අධිශෝෂණය (Adsorption)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ද්‍රව වර්ග ද වායු ද කුඩා අංශු ද වෙනත් ද්‍රව්‍යයක මතුපිට ඇලී පැවතීමේ ගුණයට අධිශෝෂණය යැයි කියනු ලැබේ. ඒ වනාහි අන්කිසි ද්‍රව්‍යයක් සමඟ ස්පර්ශ වන ‍ඝනයක හෝ ද්‍රවයක හෝ මතුපිට පවත්නා ආසක්තියකි (adhesion) (බ.). අධිශෝෂණය කරන ද්‍රව්‍යයේ මතුපිට තිබෙන ඉතා කුඩා අංශු වටා ද්‍රවයේ හෝ වායුවේ හෝ අණුවලින් තුනී පටල සෑදේ. අධිශෝෂණය කරන ද්‍රව්‍යයේ මතුපිට වර්ගඵලය අධික වූ තරමට අධිශෝෂණය ද අධික වේ. අධිශෝෂණය ද්‍රව්‍යයක මතුපිට පමණක් සිදුවන දෙයකි. එය අවශෝෂණයත් (බ.) සමඟ පටලවා නොගත යුතුයි.

අඟුරු ස්වල්පයක් රත්කොට සාමාන්‍ය වාතය අඩංගු භාජනයකබහා වැසුවහොත් මේ අඟුරු මතුපිට ඇතැම් වායූන්ගේ ඝනීභවනය (condensation) සිදු වේ. ඒ හේතුකොටගෙන භාජනය තුළ වාතයෙහි පීඩනයේ අඩු වීමක් ඇති වේ. එසේ ම අඟුරු කැට කිහිපයක් අපිරිසිදු සීනි ද්‍රාවණයකට දැමුවහොත් ද්‍රාවණයේ ඇති සමහර අපවිත්‍ර ද්‍රව්‍ය අඟුරු මතුපිට අධිශෝෂණය වෙයි. සක්‍රිය කළ කාබන් (activated carbon) (බ.) ප්‍රබල අධිශෝෂක ද්‍රව්‍යයකි. මෙයට හේතුව මේ කාබන්වල සවිවර (porous) ස්වභාවය හේතුකොටගෙන ඒ මතුපිට වර්ගඵලය ඉතා විශාල වීමයි. වායු වෙස්මුහුණු (බ.) සෑදීමේ දී එම අඟුරු බෙහෙවින් විෂවායු අධිශෝෂණය කරන බැවිනි. පෙනිසිලින් (බ.) සෑදීමේ එක් අවස්ථාවක දී ද එම ද්‍රව්‍යය වෙන් කරගනු සඳහා සක්‍රිය කාබන්වල අධිශෝෂණ ශක්තිය උපයෝගී කොට ගනු ලැබේ.

යම් කෙනෙකුන්ගේ අතෙහි කුණු අධිශෝෂණය වන්නේ අතේ හමත් ඒ හා ස්පර්ශ වන වාතය නැතහොත් ඝන ද්‍රව්‍යයත් අතර විෂම ලෙස කුණු ව්‍යාප්ත වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. මේ කුණු ඉවත් කිරීමට බොහෝ විට ජලය අපොහොසත් වේ. කුණු ඉවත් කරන ද්‍රව්‍යයක් වශයෙන් සබන්, සඵල වන්නේ හමත් සබන් ද්‍රාවණයත් අතර අසමාන ලෙසකුණු ව්‍යාප්ත වීම නිසාය. මෙහි දී සබන් ද්‍රාවණයේ අධිශෝෂණ බලය සමෙහි අධිශෝෂණ බලයට වඩා අධික හෙයින් සබන් ද්‍රාවණය කෙරෙහි වැඩි ඇල්මක් දක්වමින් සමෙන් කුණු ඉවත් වෙයි. එහෙයින් අත පවිත්‍ර වේ.

සජීව සෛලයෙහි, විශේෂයෙන් ම කලිල (colloidal) තත්ත්වයෙහි වූ ද්‍රව්‍ය බොහෝ සෙයින් අඩංගු ප්‍රාක්ප්ලාස්මයෙහි (protoplasm) අධිශෝෂණය කරනකොට ගෙන ඉතා වැදගත් කෘත්‍ය ඉටු කෙරේ. අවට තිබෙන මාධ්‍යයෙන් පෝෂ්‍යදායී ද්‍රව්‍ය මුල් මඟින් ලබා ගෙන ශාකයක ඉහළට ගෙන යෑම සඳහා අධිශෝෂණය ඉතා වැදගත් බව ඔප්පු කර තිබේ.

අධිශෝෂණය කරන ද්‍රව්‍යයේ සංයුතිය, අධිශෝෂණය කරන ද්‍රව්‍යයේ මතුපිට තත්ත්වය, අධිශෝෂණය කනරු ලබන ද්‍රව්‍යයේ ස්වභාවය, වායුවක් නම් එහි පීඩනය හා උෂ්ණත්වය යනාදිය අනුව අධිශෝෂණ ප්‍රමාණය අඩු වැඩි වෙයි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අධිශෝෂණය_(Adsorption)&oldid=1772" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි