අධිරාජ්‍ය වරණය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

යම් අධිරාජ්‍යයකට අයත් ජාතීන් තීරු බදු ගෙවීම සම්බන්ධයෙන් ඔවුනොවුන් අතර විශේෂ වෙළඳ පහසුකම් ඇති කර ගැනීමේ වාණිජ ක්‍රමයකි.

20 වන සියවසේ දී අධිරාජ්‍යයක් හිමිව සිටි හෙවත් විජිතයන් අත්පත් කොටගෙන සිටි සෑම ප්‍රබල රාජ්‍යයක් විසින් ම, සිය විජිතයන් සමඟ වෙළඳාම් පිළිබඳ තීරුබදු කටයුතු එක්තරා විශේෂ අන්දමකට සකස් කරන ලදි. සාමාන්‍යයෙන් විදේශීය භාණ්ඩ කෙරෙහි බලපාන අයුරු සකස් කර තිබුණු තීරුබදු අධිරාජ්‍යයේ සෙසු කිසියම් රටකට බලනොපාන සේ, අධිරාජ්‍යයට අයත් සෑම රටක් විසින් ම කටයුතු සලසනු ලැබීය. කොටින් කියතොත්, අධිරාජ්‍යයේ සෙසු රටවල් සඳහා බදු නියම කරන ලද්දේ සාමාන්‍ය තීරු බද්දට අඩුවෙනි. අධිරාජ්‍ය රටවල සමහර භාණ්ඩවලට බදුවලින් තොරව තම රටවලට ඇතුළුවීමට පවා සමහරු ඉඩ නොදුන්හ. කිසියම් අධිරාජ්‍යයකට අයත් රටවල් වෙළඳ සබඳකම්වල දී ඔවුනොවුන් අතර එක්තරා පක්ෂපාතභාවයක් දැක්වීම මෙවැනි අධිරා්‍යවරණ ක්‍රමයක් පිහිටුවීමේ ප්‍රතිඵලයයි. මේ පක්ෂපාතභාවය ඇති කරනු ලැබුවේ පක්ෂපාත රටවලින් අඩු බදු අය කිරීමෙන් පමණක් නොව ඒ රටවල ආයෝජන කටයුතු ආරම්භ කිරීමට ඒවාට පහසුකම් සලස්වා දීම ආදි තවත් ක්‍රම ද මඟිනි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වරණ ක්‍රමයට සහභාගි වූ රටවලට බ්‍රිතාන්‍යය විසින්, නැව් මගින් කෙරෙන වෙළඳ කටයුතුවල දී සහාය මිල මුදල් ද දෙනු ලැබීය.

ලංකාව කෙරෙහි බලපෑ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වරණය වෙත විශේෂ සැලකිල්ල යොමු කිරීමවටී. ඇතැම් වැදගත් කාර්මික භාණ්ඩ බ්‍රිතාන්‍යයට පිවිසීම වළක්වනු සඳහා 1911 දී හා 1921 දී බ්‍රිතාන්‍යය විසින් එවැනි විදේශීය භාණ්ඩ කෙරෙහි වැඩි තීරු බද්දක් පනවනු ලැබීය. මේ වැඩි බදු ඩොමීනියන් රටවලින් එන කාර්මික භාණ්ඩවලට බලනොපාන බවට වගබලා ගැනීම අධිරාජ්‍යයට අයත් රටවල් කෙරෙහි පළමුකොට ම දැක්වුණු පක්ෂපාතභාවය සැටියට ගිණිය හැක. බ්‍රිතාන්‍යය ඒ පක්ෂපාතභාවය දැක්වීමේ හේතුවෙන් කර්මාන්ත අතින් නොදියුණු අධිරාජ්‍ය රටවලට යම්කිසි ලාභයක් නොලැබුණත්, ඒ ක්‍රියාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වරණ ක්‍රමයේ මුල පිරූ හෙයින් එයට විශේෂ වැදගත්කමක් ලැබෙයි.

