අධිමානය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මාර්ගඵලාධිගමයක් නැතිව අධිගතයෙමි හෙවත් සෝවාන් ආදී මගපල අවබෝධ කිරීමක් නැතිව එය අවබෝධ කෙළෙමි යි උපදනා අධිකමානය "අධිමාන" නම් වෙයි. උදයව්‍යය ඥාන නම් වූ තරුණවිදර්ශනාව ලැබූ ආරද්ධ විපස්සක හෙවත් පටන් ගත් විදර්ශනා භාවනා ඇති යෝගාවචරයාහට මේ අධිමානය උපදනේය. සසර නැවත නැවත උපදනා බවට ම හැරුණු බාල පෘථග්ජනයා හට අධිමානය නූපදී. ආර්‍ය්‍යශ්‍රාවකයාහට ද නූපදී. ආර්‍ය්‍යශ්‍රාවකයා වනාහි මඟපල නිවන් මෙන් ම ප්‍රහීණ කළ කෙලෙසුන් හා ඉතිරිව සිටි කෙලෙසුන් ද ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් උපන් සොම්නස් ඇත්තේ තමන් ප්‍රතිවේධ කළ ආර්‍ය්‍ය ගුණයෙහි නිසැක වූයේ වෙයි. එහෙයින් සෝවාන් ආදි ආර්‍ය්‍ය පුද්ගලයාහට "මම සකෘදාගාමි වෙමි, අනාගාමි වෙමි" ආදි වශයෙන් අධිමාන නූපදී. ආර්‍ය්‍යගුණ ප්‍රතිවේධ කිරීමෙහි අපේක්ෂාවක් නැති දුශ්ශීලයාහට ද අධිමානය නූපදන්නේ මය. කමටහන් වැඩීම හැර දමා නිද්දාරාමතාදියෙහි යෙදී වාසය කරන සිල්වත් පුද්ගලයාහට ද අධිමානය නූපදී. පිරිසිදු සිල් ඇති කමටහන්හි නොපමා වූ නාමරූප පරිච්ඡේද ඥානය හා කඞඛාවිතරණ විසුද්ධිය ද ලැබූ ආරද්ධවිපස්සක පුද්ගලයා හට ම අධිමානය උපදනේය. සුද්ධසමථයානිකයකුට හෝ සුද්ධවිපස්සනායානිකයකුට අධිමානය උපන්නේ වී නම් හෙතෙම මාර්ග භාවනාවට නොපැමිණ අතර දී ම නවත්නේය. හේ දස-විසි තිස් අවුරුද්දක් නමුදු කෙලෙසුන්ගේ පැවැත්මක් නැති හෙයින් "මම සෝතාපන්න සකදාගාමි අනාගාමී හෝ වෙමි" සිතයි. අධිමානයට පැමිණි සමථවිපස්සනායානිකයා වනාහි "මම රහත්මී" සිතයි. ඔහු විසින් සමාධි බලයෙන් විෂ්කම්භණ වශයෙන් කෙලෙස්හු යටපත් කරන ලද්දාහුය, විදර්ශනා බලයෙන් සංස්කාරයෝ පිරිසිඳින ලද්දාහුය. එහෙයින් සැට සැත්තෑ අවුරුද්දක් නමුදු කෙලෙසුන්ගේ පැවැත්මක් නැත. ඔහුගේ චිත්තා චාරය ද රහත් කෙනකුන්ගේ මෙන් වෙයි.

