අධිරාජ්‍යවාදය (Imperialism)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කුඩා මසුන් ගිල ගැනීම ලොකු මසුන්ගේ පුරුද්ද වන්නාක් මෙන් දුබල රටවල් යටත් කරගැනීම බලවත් රටවල පාලකයන් අතර පුරාණයේ සිට ම පැවත එන පුරුද්දකි. සමහර පාලකයෝ සිය රටේ ආරක්ෂාව තර කිරීමට අන්‍ය රටවල් යටත් කරගත්හ. සමහරු තම ශිෂ්ටාචාරය හෝ ආගම හෝ ඒ දෙක ම හෝ පැතිරවීම සඳහා විජිතයන් සෙවූහ. යටත් විජිතයන් ඇති කිරීමේ දී "දිග්විජය" හෝ "ධර්ම විජය" හෝ ඒ දෙක ම හෝ කිරීම පුරාණ රජවරුන්ගේ පරමාර්ථය වූ බව සාමාන්‍යයෙන් දැක්විය හැකිය. අසල්වැසි රාජ්‍යයන් යටත් කර ගැනීමේ දී රජකු විසින් අනුගමනය කළ යුතු උපක්‍රම පිළිබඳ විස්තරයක් කෞටිල්‍යයන්ගේ අර්ථශාස්ත්‍රයෙහි එයි.

සුමේරියානු හා ඇසිරියානු ජාතිකයෝ ද මිසරයේ රජවරු ද පර්සියානු ජාතිකයෝ ද ග්‍රීක්වරු ද චීන ජාතිකයෝ ද නොයෙක් ගෝත්‍රවලට අයත් ඉන්දියානු රජවරු ද රෝමයේ පාලකයෝ ද වරින්වර අධිරාජ්‍යයන් ගොඩනැංවූහ. පස්ළොස්වන සියවසේ සිට අටළොස්වන සියවස දක්වා වෙළඳාම හා ආගම පැතිරවීම පිණිස පෙරඅපර දෙදිග සංචාරය කළ බ්‍රිතාන්‍ය, ප්‍රංස, පෘතුගීසි සහ ස්පාඤ්ඤ ජාතිකයෝ උතුරු හා දකුණු ඇමෙරිකාවේ ද ආසියාවේ ද යටතේ විජිතයන් ඇති කළහ.

දේශපාලන හා ආර්ථික සංකල්පයක් වශයෙන් සැලකීමේ දී අධිරාජ්‍යවාදය යනුවෙන් ගැනෙන්නේ දහනවවන සියවසේ මැද භාගයේ සිට කර්මාන්ත අතින් දියුණු වූ ජාතීන්ට යටත් විජිතයන් ඇති කිරීමට කරුණු වූ ආර්ථික වූත්, දේශපාලන වූත් හේතූන් විස්තර කිරීමකි. දහනවවන සියවසට පෙර අධිරාජ්‍යයන් ගොඩනැංවීම ආගමික කරුණු නිසා හෝ රාජවංශයන් අතර ඇති වූ කලහ, භේද නිසා හෝ ආර්ථික කරුණු නිසා හෝ පාලකයන්ගේ කීර්තිය හා බලය පැතිරවීම සඳහා හෝ කරන ලදි.

අටළොස්වන සියවසේ දී යු‍රෝපයේ ඇති වූ කාර්මිකයන් විසින් වෙන් වෙන් වශයෙන් තමන් දන්නා අයගේ ප්‍රයෝජනය සඳහා බඩු නිපදවනු ලැබීම අඩු වී ගොස් විශාල වෙළෙඳපොළවලට සෑහෙන තරම් බඩු තැනීම උදෙසා කර්මාන්ත ශාලා පහළ විය. මේ සමඟ ම බටහිර යුරෝපයේ ආර්ථික ක්‍රමය ද වනෙස් විය. රදල ක්‍රමය පිරිහී ගියේය. රදල ඉඩම්හිමියන්ගේ බලය අඩු වී කර්මාන්ත හිමියන්ගේ බලය නැඟී සිටියේය. ධනවාදය බටහිර යුරෝපා රටවල හා උතුරු ඇමෙරිකාවේ ද පැතිරෙන්නට වන. ධනවාදය පැතිරීමත් සමඟ ම ධනයේ හිමිකම සුළු ධනපතීන්ගේ අතින් ලොකු ධනපතීන් අතට පත් විය. ධනවාදයේ මූලික අවස්ථාවේ විශේෂ අංගයක් වූ තරගය අඩු වී ඒ වෙනුවට ඒකාධිකාරී ආර්ථික ක්‍රමයක් ඇති විය. ලාභ ලබා ගැනීම ධනවාදයේ මූලික පරමාර්ථයයි. වැඩි ලාභයක් ලබාගත හැකි ව්‍යාපාරයන්හි ධනය යෙදීම ධනවාදීන්ගේ ප්‍රතිපත්තියකි. ධනවාදයේ උච්චාවස්ථාවක් වූ ඒකාධිකාරිත්වය ද ලාභ ලැබීම ම පරමාර්ථ කොට ඇත්තේය. ඒකාධිකාරිත්වය අනුව වැඩි ලාභ ලබා ගැනීම සඳහා කාර්මික ව්‍යාපාරයන්හි ධනය යෙදවීම පිණිස ධනවාදීහු ද බැංකු හිමියෝ ද අත්වැල් බැඳගත්හ.

ධනවාදයේ වැඩීම සමඟ ම රාජ්‍ය තන්ත්‍රයේ ද වෙනස්කම් ඇතිවිය. ඉඩම්හිමි රදලවරුන් විසින් ප්‍රධාන කොටම රදල ‍ක්‍රමයේ දියුණුව සඳහා යොදවන ලද රාජ්‍ය තන්ත්‍රය ධනවාදීන්ගේ බලයට යටත් විය. ධනවාදීන්ගේත් ධනහිමියන්ගේත් ශුභසිද්ධිය සැලසීම මීට පසු රාජ්‍ය පාලනයේ මූලික පරමාර්ථය වූයේය.

ලාභ වැඩිවීමත් සමඟ ධනය වැඩි වේ. තව තවත් ලාභ ලබා ගැනීමට වැඩි වූ ධනය තව ත වත් ව්‍යාපාරවල යෙදවිය යුතුය. අමුතු ව්‍යාපාර පටන් ගැනීමටත්, පවතින ව්‍යාපාර ගෙන යෑමටත් අමුද්‍රව්‍ය අවශ්‍යය. ව්‍යාපාරයක් මගින් නිපදවන බඩු ලාභ ඇතිව අලෙවි කරගත යුතුය. ඒ සඳහා වෙළඳපොළවල් අවශ්‍යය. දියුණු වූ ධනවාදය යුරෝපයට හෝ උතුරු ඇමෙරිකාවට හෝ පමණක් සීමා කිරීමෙන් ධනවාදීන්ට විශාල ලාභ ලබා ගැනීම අපහසු විය. ධනවාදීන් විසින් රැස් කරන ලද ධනය සමාජයේ දියණුවට යෙදීම රටේ දියුණුව පිණිස කරුණු වන නමුත් ධනවාදයේ අරමුණ වන්නේ රටේ දියුණුව නොවේ; වැඩි ලාභ ලබා ගැනීමය. මේ නිසා ධනවාදීන්ට සිය ධනය යෙදවීමට ද අමුද්‍රව්‍ය ලබාගැනීමට ද වෙන රටවල් සොයා යෑමට ද සිදු විය. කාර්මික විප්ලවය පැතිර නොගිය ඌන සංවර්ධිත දකුණු ඇමෙරිකානු රටවල් ද ආසියාතික රටවල් ද නොදියුණු අප්‍රිකානු රටවල් ද ධනවාදීන්ට සරු බිම් විය.

මෙකී රටවලින් සමහරක අමු ද්‍රව්‍ය බහුල විය. සමහරක් අමුද්‍රව්‍ය වගා කිරීමට ඉතා යෝග්‍ය විය. අමුද්‍රව්‍ය නිපදවීමේ කර්මාන්තවල යෙදවිය හැකි විශාල ජනකායක් ද මේ රටවල සිටියහ. ඔවුන්සමඟ කළ වෙ‍ළඳාමෙන් ද ධනවාදීන්ට සැලකිය යුතු තරම් ලාභයක් ලබා ගැනීමට පුළුවන් විය. මේ රටවල පාලන බලය අල්ලා ගත් රාජ්‍යයන්හි ධනවාදීන්ට ඉතා අඩු මිලට අමුද්‍රව්‍ය ලබා ගැනීමටත් තමන්ගේ වැඩි ධනය ඒ රටවල දුම්රියමාර්ග ආදිය තැනීමේ කටයුතුවලට යෙදීමටත් පහසුකම් සැලසුණේය.

