අධිකරණ ආධාර (නීති ආධාර)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

යනුවෙන‍් හැඳින්වෙනුයේ නීතිඥ ගාස්තු ගෙවීමට තරම් වත් පොහොසත්කමක් නැති දුප්පත් අයට අධිකරණය හමුවෙහි දී සිය අයිතිවාසිකම් රැක ගැනීම සඳහා නොමිලයේ හෝ අධික නොවන ගාස්තුවක් පිට හෝ නීතිඥයන්ගේ සේවය හා නීති උපදෙස් ලබාදීමයි.

ශිෂ්ට සම්මත සමාජයේ හැම පුද්ගලයකුගේ ම ජිවිතය, නිදහස හා සෙසු අයිතිවාසිකම් රැකෙනුයේ ඒ ඒ සමාජයේ පිළිගත් නීති සමුදායක් අනුවය. නීතිය හමුවේ හැම පුද්ගලයකුම ම සමාන බවත් සමාන අයිතවාසිකම්වලට හිමි බවත් අවිවාදයෙන් පිළිගනු ලැබේ. මේ සමානත්වය මූලික මානුෂික අයිතිවාසිකමක් වශයෙන් විවිධ අන්තර්ජාතික සාකච්ඡා සම්මේලනයන්හි දී සම්මතය ලැබූ සිද්ධාන්තයකි. වර්ෂ 1948 මානව අයිතිවාසිකම් පිළිබඳ සමස්ත ලෝක ප්‍රකාශනයේ සහ වර්ෂ 1950 මානව අයිතිවාසිකම් හා මූලික නිදහස රැකීම පිළිබඳ යුරෝපීය සම්මේලනයේ දී ද මේ සිද්ධාන්තය අවධාරණයෙන් පිළිගන්නා ලදි.

සිද්ධාන්තයක් වශයෙන් අවිවා‍දයෙන් හා අවධරණයෙන් පිළිගැනුණ ද, මෙකරුණ ක්‍රියාවට නැංවීමේ දී යුක්තිය පසිඳන්නා වූ ද නීතිය විග්‍රහ කරන්නා වූ ද අයිතිය තීරණ කරන්නා වූ ද අධිකරණශාලාවන්හි දී මනුෂ්‍යයාගේ සමානාත්වය කෙතරම් දුරට සැබවක් දැයි විපරම් කළ යුතුය. එංගලන්තයේ විශිෂ්ට විනිශ්චයකාරවරයකු හා සාමිවරයකු ලෙස පිළිගත් ඇට්කින් සාමිවරයා එරටේ අධිකරණශාලා ගැන කදිම විග්‍රහයක් කරමින් "අපේ රටේ යුක්තිය පසිඳන අධිකරණ ශාලා ඕනෑ ම කෙනකුන්ට ඇතුළු විය හැකි ටරිට්ස් හෝටලය හා සමානය" යි වරක් පැවසීය. ඔහු මෙයින් අදහස් කෙළේ ඕනෑ ම රටවැසියකුට උසස් ම අධිකරණ ආයතනයේ පිහිට පැතීමට අවකාශ ඇති නමුත් සැබවින් ම එම පිහිට ලබා ගත හැකි වන්නේ වත්පොහොසත්කම් ඇති අයට පමණක් බවයි. අධිකරණ ආධාර වූකලී සුපරිශුද්ධ සිද්ධාන්තයක් වූ නීතියේ සාධාරණත්වය, අපක්ෂපාතිත්වය හා සමානත්මතාව අධිකරණ ශාලාවන්හි දී දිනපතා උරගා බැලීමේ දී බොහෝ විට මතුවී පෙනෙන අසාධාරණකම්, පක්ෂපාතකම් හා අයුතු ක්‍රියා නමැති කිලුට හැකි තරම් දුරට සඟවා වසා ගනු සඳහා අතලොස්සක් දෙනා ගන්නා වැර වෑයමක ප්‍රතිඵලයකි. ධනවාදී සමාජයේ අන් හැම තැනක දී මෙන් ම නීති සංස්ථාවන් හමුවේ දීත් දුප්පත්-පොහොසත් භේදය කැපී පෙනෙන බැවින් හැකි පමණින් එම භේදය වළකා වත්කමක් නැති දුප්පතාට අයුක්තියක් අසාධාරණයක් නොසිදුවන තැනට වග බලා ගැනීම අධිකරණ ආධාර ක්‍රමයේ පරමාර්ථයයි. එංගලන්තයේ හත්වැනි හෙන්රි රජු සමයේ දී දිළින්දන්ට අධිකරණාධාර සැපයීමේ ක්‍රමයක් පැවැතිණ. අකර්මණ්‍ය බවට පත් මේ ක්‍රමය 1883 සහමුලින් ම අහෝසි කරන ලදි. අනතුරුව 1914 දී නීති ආධාර ක්‍රමයක් ක්‍රියාවෙහි යෙදවීමට තැත් කළ ද, සිය කැමැත්තෙන් ආධාර දීමට ඉදිරිපත් වූ නීතිඥයන්ගේ සංඛ්‍යාව ප්‍රමාණවත් නුවූ බැවින්. 1926 දී ප්‍රථම වරට රජයේ ආධාර මුදලක් ද පිරිනමා මේ කාර්යය ලන්ඩන්හි නීතිඥ සංගමයට පවරන ලදි. 1948 දී නිකුත් කළ ධවල පත්‍රිකාවක නිර්දේශය පරිදි "සුළු මිනිසාගේ ප්‍රඥප්තිය" ලෙස එවකට සිටි ඇටෝර්නි ජනරාල් සර් හාට්ලි ෂෝක්‍රොස් විසින් හඳුන්වන ලද වර්ෂ 1949 ඉංග්‍රීසි නීති ආධාර හා උපදෙස් පනත මගින් එරටේ අධිකරණාධාර ක්‍රමය නීතිගත කරන ලදි.