තවද මේ අධිමානය උපදනේ දස වැදෑරුම් විදර්ශනාඋපක්ලේශයන්ගේ වශයෙනි. එනම් ඕභාස, ඤාණ, පීති, පස්සද්ධි, සුඛ, අධිමොක්ඛ, පග්ගහ, උපට්ඨාන, උපෙක්ඛා, නිකන්ති යන මොවුහුයි. ඕභාස නම් විදර්ශනා ආලෝකයයි. එය උපන් කල්හි යෝගාවචර තෙමේ "මට මෙයින් පෙර මෙබඳු ඕභාසයෙක් නූපන්විරූය. ඒකාන්තයෙන් මාර්ගයට ඵලයට පැමිණයෙමි" සිතා අමාර්ගය මාර්ගය යි ද අඵලය ඵලය යි ද ගෙන තමාගේ මූලකර්මස්ථානය හැරපියා ඕභාසය ම ආස්වාදනය කෙරෙයි. "ඤාණ" නම් විදර්ශනාඥානයයි. රූපා රූපධර්මයන් මෙනෙහි කරන යෝගාවචරයාට ඉතා තියුණු වූ විශද වූ ඥානය උපදී. 'පීති' නම් විදර්ශනාප්‍රීතියයි. ඒ යෝගාවචරයාහට විදර්ශනා අවස්ථායෙහි ඛුද්දිකා, ඛණිකා, ඔක්කන්තිකා, උබ්බෙගා, ඵරණා යන පස්වැදෑරුම් ප්‍රීතිය සකල ශරීරය පැතිරැගෙන උපදී. පස්සද්ධි නම් විදර්ශනාව නිසා උපන් කායචිත්තයන්ගේ සැහැල්ලු වූ මෘදු වූ කර්මණ්‍ය ස්වභාවයයි. සුඛ නම් විදර්ශනාවෙන් උපන් සුවයයි. යෝගාවචරයාහට විදර්ශනා අවස්ථායෙහි සියලු සිරුර තෙමමින් මෙන් ඉතා ප්‍රණීත වූ චිත්තචෛතසික සුඛය උපදී. අධිමොක්ඛ නම් ශ්‍රද්ධාවයි. ඔහුට චිත්තචෛතසිකයන් අතිශයින් පහදවන විදර්ශනාව සමග යෙදුණු බලවත් ශ්‍රද්ධාව උපදී. පග්ගහ නම් වීර්‍ය්‍යය යි. විදර්ශනා සම්ප්‍රයුක්ත වූ ම නොලිහිල් නොදැඩි වූ වීර්‍ය්‍යයද උපදී. උපට්ඨාන නම් විදර්ශනා සම්ප්‍රයුක්ත වූ ම ස්මෘතියයි. යෝගාවචරයාහට පර්වතයක් මෙන් අචල වූ මොනොවට පිහිටි සිහිය උපදී. හෙතෙම යම් යම් තැනක් මෙනෙහි කෙරේ නම්, දිවැස් ඇත්තකුට මෙන් සියල්ල ඔහුගේ ස්මෘතියට වැටහෙයි. උපෙක්ඛා නම් විදර්ශනා උපේක්ෂාව හා ආවර්ජනා උපේක්ෂාවයි. විදර්ශනා අවස්ථායෙහි-යෝගාවචරයාහට සංස්කාරයන්හි මධ්‍යස්ථාකාරයෙන්, පවත්නා විදර්ශනාඋපේක්ෂාව බලවත්ව උපදී. ඒ ඒ තැන ආවර්ජන (නුවණින් බැලීම) කරන්නහුට ඉතා තියුණුව ආවර්ජන උපේක්ෂාව ද උපදී. නිකන්ති නම් විදර්ශනායෙහි උපදනා ආලයයි. ඕභාසාදිය හේතුකොටගෙන විදර්ශනාවට ආලය කිරීම් වශයෙන් සියුම්ව ශාන්තාකාරයෙන් නිකන්තිය උපදී.

මේ ඕහාසාදි දසවැදෑරුම් විදර්ශනාඋපක්ලේශ ධර්ම උපන් කල්හි මට මෙයින් පෙර මෙබඳු වූ ආලෝකයක් හෝ ඥානාදියක් උපන්නේ නැත, ඒකාන්තයෙන් මාර්ගයට ඵලයට පැමිණියෙමි" යි අධිමානය උපදී. ඉක්බිති හෙතෙම තමාගේ මූල කර්මස්ථානය හැරපියා ඒ ඕභාස ඥාන ආදිය ම ආස්වාදනය කෙරෙමින් විදර්ශනා විෂයෙහි උදාසීනව හිඳී. රහත්බව ලදිමි යි වටහාගෙන අධිමානය ඇතිකරගත් හෙයිනි.

පොත්පත්:

විසුද්ධිමග්ග

සමන්තපාසාදිකා

විභඞ්ගට්ඨකථා

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අධිමානය&oldid=1759" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි