අධිපති

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

තමහට අයත්ව පවත්නා ධර්මයන්ට ස්වාමිභාවයෙන් සිටුනා ධර්මයෝ අධිපති නම් වෙති. අන්‍යයන‍්ගේ බලය මැඩපවත්වා සිටුනා රජකු මෙනි. ඡන්ද-චිත්ත-විරිය-විමංසා යයි අධිපතිධර්ම සතරකි. යම් කලෙක කරනු කැමැති බව යයි කියන ලද ඡන්දය අධිපති කොට හෙවත් ප්‍රධාන කොට චිත්ත-චෛතසිකයෝ උපදනාහු නම්, එකල්හි එම ඡන්දය ඡන්දාධිපති නම් වෙයි. එසේ ම චිත්ත-විරිය විමංසා ධර්මයන් අතුරෙන් එකක් අධිපති කොට සිත උපදනා කල්හි ඒ ඒ ධර්මයන්ගේ අධිපති බව වෙයි.

තවද චක්ෂුරාදි ඉන්ද්‍රියධර්මයන්ගේ ද තම තමාට අයත් කෘත්‍යයෙහි අධිපතිබව ඇත්තේය. එහෙත් ඔවුහු අන්‍ය ධර්මයන්ගේ ශක්තියට බාධා නොකොට තම තමාගේ කෘත්‍යයෙහි ම අධිපති වෙති. නිදසුන් වශයෙන් දර්ශන කෘත්‍යයෙහි අධිපති වූ චක්ෂුරින්ද්‍රිය ශ්‍රෝත්‍රාදි අන්‍ය ඉන්ද්‍රියයන්ගේ ශ්‍රවණාදි කෘත්‍යයන්ට බාධා නොකොට තමාට අයත් කෘතයෙහි ම ප්‍රධාන වෙයි. උදාහරණ මෙසේය: පෙදෙසිරජෙක් සිය ජනපදයෙහි අධිපතිබව පවත්වයි. අන් පෙදෙසිරජකුගේ බලයට හානි නොකරයි. එහෙත් සක්විතිරජ පෙදෙසිරජුන්ගේ බලය මැඩපවත්වා සිය අණසක පවත්වයි. ඉන්ද්‍රියධර්මයන්ගේ හා අධිපතිධර්මයන්ගේ ශක්තිය ද එමෙනි. ඉන්ද්‍රියධර්මයෝ පෙදෙසිරජුන් වැන්නහ. අධිපති ධර්මයෝ සක්විත්තකු වැනියහ.

තවද අධිපතිභාවයෙන් උපකාරවන ධර්මය අධිපතිප්‍රත්‍යය නමුදු වේ. එකවිට අධිපතීහු බොහෝ දෙනෙක් නොවෙති. එහෙයින් ඡන්දාදි ධර්ම එක විට උපදනේවී නමුදු අධිපතිප්‍රත්‍යයභාවය එක් ධර්මයක් කෙරෙහි ම පවතී. අන්‍යධර්මයෝ ඊට අනුව පවත්නාහුය. අධිපතිප්‍රත්‍යය සහජාතාධිපති ආරම්මණාධිපති වශයෙන් දෙවැදෑරුම් වෙයි. එයින් සහජාතාධිපති නම් යට කී ඡන්ද-චිත්ත-විරිය-වීමංසා යන සතර මැයි. ආරම්මණාධිපති සයෙකි : කුසල-අකුසල-විපාක-කිරිය-රූප-නිබ්බාන කියායි.

අංගුත්තර නිකායෙහි අධිපතිභාවයෝ තිදෙනෙක් දැක්වෙති: ආත්ම-ලෝක-ධර්ම වශයෙනි. එහි තමා අධිපති කොටගෙන උපදවන ලද ගුණ සමූහය අත්තාධිපතෙය්‍ය නම් වෙයි. ලෝකයෙන් පැමිණෙන ගැරැහුම් සලකා අකුසලින් දුරුව කුසල් වැඩීමෙන් උපදවන ලද ගුණය ලෝකාධිපතෙය්‍ය නම් වෙයි. නව ලොවුතුරු දහම් සලකා ධර්මය අධිපති කොටගෙන ඊට පැමිණීම සඳහා වැර වැඩීමෙන් උපදවන ලද ගුණය ධම්මාධිපතෙය්‍ය නම් වේ.

ජාතකට්ඨකථායෙහි පව්කම් කිරීමෙහි ලජ්ජා ස්වභාවයෙන් උපදනා හිරි හෙවත් පාපයෙහි ලජ්ජාව තමා ම අධිපති කොට උපදනා හෙයින් අත්තාධිපතෙය්‍ය යයි ද, පව් කිරීමෙහි බියපත්වීම් වශයෙන් උපදනා ඔත්තප්පය ලෝකය අධිපති කොට ලෝකාපවාදයට බියෙන් පාපයෙන් වැළකී කුසල්දහම්හි යෙදෙන හෙයින් ලෝකාධිපතෙය්‍ය යයි ද දක්වන ලද්දේය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අධිපති&oldid=1758" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි