අධෝරක්ත කිරණ (Infra-red rays)
කළු කළ බල්බයක් සහිත සංවේදී උෂ්ණත්වමානයක් සුදු ආලෝකයේ වර්ණාවලියෙහි රතු කෙළවර ළඟ ම බැහැරින් වූ ප්‍රදේශයෙහි තැබුවහොත් උෂ්ණත්වයේ වැඩිවීමක් ඇතිවන බව පෙනේ. මෙයින් පැහැදිලි වන්නේ අධෝරක්ත ප්‍රදේශය යි කියනු ලබන ප්‍රදේශයෙහි "ශක්තිය" ඇති බවයි. මේ විකිරණය නිරීක්ෂණය කරන්නේ ද මනින්නේ ද තාප විද්‍යුත් යුග්මය (බ.),විකිරණ මයික්‍රොමීටරය, බොලොමීටරය වැනි අතිසංවේදී උපකරණළුලිනි. (විකිරණය බ.)
අධෝරක්ත ප්‍රදේශයෙන් වැඩි කොටසක් ඡායාරූපයට නැංවිය හැකිය. එහෙත් එසේ කිරීමට විශේෂ ඡායාරූප තහඩු අවශ්‍ය වේ. දෘශ්‍යාලෝකය නැති පූර්ණාන්දකාරයෙහි පවා අධෝරක්ත විකිරණයේ ආධාරයෙන් ඡායාරූප ගත හැකිය. දිගින් වැඩි ආලෝක තරංග අඩුවෙන් අවශෝෂණය වෙමින් සියුම් මීදුම විනිවිද යයි. එහෙයින් සුදුසු තහඩු ද අධෝරක්ත පෙරහනක් ද උපයෝගී කොටගෙන මීදුමෙන් වැසුණු ප්‍රදේශවල භූමිදර්ශනයන්ගේ ඡායාරූප ගත හැකිය. අධෝරක්ත කිරණවලට වීදුරු ද ජලය ද සම්පූර්ණයෙන් ම වාගේ පාරාන්ධය. ඒ හා සමකර බලන කල්හි අකාර ලුණු පාරදෘශ්‍යය.
බොහෝ ද්‍රව්‍යයන් අධෝරක්ත කිරණ තදින් අවශෝෂණය කරන හෙයින් එය යම් යම් දෙයට තාප ශක්තිය ගෙන දීමෙහි ලා ප්‍රයෝජනවත් වේ. රක්තවාතය, සන්ධි ඉදිමීම, තුනටිය රුදාව හා වකුගඩුවල අමාරු ආදියට ප්‍රතිකාර වශයෙන් අධෝරක්ත කිරණ යොදනු ලැබේ. වෙළඳ ව්‍යාපාරයන්හි දී ඉක්මනින් සායම් වේළීමටත් පාන් පිලිස්සීමටත් මේ කිරණ යොදති.
(සංස්කරණය:1963)