20 වන සියවස මැදහරිය වන විට, සෑම ඩොමිනියන් රටක් ම එක් අතකින් බ්‍රිතාන්‍යයට ද, අනික් අතින් තම තමන්ට ද වෙළඳ පහසුකම් සැලසීමට පටන් ගෙන තිබුණි.

ඇතැම් ආහාරපාන වර්ග පිටරටින් ගෙන්වීම එක් කාලයෙක දී බ්‍රිතාන්‍යය තහනම් කොට තිබුණේය. මෙම තහනම් නීතිය 1931 දී හා 1932 දීත් ඉවත් කර දමනු ලැබීය. මින් පසු අධිරාජ්‍ය වරණයෙන් අධිරාජ්‍ය රටවලට දැක්වුණු පක්ෂපාත භාවය නියත ප්‍රතිපත්තියක් අනුව විධිමත් ක්‍රමයක් හැටියට සකස් කර ගැනීමට බ්‍රිතාන්‍යයට මෙන් ම අධිරාජ්‍යයේ සෙසු රටවලට ද ඉඩ ලැබිණ.

පළමුකොට අභ්‍යන්තර නිෂ්පාදකයන්ට ද දෙවනුව අධිරාජ්‍යයට අයත් නිෂ්පාදකයන්ට ද ඊළඟට විදේශීය (එනම් පොදු රාජ්‍යයෙන් පිටස්තර) රටවලට ද පිළිවෙළින් වෙළඳ පහසුකම් සලස්වා දිය යුතුය යන ප්‍රතිපත්තිය පදනම් කොට ගත් අධිරාජ්‍ය වරණ ක්‍රමයක් බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලය මගින් 1932 දී පවත්වනු ලැබූ ඔටාවා සම්මේලනයේ දී සම්මත කර ගනු ලැබීය. මුළු පොදු රාජ්‍ය මණ්ඩලය ඇතුළත පවත්නා වෙළහෙළඳාම් කටයුතු කරගෙන යා යුතු අන්දම මෙහි දී සාකච්ඡාවට භාජන විය. මෙහි දී නිශ්චය වූ සියල්ලක් ම අඩංගු වූයේ විවිධාකාර ද්වි-පාර්ශ්වික වෙළඳ ගිවිසුම්වලටයි. මුල් වතාවේ දී ඒ ගිවිසුම් අවුරුදු පහක කාල සීමාවකට පමණක් වලංගු වූවත්, 1937 පටන් ඒවා වරින්වර අලුත් නොකර පෙර සේ ම පවත්වා ගෙන යනු ලැබූහ.

තීරුබදුවලින් තොරව එතෙක් කල් බ්‍රිතාන්‍යයට භාණ්ඩ යැවීමට අවකාශය ලබා සිටි අධිරාජ්‍ය රටවල ඇතැම් භාණ්ඩ එලෙසට ම වෙ‍ළඳපොළට වැද්ද ගැනීමට බ්‍රිතාන්‍ය නිලධාරීහු එකඟ වූහ. එමෙන් ම විදේශීය රටවලින් බ්‍රිතාන්‍යයට එතෙක් කල් යවනු ලැබූ ඇතැම් කෑම් බීම් හා ලෝහ ද්‍රව්‍යවලට පෙරට වඩා අධික තීරුබදු ඇති කරලීමට ද එකඟ වීමෙන්, බ්‍රිතාන්‍යය ඒ ද්‍රව්‍යයන් සපයන අධිරාජ්‍ය රටවලට දැක්වූයේ දැඩි පක්ෂපාතකමකි. එපමණක් නොව, ඒ ගිවිසුම් අනුව සෙසු අධිරාජ්‍ය රටවලට බ්‍රිතාන්‍ය භාණ්ඩයන් ගෙන් තීරුබදු අය කිරීමට ඉඩ ඇති වූයේ ද ශූර කාර්යක්ෂම නිෂ්පාදකයන්ගේ ව්‍යාපාර ආරක්ෂා කරන අදහසින් පමණක්ය. ඇත්ත වශයෙන් ම මෙවැනි භාණ්ඩයන් පිළිබඳව වුව ද එක්තරා සුළු වරණයක් වත් ඇතිකරලීමට දෙපක්ෂය ම එකඟ වූහ.