එහෙත් මෙවැනි වැඩ පිළිවෙළකට නිදහස් වෙළඳාම බාධකයකි. වෙළඳාමටත් අමුද්‍රව්‍ය පහසුවෙන් සහ අඩු මිලට ලබාගැනීමටත් යටත් රටවල් තබා ගැනීම නිදහස් වෙළඳාම පවතින සමාජයකට ආර්ථික වශයෙන් නම් යෝග්‍ය ක්‍රමයක් නොවේ. අමුද්‍රව්‍ය සහ ආහාර ද්‍රව්‍ය අඩුමිලට ගැනීම ද තම බඩු නිදහසේ වෙළඳාම් කිරීම ද ඕනෑම රටක ව්‍යාපාරිකයකුට නිදහස් වෙළඳාම් ක්‍රමය යටතේ පහසුවෙන් කළ හැකි බැවිනි. එහෙත් ඒකාධිකාරී ව්‍යාපාරිකයන් ගේ මූලික අදහස වූ අධික ලාභ ලබා ගැනීම ඒ ක්‍රමය යටතේ මුදුන් පත් කරගත නොහැකි වේ. එබැවින් නිදහස් වෙළඳාම රාජ්‍ය ප්‍රතිපත්තියක් වශයෙන් පිරිහී ගියේය. ඒ වෙනුවට ආරක්ෂණ ක්‍රමය පැතිරෙන්නට වන. ආරක්ෂණ ක්‍රමයට ධනවාදී මුල් රට ද ඒ රටට යටත් රටවල් ද ඇතුළත් විය. ආරක්ෂිත ප්‍රදේ්ශයේ බඩු මිල නියම කිරීමට ඒකාධිකාරී ව්‍යාපාරිකයන්ට පුළුවන් විය. එම ප්‍රදේශය තුළ තමන්ගේ බඩු වැඩි මිලට අලෙවි කොට ඉතුරු වූ බඩු ආරක්ෂිත ප්‍රදේශයෙන් පිට රටවලට දී අඩු මිලට විකිණීමේ ඒ රටවල ව්‍යාපාරිකයන්ට පහරක් ගැසීමට ද ඒකාධිකාරීහු පුරුදු වූහ. යටත් විදේශ ලබා ගැනීමට ඒකාධකාරීන් උනන්දු වූයේ මෙකී කරුණු නිසාය.

ධනවාදී එක් රාජ්‍යයක ඒකාධිකාරී ව්‍යාපාරිකයෝ ධනවාදී අන් රටවල ඒකාධිකාරී ව්‍යාපාරිකයන් සමඟ තරගයට වන්හ. ඔවුහු ආසියාවේත් අප්‍රිකාවේත් වෙළඳ මධ්‍යස්ථාන ඇති කළහ. මේ මධ්‍යස්ථාන අන් රටවල ව්‍යාපාරිකයන්ගෙන් හා ඒ මධ්‍යස්ථාන පිහිටි රටවල ජනයාගෙන් ආරක්ෂා කිරීම සඳහා සමහර විට අවි බලය යෙදවීම අවශ්‍ය විය. ධනවාදී රටවල පාලන තන්ත්‍රය ඒකාධිකාරීන්ගේ බලයට යටත් වූ සමයක මේ අවි බලය ලබාගැනීම ඉතා පහසු විය. ධනවාදීහු සිය රටේ අවි බලය යොදවමින් වෙළඳ මධ්‍යස්ථාන පිහිටි රටවල විශේෂ වරප්‍රසාද ලබා ගත්හ. දුම්රිය මාර්ග තැනීමත්, අමුද්‍රව්‍ය නිපදවීමත් සියතට ගත්හ. ලෝකයේ නොදියුණු වූත් ඌන සංවර්ධිත වූත් රටවල් ඒකාධිකාරී ධනවාදයේ බලය වැඩුණු කාර්මික රටවලට යටත් වූයේ මේ අයුරිනි. ලාභය අරමුණු කොට යටත් රටවල් ලබාගැනීම සඳහා කෙරුණු තරගයේ දී ධනවාදී රටවල් අතර ආර්ථික සංඝට්ටනය ඇති විය. ආර්ථික සංඝට්ටනය නිසා ඒ රටවල් අතර යුද්ධ ද ඇවුළුණේය.

යටත් විදේශ ඇති කිරීමේ තරගයේ මුල් තැන දිය යුත්තේ මහාබ්‍රිතාන්‍යයටය. මුලින් ම ඉතා දියුණු වූ ධනවාදී රට වන බ්‍රිතාන්‍යයේ ව්‍යාපාරිකයෝ අන් ධනවාදී රටවල ව්‍යාපාරිකයන්ට ප්‍රථමයෙන් සිය ආර්ථික බලය ආසියාවේත් අප්‍රිකාවේත් පැතිරවූහ. ප්‍රංස හා ජර්මන් ධනවාදීන් තරගයට බැස්සේ මීට පසුවය. තම රටේ ආර්ථික දියුණුව වහල් කොටගෙන විශාල ලාභ ලබා ගත් ඇමෙරිකානු ධනවාදීන් ද යුරෝපීය හා ඇමෙරිකානු රටවලට පසුව කාර්මික විප්ලවයේ ප්‍රතිඵල ලැබූ ජපන් ධනවාදීන් ද ආර්ථික බලය පැතිරවීමේ තරගයට ඉදිරිපත් වූයේ යුරෝපීයයන් ඉතා සරු වූත් විශාල ලාභ ලැබිය හැකි වූත් රටවල් යටත් කරගත්තාට පසුය. ඇමෙරිකානු ධනවාදීහු තම ආර්ථික බලය දකුණු ඇමෙරිකානු රාජ්‍යයන්හි ද ශාන්තිකර සාගරයේ දූපත්වල ද චීනයේ සමහර කොටස්වල ද පැතිරවූහ. ජපන් රටේ පාලකයෝ සිය බලය නැගෙනහිර ආසියානු රටවල පැතිර වූහ.

අප්‍රිකාව හා චීනය ධනවාදී රටවල් අතර බෙදා ගැනීමේ ඉතිහාසයෙන් යටත් විදේශ රටවල් පිළිබඳ තරගයේ අවස්ථා දෙකක් පෙනේ. කාර්මික හා ආර්ථික අංශ අතින් දියුණු වූ යුරෝ‍පයේ රටවල ඒකාධිකාරී ධනවාදීහු වෙළඳපොළක් හා අමුද්‍රව්‍ය ලබා ගැනීමේ ස්ථානයක් වශයෙන් අප්‍රිකාවේ ඇති අගය වටහා ගත්හ. නොයෙක් රටවලට අයත් යුරෝපීය ව්‍යාපාරිකයෝ අප්‍රිකාවට රොක් වූහ. එහි නිවැසි ගෝත්‍රික ජනයා නිසරු පළාත්වලට එළවා දැමූහ. අමුද්‍රව්‍ය නිදවන කර්මාන්තවල අප්‍රිකානු ජනයා බලයෙන් යෙදවූහ. විශේෂයෙන් ම කොංගෝ ප්‍රදේශයේ අප්‍රිකානු ජනයාට යුරෝපීයයන් විසින් කරන ලද හිංසාපීඩා ශිෂ්ට මිනිසාගේ පිළිකුලට කරුණු වේ මැයි. යුරෝපීය රාජ්‍යයන් අතර 1884 දී "අප්‍රිකාවේ වෙළඳාම හා ශිෂ්ටාචාරය පැතිරවීම" සඳහා පැවැත්වූ බර්ලින් සාකච්ඡාවේ දී කොංගෝ ප්‍රදේශය හා මධ්‍යම අප්‍රිකාව බෙදා ගැනීමට සම්මුථියක් ඇතිවිය. ප්‍රථම ලෝක මහා සංග්‍රාමය ඇතිවන අවධියේ දී අප්‍රිකාව යුරෝපීය ජාතීන් අතර බෙදාගැනීම සම්පූර්ණ වී තිබිණි. උතුරු අප්‍රිකාවේ නිදහස් අප්‍රිකානු රටවල් ද කිසියම් යුරෝපීය රාජ්‍යයක ආරක්ෂිත රටවල් බවට පැමිණින.

චීනයේ තත්වය අප්‍රිකාවට වඩා වෙනස් වූයේය. ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති චීනයේ පාලනය 19 වන සියවස වන විට මංචු රජවරුන් යටතේ පැවතිණ. බාහිර බලපෑම් පුළුවන් තරමින් මඟහැර සිටි මංචුවරුන්ගේ චීනය ආර්ථික තත්වය අතින් දුර්වල විය. මහා ආණ්ඩුවට නමින් පමණක් යටත් වූ ප්‍රාන්ත පාලකයෝ නිදහස් රජුන් මෙන් ක්‍රියා කළහ. සිය ආර්ථික බලය පැතිරවීම සඳහා පෙරදිග බලා ගිය යුරෝපීය ධනවාදීහු චීනයේ ආර්ථික හා දේශපාලන දුර්වලතාවන් තම වාසියට හරවා ගත්හ. චීනයේ එක් එක් කොටස එක් එක් යුරෝපා රාජ්‍යයේ බලය පැවැත්වෙන ප්‍රදේශයක් බවට පත් කළහ. මේ අතර මංචු රාජ්‍යයේ උතුරු කොටස් සිය ආර්ථික බලයට යටත් කර ගැනීමට ජපානය සමත් විය. චීන කොල්ලයට ඇමෙරිකා එක්සත් ජනපදය ද සම්බන්ධ වූයේය. යුරෝපීය, ජපන් හා ඇමෙරිකානු රාජ්‍යයෝ චීනය සමඟ චීනයට අහිතකර විෂම ගිවිසුම් ඇති කර ගත්හ. චීනයේ දුම්රිය මාර්ග තැනීම, චීනයේ මුදල් ක්‍රමය, චීනයේ තීරුබදු ක්‍රමය හා වෙළඳාම් මේ මගින් විදේශිකයන් අතට පත්විය. මංචු රජවරුන්ගේ නිදහස ද නැති වී ගියේය. නමින් පමණක් නිදහස් වූ චීනය විදේශීන්ගේ යටත් විජිතයක් විය.

අධිරාජ්‍යවාදය වූකලී ආර්ථික හේතූන් නිසා බිහි වූ සංකල්පයකි. ඒකාධිකාරී ධනවාදී කාර්මික රටක් විසින් එම රටේ ධනවාදීන්ගේ ආර්ථික දියුණුව සඳහා ආර්ථික වශයෙන් නොදියුණු රටවල් ආර්ථික හා දේශපාලන බලයට යටත් කරගනු ලැබීම අධිරාජ්‍යවාදයයි. සමහර විට මෙකී නොදියුණු රටවල් ධනවාදී රටේ සම්පූර්ණ පාලනය යටතට පත්වෙයි. සමහර විට මෙකී නොදියුණු රටවල් ධනවාදී රටේ සම්පූර්ණ පාලනය යටතට පත්වෙයි. අප්‍රිකානු යටත් විජිත මෙයට නිදසුන්ය. ඇතැම් විට ඒ රටවල් ආර්ථික වශයෙන් පමණක් ධනවාදී රටින් පාලනයවෙයි.මේ සියවසේ මුල් භාගය තුළ චීනය ඊට නිදසුනක් වශයෙන් දැක්විය හැකිය. ඇතැම්විට ධනවාදී රට යම්කිසි ඌන සංවර්ධිත රටක් සිය ආරක්ෂාව යටතට ගනී. මිසරයේ බ්‍රිතාන්‍ය පාලනය මීට නිදසුනි.

යටත් රටවල ආර්ථික ක්‍රමය අධිරාජ්‍යවාදී රටේ ආර්ථික ක්‍රමයට යටත් වේ. මේ නිසා ඒ රටවල ආර්ථික සංවර්ධනය ඇනහිටී. අමුද්‍රව්‍ය නිපදවන කර්මාන්ත පමණක් යටත් රටවල ඇතිකිරීම අධිරාජ්‍යවාදීන්ගේ අදහසය. යටත් රටවල ජනයාගේ ජීවන තත්ත්වය උසස්වීම අධිරාජ්‍යවාදී රටේ ඒකාධිකාරී ධනවාදීන්ට අහිතකරය.

අධිරාජ්‍යවාදය යටත් රටවල සංස්කෘතික සංවර්ධනයට බාධාවකි. සමහර විට යටත් විජිතයන්හි අධ්‍යාපනය අධිරාජ්‍යවාදය යටතේ තරමක් දියුණු වූ බව සැබෑ නමුත් ඒ දියුණුව එකී යටත් විජිතයන්ට සමාන කළ හැකි නිදහස් රටවල අධ්‍යාපන දියුණුවට වඩා බෙහෙවින් අඩුය.

අධිරාජ්‍යවාදය අධිරාජ්‍යවාදී රටේ ම ජනතාවගේ දියුණුවට ද බාධා කරයි. යටත් විජිතයන් ලබාගැනීම සඳහා ද ඒවා ආරක්ෂා කිරීම සඳහා ද විශාල යුද්ධ හමුදාවකුත් විශාල නාවික හමුදාවකුත් අවශ්‍යය. මේ හමුදාවන්ගේ නඩත්තුව පිණිස රටේ ආදායමෙන් විශාල කොටසක් වැය වේ. මේ නිසා සමාජ සේවාවන් පිළිබඳව අඩු වැයක් කරන්නට වෙයි. යුද්ධ හා නාවික හමුදා නිලධාරින්ගේ බලය වැඩිවීම නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ දියුණුවට ද බාධා පැමිණේ.

අන් රටවල ජනයා බලයෙන් යටත් කිරීමත් එසේ යටත් කරගෙන සිටීමත් නිසා අධිරාජ්‍යවාදී රටවල ජනයාගේ සිතුම් පැතුම් ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර අන්දමට හැඩ ගැසේ.

ඒකාධිකාරී ධනවාදීන් ද යුද්ධ හා නාවික නිලධාරීන් ද හැර අධිරාජ්‍යවාදී රටේ සමාජයේ තවත් කොටස් අධිරාජ්‍යවාදය නිසා ලාභ ලබයි. මධ්‍යම පන්තියේ උගත් ජනයාටත් රටවල උසස් වේතන සහිත රක්ෂා ලබා ගත හැකිය. යුද්ධායුධ කර්‍මාන්තයන්හි නියුක්ත කම්කරුවන්ට ද අධිරාජ්‍යවාදය නිසා තාවකාලික වශයෙන් වැඩි ආදායමක් ලැ‍බේ.

මෙසේ සමාජයේ සුළු කොටසකට අධිරාජ්‍යවාදය හිතකර වුවද මුළු සමාජය ගැන සලකා බලන විට අධිරාජ්‍යවාදය දියුණුවට බාධාවකි. අධිරාජ්‍යවාදයේ ආර්ථික පදනම සැඟවීමට අධිරාජ්‍යවාදීහු බොහෝ උත්සාහ කරති. අධිරාජ්‍යවාදය ම්ලේච්ඡයන් අතර ශිෂ්ටාචාරය පැතිරවීමේ මඟක් හැටියට සමහර ලේඛකයෝ පෙන්නුම් කරති. මිෂනාරිවරුන් යුද්ධ හමුදාවන්ට හා ධනවාදීන්ට පිටුපසින් යටත් විදේශවලට ගිය බව සැබෑය. එහෙත් යුද්ධ හමුදාව ගියේ ධර්මය පැතිර වීම පිණිස නොවේ.

බලසම්පන්න ජාතීන් විසින් දුර්වල ජාතීන් පාලනය කරනු ලැබීම ස්වභාවධර්මතාවක් යයි සමහරු කියති. ජීවත්වීම සඳහා පොර කෑමේදී දුර්වලයන් නැති වී ජීවත්වීමට යෝග්‍ය බලසම්පන්නයන් පමණක් ඉතිි වන බව තවත් සමහරු කියති. අන් ජාතීන් පාලනය කිරීමේ වරප්‍රසාද දෙවියන් විසින් එක් ජාතියකට පවරා දෙන ලද බව අධිරාජ්‍යවාදය අනුගමනය කරන්නන්ගේ තවත් මතයකි. "යම් රජයක් විසින් කිසි ම අරමුණක් නැතිව බලයෙන් අන් රටවල් යටත් කරනු ලැබීම අධිරාජ්‍යවාදය" යැයි ෂුම්පීටර් නමැති අර්ථශාස්ත්‍රඥයා පවසා ඇත. ධනවාදය සාමයට හිතකර බව ද ධනවාදී රටවල් අන් රටවල් ඈඳා ගැනීමට නොකැමැති බව ද ඔහුගේ අදහසය. එහෙත් පසුගිය සිය වසර තුළ ධනවාදයේ පැතිරීම හා ධනවාදයේ වර්ධනය පරීක්ෂා කිරීමේ දී ඒකාධිකාරී ධනවාදය යුද්ධවලට මූලික හේතුව වූ බවත් අධිරාජ්‍යවාදය මේ ධනවාදයේ ප්‍රතිඵලයක් බවත් පෙනී යයි. ධනවාදය හා අධිරාජ්‍යවාදය විවේචනය කළ ලෙනින් අධිරාජ්‍ය වාදය ධනවාදයේ මුදුන් පෙත්ත" යයි කීවේ එබැවිනි.

කර්තෘ:කේ. එච්. ජයසිංහ

පොත්පත්:

Hobson, J.A. – Imperialism

Lenin, V. I. – Imperialism; The Highest Stage of Capitalism

Schumpeter, J. A. – Imperialism and Social Classes

Woolf, L. – Empire and Commerce in Africa

Hu Sheng-Imperialism and Chinese Politics

(සංස්කරණය:1963)