ඇමෙරිකාවෙහි නීති ආධාර සැපයීම ඇරඹුණේ 1876 නිව්යෝක් නුවර ජර්මන් සංගමයේ සාමාජිකයන් විෂයෙහිය. ජර්මන් ජාතිකයන්ට පමණක් සීමා වූ එය 1890 වන විට ජාති භේදයෙන් තොරව පොදුවේ අධිකරණාධාර සපයනදේශව්‍යාප්ත ව්‍යාපාරයක් බවට පත්විය. නීතිඥ සංවිධාන මගින් මිස මෙහිලා රජයේ මැදහත්වීමක් නැත. වර්ෂයකට 3,50,000ක් පමණ දෙනා එමගින් ආධාර ලබති. ඉන්දියාවේ ද මේ දක්වා රජයේ ආධාරයක් හෝ මැදහත්වීමක් සහිත නීති ආධාර ක්‍රමයක් සකස් වී නැත. ඉන්දියාවේ නීති කොමිසමේ නිර්දේශ මේ අඩුපාඩුව ගැන සලකා බලා එවැන්නක අවශ්‍යතාව පැහැදිලි කර ඇත. නීතිඥ මණ්ඩල මගින් සංවිධානය වූ අධිකරණාධාර ක්‍රම කිහිපයක් නවදිල්ලිය, බොම්බාය, බටහිර බෙංගාලය ආදි පෙදෙස්වල ක්‍රියාවේ යෙදේ.

ලංකාවේ නීති ආධාර ක්‍රමය ආරම්භ වූයේ ලංකා නීති සංගමයේ මෙහෙයීම පිට 1958 දී ය. නීති සංගමයේ උපදේශක සභාවක් මගින් පාලනය වන මේ ආධාර ක්‍රමයේ පරමාර්ථය වනුයේ රටේ සෑම තැන ම නීති ආධාර ලබාගැනීමේ පහසුව සැලසීම, ගොඩපෙරකදෝරුවන්ගේ කරදරය සම්පූර්ණයෙන් මැඩලීම, සමාජයේ ධනහීන අසරණ පක්ෂය වෙනුවෙන් නීතිය බල පවත්වන්නේ කෙසේ දැයි මැනැවින් නිරීක්ෂණය කිරීම, මේ පන්තියේ අයට ඔවුන්ගේ නීති අයිතිවාසිකම් රැක ගැනීම සඳහා උපදෙස් දීම හා පිළිවෙත් යෙදීමත්ය. නීතිඥයකුගේ සේවය සඳහා ගාස්තු ගෙවිය නොහැකි නඩු කියන්නන්ට නීති උපදෙස් දීම, ලියකියවිලි ලියාදීම හා ඔවුන් වෙනුවෙන් උසාවිවල පෙනී සිටීම දැනටමත් මේ ක්‍රමය යටතේ ලද හැකි ආධාරයි. මේ ක්‍රමය අනුව යමකුට ආධාර දෙනු ලබන්නේ ඔහුගේ පවුලේ මුළු ආදායම මසකට රු. 150 කට නොවැඩි නම්, නඩුවක පාර්ශ්වකරුවකු වීමට සුදුස්සෙක් නම්, නීති ආධාර ලබා ගැනීමට නුසුදුස්සෙක් නොවේ නම් පමණකි.

නීති සංගමයේ නීති ආධාර ලබා ගත හැකි වන්නේ නඩත්තුව ඉල්ලා කාන්තාවන් මහේස්‍රාත් උසාවියේ පවරන ලද නඩුවලදීත්, හබෙයාස්කෝපුස් ආඥාවන්හි දීත් රික්වැස්ට්, දිස්ත්‍රික් හා ඇපැල් උසාවිවල සිවිල් නඩුවල දීත් පමණකි. බෙදුම් නඩු, බූදල් නඩු, උගස්කර, අපහාස, වන්දි නඩු හා වස්තු භංගත්වය පිළිබඳ නඩුවලට නීති ආධාර සපයනු නොලැබේ. එහෙත් ඕනෑ ම විෂයයක් පිළිබඳව උසාවියෙන් බැහැරව නීති උපදෙස් හා සමාදාන කිරීමේ සේවය ලබාගත හැකිය. සිය කිමැත්තෙන් සේවය සඳහා ඉදිපත් වූ නීතිඥ නාම ලේඛනයකින් තමන් කැමති නීතිඥයකු තෝරා ගැනීමට ද පහසුකම් ඇත. මේ ආධාර ක්‍රමය ක්‍රියාත්මක කළ මුල් වර්ෂය තුළ දී නීති සංගමයේ ආධාර පතා 726 දෙනෙක් ඉදිරිපත් වූහ. ඉන් 174ක් නුසුදුස්සන් වූ අතර 339 දෙනෙක් ම නීතිඥ සහාය ලැබූහ.

ස්කොට්ලන්තය, ජර්මනිය, නෝර්වේ, ස්වීඩන්, ස්විට්සර්ලන්තය හා ටැන්ජියර් ද අධිකරණ ආධාරය නමැති වරප්‍රසාදය ලද හැකි අනික් රටවල් වේ.

කර්තෘ:ප්‍රින්ස් ගුණසේකර

(සංස්කරණය:1963)