අධිෂ්ඨාන-1

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

තමා අදහස් කරන කාර්‍ය්‍යසිද්ධිය සඳහා යම්කිසි අරමුණක තදින් සිත පිහිටුවාලීම අධිෂ්ඨාන නම් වේ. නිර්වාණ සංඛ්‍යාත උත්තමාර්ථය ලබාගැනීම සඳහා වැර වඩන පුද්ගලයාහට අධිෂ්ඨානය අතිශයින් උපකාරී වූ ධර්මයෙකි. කුශලධර්මයන්හි ස්ථිරව පිහිටි සිත විරුද්ධ ධර්මයකින් කම්පා නොවන හෙයින් අධිෂ්ඨානය බලයක් ද වෙයි. "මෙබඳු ඵලයකට නොපැමිණ මේ වීර්‍ය්‍යය නොනවත්වමි"යි සිත පිහිටුවා ගතහැකි වන්නේ අධිෂ්ඨාන බලයෙනි. එසේ වීර්‍ය්‍යයෙහි නොසැලී සිටීමට වීර්‍ය්‍යාධිෂ්ඨානය යි කියනු ලැබේ. එය බුදුදහමෙහි අංග සතරකින් යුක්ත වූයේ වෙයි. 'කාමං ‍තචො ච නහාරු ච අට්ඨි ච අවසිස්සතු, උපසුස්සතු සරීරෙ මංසලොහිතං, යං තං පුරිසථාමෙන පුරිසවිරියෙන පුරිසපරක්කමෙන පත්තබ්බං, න තං අපාපුණිත්වා විරියස්ස සන්ථානං භවිස්සති" (සංයුත්ත, නිදානවග්ග) යි ඒකාන්තයෙන් සිරුරෙහි සම නහර හා ඇට ද ඉතිරි වේ. නමුදු මස් ලේ වියළේ. නමුදු පුරුෂශක්තියෙන් පුරුෂවීර්‍ය්‍යයෙන් පුරුෂපරාක්‍රමයෙන් පැමිණිය යුතු උත්තමස්ථානය වූ නිවනට නොපැමිණ වීර්‍ය්‍ය‍යාගේ නැවැත්මෙක් නොවන්නේය යි මෙසේ චතුරංග සමන්වාගත වීර්‍ය්‍යය ඉටාගන්නා සැටි දක්වන ලදි. මෙහි "තචො ච නහාරු ච අට්ඨි ච අවසිස්සතු" යනු අංග තුනෙකි. "මංසලොහිතං උපසුස්සතු" යනු එක් අංගයකි. මෙයින් කටයුතු සඵල කර ගැනීම සඳහා අධිෂ්ඨානය උපකාර වන බව පැහැදිලි වේ.

ලෝක ව්‍යවහාරයෙහි පවත්නා ආත්මශක්ති යයි හඳුන්වන චෛතසික බලය ද අධිෂ්ඨානයෙකැයි කිව හැකිය. නොයෙක් හේතූන් නිසා පැමිණෙන දුක්කම්කටොලු විඳ දරාගැනීමේ ශක්තිය, සතුරන් විෂයෙහි බැගෑපත් නොවන බව යනාදිය වැනි උසස් පුරුෂගති ආත්මශක්ති යයි කියනු ලැබේ. හෙ ද එක අරමුණක ස්ථිරව සිත පිහිටුවා ගැනීමෙකි. එහෙයින් ආත්මශක්තිය අධිෂ්ඨානයෙහි ම අවස්ථා විශේෂයක් සේ පෙනේ.

‍දසවැදෑරුම් සෘද්ධීන් අතුරෙහි පළමුවැන්න අධිෂ්ඨාන කිරීම් වශයෙන් උපදී. අභිඥාලාභී පුද්ගලයා පාදකධ්‍යානයට සමවැද එයින් නැඟී සිට නුවණින් අධිෂ්ඨාන කිරීමෙන් මනෝමය රූප සියදහස් ගණන් ඉපදවීම එහි ලක්ෂණයයි. ධම්ම පදට්ඨකථයෙහි චූළපන්ථක මහතෙරුන් මෙනි. ඒ පුද්ගලයාගේ ගුණ විශේෂ වශයෙන් ද අධිෂ්ඨානයෙහි විශේෂතා ඇති වෙයි. කාමාවචර ගෝත්‍රයෙහි සිටියහුගේ අධිෂ්ඨානයට වඩා ලෞකික ධ්‍යානලාභීහුගේ ද, එයට වඩා සෝවාන් ආදි ආර්‍ය්‍ය ගෝත්‍රයට පැමිණි අභිඥාලාභීහුගේ ද අධිෂ්ඨානය බලවත් වෙයි. බොහෝ ශ්‍රාවක චරිතයන්හි එබඳු අධිෂ්ඨානයන් පිළිබඳ තොරතුරු දැක්ක හැකිය.

පරිනිර්වාණමඤ්චකයෙහි වැදහොත් බුදුරජුන්ගේ මහා අධිෂ්ඨාන පසෙක් විය. ලක්දිවට ගෙන එන ලද මහා බෝධිශාඛාව තමා මැ සිඳී ස්වර්ණ‍කටාහයෙහි පිහිටීම ආදි බෝධිශාඛාව පිළිබඳ අධිෂ්ඨාන තුනක් හා ථූපාරාමයෙහි හා රත්නමාලි චෛත්‍යයෙහි ද ධාතු පිහිටුවන අවස්ථායෙහි යමාමහ පෙළහර දැක්වීම ද යන පසය.

බෝධිසත්ත්වරයන්ගේ බුද්ධකාරක ධර්මයන් හෙවත් පාරමිතා අතුරෙහි අටවැන්න ද මේ අධිෂ්ඨානයමැ යි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අධිෂ්ඨාන-1&oldid=1773" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි