අධිකේන්ද්‍රිතවාදය (Totalitarianism)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සමාජයකට අයත් සෑම පුද්ගලයකු කෙරෙහි මෙන් ම සෑම ආයතනයක් හා සංස්ථාවක් කෙරෙහි ද නිරවශේෂ බලයක් පවත්වන ආණ්ඩු ක්‍රමයකට ප්‍රතිෂ්ඨා වූ දේශපාලන වාදයයි. පුද්ගලයාගේ නිදහස් කැමැත්තට ඉඩක් නොමැති මෙම ආණ්ඩු ක්‍රමය යටතේ මහජන කටයුතු මෙන් ම පෞද්ගලික ජීවිතයේ සෑම අංශයක් ද රජයේ අභිමතාර්ථයට අනුකූල විය යුතුය. රජයේ පැවැත්ම අවසාන පරමාර්ථය ය යනු මෙම ක්‍රමයට පදනම් වූ දර්ශනයේ ප්‍රථම මූලධර්මයයි. ඒ අනුව පුද්ගලයා වූකලී එකී පරමාර්ථය ඉටුකර ගැනීමට අවශ්‍ය උපකරණයක් පමණි.

අධිකේන්ද්‍රිතවාදී ආණ්ඩු බිහිවනුයේ ඇතැම් විශේෂ තත්ත්වයන් පසුබිම්කොට ගෙනයි. දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පරාජය වීම වැනි කාරණා හේතුකොටගෙන සමහර රටවල ජනතාව අධෛර්‍ය්‍යයට පත්ව සිටිනු දැක, යුද්ධ කාලයේ දී පැවති දුර්වල ආණ්ඩුව නෙරපා බලයට නැඟුණු පාලකයෝ සාමාන්‍යයෙන් ආඥාදායකයෝ වූහ. ජර්මනියේ නාට්සි ක්‍රමය පිහිටවූ හිට්ලර් හා ඉතාලියේ පැසිස්ට් ක්‍රමය බිහිකළ මුසෝලිනි මෙවැනි ආඥාදායකයෝ දෙදෙනෙකි.

අධිකේන්ද්‍රිතවාදීන් බලය අත්පත්කරගනු වස් බොහෝ විට යොදා ගන්නා උපක්‍රමය කූදෙතාව හෙවත් බලාත්කාරයෙන් රජ‍ය අල්ලා ගැනීමයි. ජනතාවගේ සිත් ඇද ගන්නා දර්ශනයක් හෝ ධර්මයක් ඉදිරිපත් කිරීම ඔවුන්ගේ සිරිතක් හැටියට සැලකිය හැකිය. නාට්සිවරුන් ඉදිරිපත් කළ ධර්මය නම් ජර්මන් ජාතිය ලෝකයේ අත්‍යුත්තම ශ්‍රේෂ්ඨතම ජාතියය යන මිථ්‍යාවයි. නාට්සීන් සහ පැසිස්ට්වාදීහු ස්වකීය රටවල ආර්ථික හා සාමාජික දියුණුව ඇතිකර සෙසු රටවල් පරදවා බලසම්පන්න රාජ්‍යයක් පිහිටුවා තම රටවල තේජෝබලපරාක්‍රමය පෙන්වාලීමට වැඩ පිළිවෙළවල් ඉදිරිපත් කළෝය.

අධිකේන්ද්‍රිතවාදී ඇතැම් ආණ්ඩු තම පාලන ක්‍රමය ව්‍යවස්ථානුකූල යයි ලොවට ප්‍රකාශ කරනු වස්, කලින් පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හා අණපනත් එසේ ම තිබෙන්නට හැරියෝය. හිට්ලර් ජර්මනියේ වෛමාර් සමූහාණ්ඩුවේ ව්‍යවස්ථා පනත එසේ ම තිබෙන්නට හැර, එහි අන්තර්ගත ප්‍රජාතන්ත්‍රවාදී අංගයන්ට සහමුලින් ම ප්‍රතිවිරුද්ධ ආඥාදායක ක්‍රියාපටිපාටියක් පවත්වා ගෙන යෑම මීට කදිම නිදසුනකි. වෛමාර් ව්‍යවස්ථාව මඟින් රටවැසියන්ට ප්‍රදානය කරනු ලැබූ අයිතිවාසිකම් සියල්ලක් ම හිට්ලර් නියම වශයෙන් නැතිකර දැමුවේය.

අධිකේන්ද්‍රිතවාදී රටවල ආර්ථික, සාමාජික, සංස්කෘතික යන සෑම කටයුත්තක් ම පාලනය කරනු ලබන්නේ රජය මඟින්ය. රටට ජාතියට මුහුණ පාන්නට වන සෑම ගැටලුවක් ම සෑම ප්‍රශ්නයක් ම විසඳීමට ද විඳින්නට වන සෑම කරදරයක දීම සහනය ලබා දීමට ද බලපුළුවන්කම ඇති එකම ආයතනය රාජ්‍යය යන හැඟීම සෑම අධිකේන්ද්‍රිතවාදී රාජ්‍යයක් ම ස්වකීය රටවැසියාගේ සිත්හි කාවද්දන්නට ප්‍රයත්න දරයි. මෙලෙසට ගැටලු විසඳා කරදර මඟහරවා ගැනීමේ දී රට වැසියා රජයේ හිතුමනාපයට ඒ ඒ කටයුතු සඳහා යෙදවීමට බලයක් රජයට ඇත. එහෙයින් වැසියා රජයේ පරමාර්ථ ඉටුකර ගැනීමේ දී ප්‍රයෝජනකොට ගනු ලබන හුදු උපකරණයක් බවට පැමිණේ. මේ අනුව රටවැසියාට මූලික අයිතිවාසිකම් නැත. ඔහුට වැඩි වශයෙන් ඇත්තේ යුතුකම්ය. මින් හැ‍ඟෙන්නේ රටවැසියා රජයේ බලයට සහමුලින් ම යටපත් වී ඇති වගයි. අධිකේන්ද්‍රිතවාදී රටක් සතු මෙකී බලය නොයෙක් අතින් ක්‍රියාවේ යෙදෙයි. ස්වකීය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, රැස්වීමේ නිදහස ආදි වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටවල වැසියන්ට පෞද්ගලික නිදහස ඇතත් අධිකේන්ද්‍රිතවාදී රටවල එබඳු නිදහසක් නැත්තේය. මහජන මතය ඇතිකරලීමට සහ හැඩ ගැසීමට ඉවහල් වන ප්‍රවෘත්ති පත්‍රය, නාට්‍ය වේදිකාව, සිනමාව, ගුවන් විදුලිය, පාඨශාලාව යනාදිය අධිකේන්ද්‍රිතවාදී රජය විසින් දැඩි ලෙස පාලනය කරනු ලැබේ. වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂ ද නැති කර දමනු ලැබේ. සමාජය කෙරෙහි කිසිදු බලයක් පාන අවශේෂ පිරිස් ද රජයේ නිලධරයන් යටතෙහි රජයේ පරමාර්ථයන් ඉටුකර ගැනීම සඳහා සංවිධානය කරනු ලැබේ. රජයේ පාලනය යටතේ පැවැත්වෙන තරුණ සමිති හා සමුපකාර සමිති මීට නිදසුන්ය.

නීතියෙන් පිළිගනු ලබන එක ම දේශපාලන පක්ෂය ආණ්ඩු පක්ෂයයි. ඒකපක්ෂ රාජ්‍යය යන පදය අධිකේන්ද්‍රිතවාදී ආණ්ඩුවට යෙදෙන්නේ මේ නිසායි. එම පාලන පක්ෂයේ සාමාජිකයන්ට නොයෙකුත් වරප්‍රසාද ලැබීම සිරිතකි. දුම්රියෙන් ගමන් කිරීමේ දී ඔවුන්ගෙන් අය කෙරෙන්නේ සාමාන්‍ය මගියකුගෙන් අය කෙරෙන ගාස්තුවට වඩා අඩු ගාස්තුවකි. රැකීරක්ෂා ලබා ගැනීමේ දී ද ඔවුන්ට විශේෂ පහසුකම් ලැබෙයි.

අධිකේන්ද්‍රිතවාදය හා ප්‍රජාපීඩනය: අධිකේන්ද්‍රිතවාදී ආණ්ඩු ක්‍රමවල කැපී පෙනෙන සමහර අංග පැරණි ඒකාධිපති ආණ්ඩු ක්‍රමවල ද දක්නට තිබිණි. රෝමයේ ‍ඩයෝක්ලීෂන්ගේ ප්‍රජා පීඩනය යටතේ ද ජපානයේ ෂෝගුන් පාලනය යටතෙහි ද මහා ආණ්ඩුවේ බලය පැවැත්වීමට බලසම්පන්න විධි විධාන යොදා තිබුණේය. මේ ආණ්ඩුක්‍රම යටතෙහි ද රහස් පොලිස් ක්‍රම යෙදීමෙන් ජනතාවගේ සිත් තුළ බිය උපදවා ඔවුන් බෙහෙවින් ම යටහත් පහත් භාවයකට පැමිණ වීම ප්‍රතිපත්තිය විය. පුරාණ ආණ්ඩු ද මෙසේ ජනතාව මැඩගෙන රජයේ පරමාර්ථ ඉටුකර ගැනීම සඳහා ක්‍රියා කළ නමුදු අධිකේන්ද්‍රිතවාදය මෑතක දී පහළවුණු ආණ්ඩු ක්‍රමයකි. නියම වශයෙන් ම අධිකේන්ද්‍රිතවාදී යයි කිව හැකි පාලන ක්‍රම බිහි වූයේ 20 වන සියවසෙහි ලෝක සංග්‍රාමවලට අනතුරුවයි.

අධිකේන්ද්‍රිතවාදය හා ආඥාදායක පාලනය: පාලන තන්ත්‍රයක බලය අනිසි අන්දමට පාවිච්චි කිරීම වළක්වන බාධක දෙවර්ගයක් ඇත. බලාත්කාරකම් කිරීම අයිතිවාසිකම් පනත් වැනි ඍජු බාධක මඟින් වළක්වනු ලැබේ. ආඥාදායක වූත් ඒකාධිපති වූත් සමාජවල මෙවැනි බාධක නොමැත. හිතුමනාපයේ ආණ්ඩු බලය ක්‍රියාවේ යොදවන ආඥාදායකයකුට හෝ ඒකාධිපතියකුට මහජන අයිතිවාසිකම් මුළුමනින් ම අමතක කර දැමීමට පුළුවන. ව්‍යවස්ථාගරුක නොවන කුමන රාජ්‍යයකට වුව ද වැසියාගේ සිවිල් අයිතිවාසිකම් අවලංගු කෙරෙන බැවින් රටවැසියගේ අයිතිවාසිකම් ‍අහෝසි වීම අධිකේන්ද්‍රිතවාදයට විශේෂ වූ අංගයක් නොවෙයි. ආණ්ඩු බලය උසුලන අය කෙරෙහි බලපාන අනියම් බාධක ද ඇත්තේය. මිනිසාගේ අයිතිවාසිකම් රැක බලා ගන්නා ආගමික ආයතන, ආර්ථික ආයතන, බලගතු ආයතන කණ්ඩායම්, බලගතු දේශපාලන කණ්ඩායම්, සංස්කෘතික හා වෘත්තීය සංගම් යනාදී සමාජයේ ඇති නොයෙකුත් කණ්ඩායම් මෙබඳු අනියම් බාධකයෝය. ආඥාදායක ආණ්ඩු යටතෙහි මෙකී කණ්ඩායම් ප්‍රසිද්ධියේ ම ආඥාදායකයා කෙරෙහි විරෝධයක් ඇති කරන්නේ නම් ඒ කණ්ඩායම් බලාත්කාරයෙන් ම නැති කර දමනු ලැබේ. එහෙත්, සාමාන්‍යයෙන් සමාජය සන්සුන්ව පවත්නා තාක් සාමාජික ජීවිතයට ඇඟිලි නොගැසීම ආඥාදායක ආණ්ඩුවක සිරිතක්ය. 16 වන ලුවී රජුගේ රාජ්‍ය කාලයෙහි සාමාන්‍ය ප්‍රංස ජනතාවට රජයේ ග්‍රහණයට අසු නොවී සුපුරුදු ලෙස සිය කටයුතු කරගෙන යෑමට අවකාශ තිබුණේය. ඇත්ත වශයෙන් ආඥාදායකයාගේ පාලන බලය රැඳුණේත් ආගමික හා ආර්ථික සංස්ථා හා බලගතු කණ්ඩායම් සමඟ ඇතිකර ගත් සබඳකම් මතය. ආඥාදායකයාට සිය බලය පවත්වා ගත හැකි වූයේ ද යට කී සබඳකම් පවත්වා ගෙන ගිය තාක් පමණය. පවත්නා තත්ත්වය වෙනස් විය නොදී රැක ගැනීම ආඥාදායක ආණ්ඩුවක පැවැත්මට අවශ්‍යය. විප්ලව සහිත වෙස්වීම් ආඥාදායක ආණ්ඩුවලට අහිතකර නමුත් අධිකේන්ද්‍රිතවාදී ආණ්ඩු ක්‍රමයේ ප්‍රධාන අංගය විප්ලවකාර වෙනස්වීම්ය. අධිකේන්ද්‍රිතවාදී ආණ්ඩු සිය බලය තහවුරු වුණු විගස ම සමාජයේ ඇත්තා වූ කණ්ඩායම් සහ ආයතන නැතිකර දමා අමුතු ම සමාජයක් හැඩගස්වා සමාජයේ වෙසෙන මිනිසුන් රජයේ ධර්මය අනුව හැඩගස්වා ගැනීමට පටන් ගනී. සමාජයේ බහුවිධත්වය සුන් කොට මුළු ජනතාව ම ඒකාකාර කොට සමාජයට අලුත් ස්වරූපයක් දීමට අධිකේන්ද්‍රිතවාදී රජය තැත් කරයි. අධිකේන්ද්‍රිතවාදී විප්ලවය ඇති කරනු වස් ජනතාව ඒකාකාර ස්වරූපයකට හැඩ ගැස්වීමට ක්‍රමවත් ප්‍රචාරයක් අවශ්‍යය. එහෙයින් අධිකේන්ද්‍රිතවාදී ආණ්ඩුවක් ය‍ටතෙහි කිසියම් දෘෂ්ටියක් හෝ ධර්මයක් දවස් පතා ජනතාවගේ සිත්හි කාවද්දන්නට ප්‍රයත්න දරනු ලැබෙයි. මේ සියල්ල සලකා බලන කල්හි අධිකේන්ද්‍රිතවාදය පැරණි ආඥාදායක ආණ්ඩුක්‍රමවලට වඩා බෙහෙවින් වෙනස් බව පෙනේ.

අද පවත්නා හැටියට අධිකේන්ද්‍රිතවාදී ආණ්ඩු ක්‍රමය මහේශාක්‍ය කණ්ඩායමක් මඟින් කෙරෙන පාලනයයි. කල් යත් යත් එම කණ්ඩායමේ බලය වඩාත් තහවුරු වෙයි.

(සංස්කරණය:1963)