මෙවැනි වෙළඳ ගිවිසුම් ඇතිකරලීමට හේතු වූ කරුණු අතුරින් දේශපාලනය පිළිබඳ හේතූන් කැපී පෙනීම පුදුමයට කරුණක් නොවේ. යථෝක්ත ගිවිසුම්වලට ඇතුළු වූ හැම රටක් ම පාහේ එක්කෝ මේතාක් ම බ්‍රිතාන්‍ය යටත් විජිතයකි, නැතහොත් කලක් බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වූවකි. එහෙයින් එවැනි ගිවිසුමක් ඇති වීමට ප්‍රධාන හේතුවක් නම් එයට සහභාගී වූ රටවල් දේශපාලනය අතින්යම් විධියකින් බ්‍රිතාන්‍යයට බැඳී සිටීමයි. එහෙත්, ඇත්ත වශයෙන්, එවැනි ගිවිසුම් ඇතිවීමට වැදගත් ආර්ථික කරුණු ද තිබිණ. ඉන් එකක් නම් ලෝක මහා වෙළඳ පරිහානියෙන් පසු සෑම ජාතියක් ම තම තමන්ගේ වෙළඳපොළවල් ආරක්ෂා කර ගැනීමට උනන්දු වීමයි. තවද මේ කාලයේ දී ආරක්ෂණ ප්‍රතිපත්තිය කෙරෙහි ද දැඩි විශ්වාසයක් තබන ලද බව 1930 දී, එක්සත් ජනපදයෙහි නීතිගත වූ හෝලි-ස්මූට් (Hawley-Smoot) තීරුබදු පනතෙන් දැක්විණ.

ඔටාවා සම්මේලනයෙන් පසු අධිරාජ්‍ය වෙළඳ කටයුතු වඩ වඩාත් දියුණු වීමට ඒ ගිවිසුම හේතු වී යයි සිතිය හැක. 1930 පමණ කාලයේ දී ලෝක වෙළඳාමෙන් විශාල කොටසක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය අතට පත්වීමට තවත් වැදගත් සිද්ධීන් හේතු වූ බව අපට දැන් පෙනේ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් රටවල් වැඩි ගණනක් ම එකල කෘෂිකාර්මික භාණ්ඩ හා ද්‍රව්‍යයන් සපයන ප්‍රධාන රටවල් වූයෙන්, ලෝක වෙළඳපොළෙහි එම භාණ්ඩ මිල ඉහළ නැඟුණු විට, ඒ රටවල වෙළඳාම ද සාර්ථක විය.

අධිරාජ්‍ය වරණයේ කාර්‍ය්‍යක්ෂමතාව ක්‍රමයෙන් පිරිහී ගිය අයුරු සලකා බැලීම වටී. දෙවැනි ලෝක සංග්‍රාම කාලයේ දීත්, ඊට පසු සමයේ දීත් ඇතැම් රටවල් තම තමන් කැමති රටවල් සමඟ වෙළඳාම් කිරීම සම්බන්ධව ගිවිසුම්වලට ඇතුළත් වූ නමුත්, විදේශීය මුදල් පිළිබඳ යම් යම් නීතිරීති යෙදවීමෙන් ලැබූ ඵලප්‍රයෝජන, වරණ බදු ඇති කිරීමෙන් ඇති වූ ලාභවාසිවලට වඩා අධික බව ඒ රටවලට පෙනිණ. මහා බ්‍රිතාන්‍යයට අමු ද්‍රව්‍ය හා වෙනත් අවශ්‍ය ද්‍රව්‍ය සැපයූ ‍පොදු රාජ්‍ය මණ්ඩලයේ සමහර රටවලට අධිරාජ්‍ය වරණ ක්‍රමයෙන් නියත ප්‍රයෝජන ලැබුණු නමුදු, බ්‍රිතාන්‍යය සමඟ ඒ ආකාරයේ වෙළඳාමක් නොකළ රටවලට අධිරාජ්‍ය වරණයෙන් ඔටාවාහි දී තමන් අපේක්ෂා කළ තරමට වාසියක් නොලැබුණු බව වැටහිණ. එහෙයින්, 1945 පමණ වන විට මේ ක්‍රමය කෙමෙන් වෙනස් වීමට පටන් ගත්තේය. පොදුරාජ්‍යයට අයිති ඇතැම් රටවල් විසින් මෙතෙක් භුක්ති විඳිනු ලැබූ අයිතිවාසිකම්වලින් සමහරක් ද ඉංග්‍රීසි - ඇමෙරිකානු වෙළඳ ගිවිසුම හරිහැටි ක්‍රියාත්මක වන අයුරින් බ්‍රිතාන්‍යය විසින් අවලංගු කර දමනු ලැබීය.

ඔටාවා වෙළඳ ගිවිසුමට අත්සන් තැබූ හවුල්කරුවන් සියල්ලෝ ම මේ බව වටහා ගෙන 1947 දී ඇති කරගනු ලැබූ වෙළඳ හා තීරුබදු කටයුතු පිළිබඳ ගිවිසුමකට (G.A.T.T.) අත්සන් තැබුවෝය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් සමහර රටවල් විසින් පෙන්වන ලද පක්ෂපාතභාවය හා එවැනි රටවල් විසින් පිහිටුවන ලද වරණ බදු මාලාව තවත් විශාල කරලීමට ඇති අදහස් අත්හරින්නට මෙම වෙළඳ ගිවිසුමේ අත්සන්කරුවෝ එකඟ වූහ. ඇතැම් භාණ්ඩ සපයන රටවල් හා ඒ භාණ්ඩ මිල දී ගන්නා රටවල් වෙළඳාම සම්බන්ධයෙන් එකිනෙකට දීමට එකඟ වී තිබුණු පහසුකම් එම වර්ගයේ භාණ්ඩ නිපදවන සෙසු රටවල් සියල්ලකට ද බලපාන අන්දමට නීතිරීති ඇති කරනු ලැබීය. භාණ්ඩ හා ද්‍රව්‍ය වර්ග 50,000ක් පමණ සම්බන්ධයෙන් ගිවිසුම් 123 පමණ සකස් කරනු ලැබීය. මේ සියල්ල ම වෙළඳාම හා තීරුබදු පිළිබඳ සාමාන්‍ය ගිවිසුමකට 1947 දී ඇතුළත් කරන ලදි. මේ මූලධර්මයට සර්වසාධාරණ ප්‍රතිපත්තිය යයි කියනු ලැබේ.

මේ වෙළඳ ගිවිසුමට බැඳුණු අධිරාජ්‍ය රටවල් වරණ ක්‍රමය සම්පූර්ණයෙන් ම නැති නොවන පරිදි ද, පවත්නා වරණ ප්‍රමාණ අඩුවන පරිදි ද අලුත් ගිවිසුම යටතේ පැවතෙන තීරුබදු පිළිබඳ සාකච්ඡාවල දී කටයුතු කළහ. අද වුව ද පොදු රාජ්‍යමණ්ඩලයට අයත් රටවල් අතර වෙළඳ සබඳකම් අතින්කිසියම් අන්‍යෝන්‍ය පක්ෂපාතභාවයක් නැතැයි කිව නොහේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අධිරාජ්‍ය_වරණය&oldid=1766" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි