35.jpg
පොල්ගස් විශාල සංඛ්‍යාවකින් රා මැද ගැනිමේ දී ගසින් ගසට යෑම පිණිස අතුරු ගසනු ලැබේ. එක ගසෙක කරඬුවෙහි සිට අනික් ගසෙක කරඬුව සම්බන්ධ කොට බඳින ලද තේඩාපට වලින් අතුර සකස් කරති. නැවත අතුරට අඩි සතරක් පහක් පමණ උඩින් සිටින සේ කඹපට තුනක් හෝ සතරක් බඳිති. ඊට අත්කොළ යයි කියනු ලැබේ. මේ අතුර හා අත්කොළය දියකඩකින් එතෙර වීමට තනන ලද ඒදණ්ඩට හා අත්වැලට සමානය. පොල්ගස් සීයයක් පමණ වුව ද එක ම අතුරට සම්බන්ධ කොට ඇඳා ගනිති. අතුරට සම්බන්ධ වූ මූල් ගස හා කෙළවර ගස ද පහසුවෙන් නැඟීම බැසීම සඳහා හැර ගසා සකස් කරති. දක්ෂ වූ රාමදින්නෙක් මුල් හැරගසින් අතුරට නැඟ පොල්ගස් සියයක් වුව ද මදිමින් පසු කර ගොස් කෙළවර හැරගසින් බිමට බසී. අරක්කු පෙරීම සඳහා රා මදින මුහුදබඩ පළාත්වල මෙබඳු අතුරු බොහෝ සෙයින් දැක්ක හැකිය.

අවුරුද්ද මුළුල්ලෙහි ම පොල්ගසකින් රා මැද ගැනීම ගසේ වැඩීමට හානි කර හෙයින් මැදීමේ කාලය අටමසකට සීමා වෙයි. නියම වශයෙන් ම අරක්කු පෙරීම සඳහා රා මැදීම මැයි මාසයේ මුල දී ආරම්භවී දෙසැම්බර් මාසයෙන් අවසන් වෙයි. එහෙයින් අප්‍රියෙල් මාසය තුළ අතුරු බැඳීම ආරම්භ වෙයි. අතුරක් බැඳීමට තේඩාපට සයක් හෝ සතක් ද, අත්කොළය පිණිස තුනක් හෝ සතරක් ද ගනු ලැබේ. සාරමසක් ඉක්මගිය පසු අතුරු තරකිරීම සඳහා අතුරට අලුත් කඹපට සතරක් ද, අත්කොළයට දෙකක් ද එක් රති. දෙසැම්බර් අවසානයේ දී රා මැදීම නැවති කල්හි අතුරු කපාහරීම සිරිතය. අතුර රාමදින්නාට පහසු වූ ගමන් මාර්ගයක් වුව ද හැම විට නිරුපද්‍රිත වූවක් නොවේ. ඇතැම් විට මීයන් විසින් අතුරට හානි පැමිණවිය හැකිය. මදින්නාගේ සතුරන් විස් ද පළුදු කළ හැකිය. කවර උපද්‍රවයකින් හෝ අතුර සිඳී ගියේ නම් සිහි ඇති මදින්නා අත්කොළයේ උපකාරයෙන් දිවි ගළවා ගත හැකි වුව ද, අත්කොළය සිඳී ගියේ සම් මදින්නා අනතුරට භාජනවීම නොවැළැක්විය හැකිය. මදින්නන් එබඳු අතවරයනට භාජන වන අවස්ථා ගැන ද කලාතුරකින් අසන්නට ලැබේ. අතුරු බැඳීම මෙරට කවර කලෙක ආරම්භ වී දැයි නිශ්චය වශයෙන් නොකියහැකිය. එහෙත් අරක්කු පෙරීම බහුල වශයෙන් පටන් ගැනුණු විදේශීය ආණ්ඩු කාලවල දී පුරුදු කරගන්නා ලදැ යි සිතිය හැකි වේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අතුර&oldid=3125" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි